ග්‍රහයන් රැසක් ආපසු හැරෙයි – මනුදම් පිරිහෙන අද්භූත දේ සිදුවන කාලයක උදාවක්

7871

පසුගිය සැප්තැම්බර් මස 04 වැනිදා සිට ඉදිරියට මාස 04 පමන කාලයක් ග්‍රහ ලොව ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂයේ වක්‍ර ග්‍රහ ගමනක යෙදේ. එසේම මේ වන විට ප්‍රධාන පාපී ග්‍රහයකු වන සෙනසුරුද වක්‍ර ග්‍රහ ගමනක යෙදේ. එසේම බුධ ග්‍රහයාද මේ වන විට වක්‍රව ගමන් කරයි. මෙම ග්‍රහ ත්‍රීත්වයට අමතරව යුරේනස්, නැප්චූන් හා ප්ලූටෝ යන ග්‍රහයන්ද මේ වන විට වක්‍රව රාශි චක්‍රය තුළ ගමන් කිරීමක් දැකගත හැකිය. ග්‍රහයෙකු වක්‍රවීම යනු ග්‍රහයකු තමා සිටින රාශියේ පසුපසට ගමන් කිරීම ලෙස ජ්‍යොතිෂයේදී හැඳින්වෙන අතර මෙතනදී සිදුවන්නේ අප දුම්රියක හෝ බසයක ගමන් කරන විට පාරේ ඇති ගස් හෝ ගෙවල් දොරවල් පසු පසට ගමන් කිරීම හා සමාන සිදුවීමකි. ඒ අනුව අදාළ ග්‍රහයා වක්‍ර වන තෙක් ඉදිරියට ගමන් කළ අංශක ප්‍රමානය වක්‍ර වීමත් සමගින් නැවතත් ආපස්සට ගමන් කරයි. මෙම අවස්ථාව අපට සරලව ග්‍රහයකු වක්‍ර වීම ලෙස හැඳින්විය හැකිය. දැනට මේෂ රාශියේ ගෝචර ගමනක යෙදෙන බ්‍රහස්පති හා අනෙක් ග්‍රහයන් පස්දෙනා මේ ආකාරයට වක්‍ර වීම රටට මෙන්ම ලග්න දොළසින් උපන් ඔබටත් ලෝකයටත් එතරම් යහපත් නොවනු ඇත. එයට හේතු වන්නේ ගුරු වැනි සුබ ග්‍රහයකුගේ වක්‍රවීමත් සෙනසුරු, බුධ, යුරේනස්, නැප්චූන් හා ප්ලූටෝ යන ග්‍රහයන්ද වක්‍ර වීම මත යහපත් නොවන නිසාවෙනි.

ඉදිර මාස 04 ක පමන කාල සීමාව තුළ ගුරු, ශනි හා අන් ග්‍රහයන් සිව් දෙනා රාශි චක්‍රයේ වක්‍ර වීම හෙවත් පසුපසට ගමන් කිරීම එම ග්‍රහයන් ගෙන් ලැබෙන සුබ ප්‍රතිඵල යම් පමනක නොලැබී යෑමකි- හීන වීමකි. ඒ අනුව එම අසුබ තත්ත්වය හේතුවෙන් පොදුවේ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, ධනු යන ලග්න හිමියන්ටත් ගුරු, ශනි, බුධ මහ දශා හා අතුරු දශා ගත කරන්නන්ටත්, එම ග්‍රහයන් 22 වන හා 64 වන නවාංශකාධිපති වන අයටත් හා විශේෂයෙන් හෘද රෝග ඇති අයටත්, භික්ෂූන් වහන්සේ ඇතුළු පූජක පක්ෂයටත්, රටේ ප්‍රභූන්ටත් මෙම ග්‍රහ වක්‍රවීම යම් පමනක අසුබ දායක තත්ත්වයකි- විශේෂයෙන් රට තුළ ආගමික අංශය, අධ්‍යාපනය, සංස්කෘතිය ව්‍යාපාර ඇතුළු කටයුතුවල යම් පසුබෑමක් ඇති වනු ඇත.

එසේම මෙම ග්‍රහ වක්‍රවීමෙන් මේෂ ලග්න හිමි ඔබට සියලු අංශවලින් බාධාකාරී වන අතර වෘෂභ ලග්න හිමි කාන්තාවන්ට දරුඵල පිළිබඳ ප්‍රශ්න ඇතිවන අතර මිථුන ලග්නය හිමි ඔබගේ ගේ දොර ඉඩකඩම් කටයුතුවල ගැටලු ඇති වීමේ ප්‍රවණතාවයක් උදා වනු ඇත. කටක ලග්න හිමි ඔබට සහෝදර සෙහෝදරියන්ගෙන් ප්‍රශ්න ඇතිවන කාලයක් වනු ඇත. සිංහ හා කන්‍යා ලග්න හිමියන්ට තම ආර්ථික හා ව්‍යාපාර අංශවලින් බාධාකාරී තත්ත්ව උදා වනු ඇත. මෙම ගුරු වක්‍රයෙන් තුලා ලග්න හිමියන්ගේ රැකියා කටයුතුවලට අසුබදායක වන ග්‍රහ මාරුවක් වනු ඇත. ධනු හා වෘශ්චික ලග්න හිමියන්ගේ විදෙස් ගමන් බලාපොරොත්තු ඉටු නොවන කාලයක් වීමට ඉඩ ඇත. මකර ලග්න ඔබට මධ්‍යම ඵල උදාවන අතර කුම්භ ලග්න හිමි ඔබගේ විවාහ කටයුතුවලට අසුබදායක වන්නේය. මීන ලග්න හිමි ඔබගේ මෙතෙක් සුවවීමට ප්‍රමාද වූ රෝගාබාධ තවදුරටත් සුවවීමේ ප්‍රමාදයක් දක්නට ඇත.

මෙම කාලය තුළ මනුෂ්‍ය ගුණ දම් හීන වී අධර්මය රජ යන කාල සීමාවක් වනු ඇත- අප රටට මෙන්ම මෙම අපල තත්ත්වය මුළු මහත් ලෝකයටම බලපානු ඇත- අප රට හා ජන සමාජය කෙරෙන් බැලූ කල බෝවන රෝග, ඩෙංගු වසංගත තත්ත්ව, උෂ්ණාධික රෝග හා සුරාව හා මත්ද්‍රව්‍ය මෙන්ම දුම් පානය නිසා විවිධාකාරයේ රෝග ඇති වනු ඇත- මෙම ග්‍රහ වක්‍රයන් හේතුවෙන් මෙම කාලය තුළ සූර්යය රශ්මිය ඉතාමත් දැඩි වනු ඇත- සුලං තත්ත්වයද ඉතාමත් වියළි තත්ත්වයට පත් වනු ඇත.

එසේම මෙම කාල සීමාව ස්වාභාවික විපත් බහුලවම සිදුවන කාලයකි. විශේෂයෙන් පසුගිය කාලය තුළ පැවති ගංවතුර, අධික වැසි තත්ත්ව, නායයෑම්, භූමිකම්පා, සුළි සුළං තත්ත්ව මුහුදු විපත්, හදිසි අනතුරු කැපී පෙනෙන ලෙස නැවතත් වර්ධනය වන කාලයකි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි- ජනතාවගේ මානසික සෞම්‍යතාවය බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් අසංවරතා මෙන්ම වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. මහජන අප්‍රසාදය ඉහළ යන කාල සීමාවකි- විශේෂයෙන් පරිපාලන ක්ෂේත්‍රයේ සෙෘඛ්‍ය, ගමනා ගමන හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප්‍රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට අපල දායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට හා කෘෂිකර්මයට විපත්ති දායක වනු ඇත. කාන්තා පක්ෂයට අපල හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලු හා කරදර ඇති වනු ඇත. ස්ත්‍රී දූෂණ හා ඝාතන ඉහළ යන කාලයකි- සොර සතුරු උවදුර හා ළමා අපචාර ඉහළ යන කාලයකි- දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් හා ගැටලු ඇතිවේ. උද්ඝෝෂණ, උපවාස, පිකටිං වැඩ වර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ද යම් පමනකට ක්‍රියාත්මක වනු ඇත- රථවාහන අනතුරුවල හා ගුවන් යානා අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත. ආහාරපාන වල මිල ඉහළ යනු ඇත- අඟහරු, රාහු, කේතු හා ශනි, මහ දශා හා අතුරු දශා, විදශාගත කරන, සෙනසුරු ඒරාශ්ඨක ගත කරන අය විශේෂයෙන් පරිස්සම් විය යුතුය. විශේෂයෙන් ඔවුන්ට අධික රුධිර පීඩන තත්ත්ව, හෘදයාබාධ තිබෙන රෝගී තත්ත්ව වැඩි වීම්, වැටීම් තැලීම් සීරීම් හා හදිසි අනතුරු තත්ත්වයන් ද ඇති විය හැකිය.

මෙම අපල දුරුවීමට සියලු දෙනා කල්පනාකාරීව ආගමානුකූලව ජීවත් වීමත් සෙනසුරාදා හා අඟහරුවාදා දිනවල බෝධි පූජා පැවැත්වීමත් විශ්ණු, කතරගම දෙවියන්ට පින් ග්‍රහ අපල දුරු වීමට එම ආශිර්වාද ලබා ගැනීමත් ඉතා යහපත් වනු ඇත.

ග්‍රහයන් රැසක් ආපසු හැරෙයි - මනුදම් පිරිහෙන අද්භූත දේ සිදුවන කාලයක උදාවක්

බණ්ඩාරගම, සම්පත් එස්. කල්පගේ
නො. 49/ 1, විහාර මාවත,
ගම්මන්පිල, බණ්ඩාරගම.
දුරකතන අංකය 0382256020 / 0772753100

advertistmentadvertistment
advertistmentadvertistment