සුමාත්‍රාව සෙළවෙයි – ඉන්දුනීසියාවට පැය 2ක සුනාමි අනතුරු ඇගවීමක්

528

ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතේ බටහිර දෙසින් ඊයේ (25දා) අලුයම හටගත් රිච්ටර් මාපකයේ 7.1ක් වශයෙන් සඳහන් වූ භූමිකම්පාවක් හේතුවෙන් සුමාත්‍රා දූපත් වැසියන් සිය නිවෙස්වලින් ඉවත්ව උස් ප්‍රදේශ කරා දිව ගොස් තිබේ.

මෙන්ටාවයි දූපත් අසල මුහුදේ ඊයේ ඉන්දුනීසියානු වේලාවෙන් අලුයම 3ට පමණ හටගෙන ඇති මෙම භූමි කම්පාව හේතුවෙන් ජීවිත හානි හෝ දරුණු දේපළ හානි සිදුව නැතත් ඒ හේතුවෙන් ඇති වූ ප්‍රබල කම්පන නිසා ඒ අවට පදිංචිකරුවන්ට සිය නිවෙස්වලින් ඉවතට යෑම පවා අසීරු වී තිබූ බව වාර්තා වේ.

මෙම භූමි කම්පාවත් සමගම ප්‍රබල පසු කම්පන කිහිපයක්ද හටගෙන ඇති අතර ඉන්දුනීසියාවේ භූගෝලීය භෞතික ආයතනය විසින් අදාළ භූමි කම්පාව සිදු වීමෙන් පසු පැය දෙකක කාලයක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. සාමාන්‍යයෙන් මෙවැනි සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරනුයේ රිච්ටර් මාපකයේ 7.3ක් වශයෙන් සඳහන් වන භුමි කම්පාවලදීය.

කෙසේ වුවද අවදානම පහව යෑමත් සමගම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙම භූමි කම්පාව සිදු වූ ප්‍රදේශයට ආසන්නයේ පිහිටි මෙන්ටාවයි දූපත් සමූහයට අයත් විශාලතම දූපත වන සිබෙරුට් දූපතේ වැසියකු වන 34 හැවිරිදි පැට්‍රිස් සනෙනේ මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මේ අවුරුද්දේ හටගත් ප්‍රබලම භූමි කම්පාව බවත් ඒ හේතුවෙන් සුනාමියක් පැමිණෙනු ඇතැයි විශ්වාස කළද එවැන්නක් සිදු නොවීම පිළිබඳව සතුටු වන බවත්ය.

මෙම භූමි කම්පාව බලවත් වීම නිසා ඉන් ඇති වූ දෙදරීම හේතුවෙන් බොහෝ නිවැසියන්ට නිවෙස්වල බිත්ති අල්ලාගෙන නිවෙස්වලින් ඉවතට යෑම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ. ඉන්දුනීසියානු බලධාරීන්ට අනුව භූමි කම්පාව සිදු වූ කේන්ද්‍රස්ථානයට කිලෝ මීටර් 200ක් පමණ ඈතින් පිහිටි බටහිර සුමාත්‍රා දූපත්වලට අයත් වෙරළබඩ නගරයක් වන ‘පැඩන්ග්’ නගරයට පවා මෙම භූමි කම්පාව දැනී තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment