හම්බන්තොට රෝහලේ නිර්වින්දන මැඩම් රට පැනලා

326

ශල්‍යාගාර 5ක් සහ දැඩිසත්කාර ඒකක 2 ක් අවදානමේ

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්තව සේවය කරන ලද වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය නිලධාරිනී අයි. ජී. ගගනී ප්‍රදීනන්දිස් මහත්මිය නොදන්වා රටින් පිටව ගොස් රෝහල් අධ්‍යක්ෂ වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් දන්වා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

රට හැර යෑමට පෙර අදාළ වෛද්‍යවරිය 2024.03.12 සිට 2024.03.16 දක්වා නිවාඩු ඉල්ලුම් පත්‍රයක් මගින් අනියම් නිවාඩු අනුමත කරගෙන ඇත. 2024.03.13 වැනිදා මෙම වෛද්‍ය නිලධාරිනිය රෝහල් අධ්‍යක්ෂ වෙත වට්ස්ඇප් පණිවුඩයක් මගින් තමන් විදෙස්ගත වූ බව දන්වා ඇති බව හම්බන්තොට මහ රෝහලේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් සඳහන් කළේය.

එමෙන්ම එම වෛද්‍යවරියගේ කිසිදු පෞද්ගලික ලිපිගොනුවක් හම්බන්තොට මහ රෝහල සතුව නොමැති බවත්, එමෙන් කිසිදු විදෙස් නිවාඩුවක් අනුමත කර ගැනීමක් හෝ නිවාඩු අනුමත කර ගැනීමට අයැදුම් පතක් රෝහල් අධ්‍යක්ෂ වෙත යොමු කිරීමක් කර නොමැති බවත් හදිසියේ වෛද්‍යවරිය රටින් පිටවීයාම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙත හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂක විසින් යවන ලද ලිපියෙහි සඳහන් කොට ඇත. රෝහලේ ශල්‍යාගාර 5ක් සහ දැඩිසත්කාර ඒකක 2 ක් ක්‍රියාත්මකය. එක් වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකුගෙන් පමණක් එය සිදු කර නොහැකි බවත් කඩිනමින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු ලබා දීමට කටයුතු කරන ලෙසත් රෝහල් අධ්‍යක්‍ෂ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට යැවූ එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ වන විට හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන් විශාල පිරිසක් විදේශගතව ඇත. පසුගිය වසර දෙකක කාලයේ දී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 20 දෙනෙකු විදේශගත වී ඇත. විභාග සමත්ව ඇති තවත් වෛද්‍යවරුන් පහළොවක පමණ ප්‍රමාණයක් විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මෙලෙස වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් රෝහල පවත්වාගෙන යෑම අවිනිශ්චිත තත්ත්වයක ඇති බවත් වාර්තා වේ.

මේ පිළිබඳ හම්බන්තොට මහ රෝහලේ සෙසු වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේ දිනකට රෝගීන් 1500කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන හම්බන්තොට මහ රෝහලේ සියලු අංශ කඩා වැටීමට පෙර බලධාරීන්ගේ නෙත යොමුවී, වෛද්‍යවරුන් විදේශගත වීම වැළැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බවයි.

තිස්සමහාරාම – අමිල

advertistmentadvertistment
advertistmentadvertistment