හමුදා ජෙනරාල් බෙල්ලෙන් අල්ලාගත් හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලය දෙදරයි

2366

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව මැදපෙරදිග පලස්තීනය යනුවෙන් හැඳින්වුණු ප්‍රදේශයේ පාලනය බ්‍රිතාන්‍යය යටතට පත් විණි. එසේ වූයේ එම කොටසේ පාලනය ගෙන ගිය ඔටොමාන් අධිරාජ්‍යය පරාජයට පත් කිරීමෙන් අනතුරුවය. එම භූමියේ සුළුතරය යුදෙව් ජාතිකයන් වූ අතර බහුතරය අරාබි විය. දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වය මතුවන්නට වූයේ, පලස්තීනය තුළ යුදෙව් ජනතාව වෙනුවෙන් “ජාතික නිවහනක්” ගොඩනැගීමේ කාර්යය ජාත්‍යන්තර ප්‍රජාව විසින් බ්‍රිතාන්‍යයට පැවරීමත් සමග ය. ඒ අනුව පලස්තීනය යුදෙව් හා අරාබි රාජ්‍ය ලෙස වෙන් කරමින් ද ජෙරුසලම ජාත්‍යන්තර නගරයක් බවට පත් කරමින් එක්සත් ජාතීන් 1947 දී යෝජනාවක් සම්මත කර ගත්හ. යුදෙව් නායකයන් විසින් පිළිගන්නා ලද එම සැලසුම අරාබි පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර කිසිදා ක්‍රියාවට නොනැගිණි. එහෙත් ගැටලුව විසඳිය නොහැකි වූ තැන 1948 දී බ්‍රිතාන්‍ය පාලකයන් ඉන් ඉවත්ව ගිය අතර ඊශ්‍රායල රාජ්‍යය බිහිවීම යුදෙව් නායකයන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඉතිහාසයේ නොයෙක් යුද්ධ ඇතිවූයේ මේ භූමිය සම්බන්ධ අරාබි යුදෙව් ගැටුම නිසාය. එය අනවරත ගැටුමකි. නමුත් සෙනසුරාදා පෙරවරුවේ ඊශ්‍රායාලයට එල්ල වූ හමාස් ප්‍රහාරය අතිශයින් දරුණු වූ අතර එය යුදෙව් රාජ්‍යයට ඉතිහාසයේ එතෙක් මෙතෙක් එල්ල වූ බරපතළම ත්‍රස්ත ප්‍රහාරය විය. මේ සටහන ලියන මොහොතේ පවා ඊශ්‍රායල භූමිය තුළ හමාස් ත්‍රස්තයන් ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ. යුදෙව් රාජ්‍යය බලවත් අපහසුතාවට නොඑසේනම් නිග්‍රහයට ලක්ව ඇත්තේ එරට හමුදා භටයින් මෙන්ම සිවිල් වැසියන්ද හමාස් ත්‍රස්තයන් විසින් පැහැරගෙන යෑම නිසාය. 1985 මැයි 14 වැනිදා අනුරාධපුරයට කොටි ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය මතක්වෙන්නේ මේ ප්‍රහාරයත් සමගය. නමුත් පෙරේදා ඊශ්‍රායාලයට එල්ල වූ හමාස් ප්‍රහාරය අතිශයින් දැවැන්තය. ගුවනින් ගොඩබිමින් මෙන්ම මුහුදෙන් පැමිණි ත්‍රස්තයන් දකුණු ඊශ්‍රායල භූමිය ඇතුළට පැමිණ හමුදා කඳවුරුවලට මෙන්ම පොලිස් ස්ථානවලට රිසි සේ පහරදුන් අතර ගම්මානවලට කඩා වැඩි පුරවැසියන් සොයා සොයා මරා දැමූහ.

හමුදා ජෙනරාල් බෙල්ලෙන් අල්ලාගත් හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලය දෙදරයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ තම රාජ්‍යය පලස්තීන හමාස් ත්‍රස්ත කණ්ඩායම සමඟ “යුද්ධයක” යෙදී සිටින බවයි. එම යුද්ධය නම් කර ඇත්තේ “යකඩ කඩු” ලෙසය. “අපේ සතුරා කිසිදාක නොදැන සිටි ආකාරයේ මිලක් ගෙවනවා නියතයි. අපි ඉන්නේ යුද්ධයක, අපි ඒක දිනනවා”. අගමැති පවසා තිබිණි. හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරය ඔවුන් හඳුන්වන්නේ “අල්-අක්සා කුණාටුව” ලෙසය. දේශපාලන අර්බුද රැසක හිරිවී සිටි ඊශ්‍රායල අගමැතිවරයා මේ ප්‍රහාරයත් සමග කම්පනයට පත්ව ඇත. ලෝකයේ හොඳම ඔත්තු සේවය මෙන්ම උසස්ම තාක්ෂණය ඇති හමුදාවක් සිටින මේ යුදෙව් රාජ්‍යය සෙනසුරාදා කම්පනය කිරීමට හමාස් කණ්ඩායමට හැකිවිය. හමාස් ජයග්‍රහණ සමග ගාසා තීරයේ පමණක් නොව ඉරානයේද ජයග්‍රාහී සැමරුම් පවත්වා තිබේ. හමාස් පිටුපස සිටින ප්‍රධාන හස්තය ඉරානයයි. ඉරානය වසරකට හමාස් සංවිධානයට ඩොලර් මිලියන 100ක් පොම්ප කරයි. සෙනසුරාදා ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු හමාස් නායක ඉස්මයිල් හනියේ පැවසුවේ ගාසා තීරයේ ආරම්භ වූ ප්‍රහාරය බටහිර ඉවුර සහ ජෙරුසලම දක්වා පැතිර යන බවයි.

හමුදා ජෙනරාල් බෙල්ලෙන් අල්ලාගත් හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලය දෙදරයි

“මෙය අපගේ සතුරාට යුදෙව් සොල්දාදුවන්ට සහ යුදෙව් පදිංචිකරුවන්ට පරාජයේ සහ නින්දාවට පත් වූ උදෑසනයි සිදුවූ ප්‍රහාර අනුව අපගේ සූදානමේ විශිෂ්ටත්වය හෙළි කරනවා ඇත්තෙන්ම අද සිදු වූ දෙයින් හෙළිවන්නේ සතුරාගේ දුර්වලකමයි.” වීඩියෝ දර්ශන වලින් අනාවරණය වූ පරිදි ගාසා තීරය අසල දකුණු ඊශ්‍රායලයේ ශේදෝර් හි සිවිල් වැසියන්ගේ සිරුරු කැඩී බිඳී ගිය වීදුරුවලින් වට වූ මහා මාර්ගයක් පුරා විසිරී තිබුණු අතර මෝටර් රථයක ඉදිරිපස ආසන වල කාන්තාවක් සහ පිරිමියෙකු ගේ වෙඩි වැදුණු සිරුරු විය. එසේම තවත් දර්ශනයක දක්නට ලැබුණේ හමුදා වාහනයක් මෝටර් රථයක් පිටුපසින් ලේ විලක් මැද සිටි තවත් කාන්තාවකගේ සහ පිරිමියෙකුගේ සිරුරු පසුකර යන ආකාරයයි. එසේම තරුණ කාන්තාවන් හා වැඩිහිටි කාන්තාවන් හමාස් තුවක්කුකරුවන් විසින් පැහැරගෙන යන ආකාරය සැබවින්ම බියගන්වන සුළුය. ලේ වැකුණු සිරුරක් ඇති තරුණ කාන්තාවකගේ දෙඅත් පිටුපසට බැඳ වාහනයක නංවාගෙන යන අයුරු සහ ඇයට පහරදෙන ආකාරයත් අඩංගු දර්ශන සමාජ මාධ්‍යවල දක්නට ලැබිණි. එය සැබවින්ම මේ අන්තවාදීන්ගේ බිහිසුණු ම්ලේච්ඡ බව පෙන්නුම් කරයි. සෙනසුරාදා උදෑසන පුරා රොකට් ප්‍රහාර අඛණ්ඩව එල්ලවූ අතර ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර 5000 කට වැඩි ප්‍රමාණයක් එල්ල වී ඇති බවයි. මෙය දරාගත නොහැකි ප්‍රහාරයක් බව එයින්ම පැහැදිලි වෙයි. එක් වීඩියෝවක, එම හමාස් ත්‍රස්තයන් ගාසා තීරයේ සිට කිලෝමීටර් 1.6ක් (සැතපුම් 1ක්) දුරින් පිහිටි එම නගරයේ වීදිවල ඊශ්‍රායල හමුදා සමඟ වෙඩි හුවමාරු කරගන්නා බවක් පෙනෙන්නට තිබුණි. ෂාර් හනෙගෙව් ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබුණේ එහි නායක ඔෆිර් ලිබ්ස්ටයින් තම ප්‍රජාව ආරක්ෂා කිරීමට යෑමේදී ත්‍රස්තයන් සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගිය බවයි.

හමුදා ජෙනරාල් බෙල්ලෙන් අල්ලාගත් හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලය දෙදරයි

හමාස් ත්‍රස්තයෙක් ලේ වැකුණු සිරුරක් ඇති තරුණ කාන්තාවකගේ දෙඅත් පිටුපසට බැඳ වාහනයක නංවාගෙන යන අයුරු

හමාස් නියෝජ්‍ය ප්‍රධානී සලේ අල් අරෝසි අල් ජසීරා රූපවාහිනියට පවසා තිබුණේ තම සංවිධානය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු ඊශ්‍රායල සෙබළුන් හා සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් රඳවාගෙන සිටින බවයි. ඊශ්‍රායලය සිය සිරගෙවල්වල සිටින සියලුම පලස්තීනුවන් නිදහස් කර ගැනීමට තරම් ප්‍රමාණවත් යුදෙව් පිරිසක් හමාස් සංවිධානය සතුව ඇති බව ඔහු පවසයි. හමාස් සංවිධානය දියත් කළ “අල්-අක්සා කුණාටුව” අතරතුර ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරි මේජර් ජෙනරාල් නිම්රොද් අලෝනි අල්ලා ගෙන තිබේ. මොහු ගාසා තීරයට රැගෙන ගොස් ඇති අතර එය බරපතළ තත්ත්වයකි. මේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා හමාස්, හිස්බුල්ලා සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් යන කණ්ඩායම්වලට එරෙහි මෙහෙයුම් සඳහා විශේෂීකරණය වූ ඒකකයක් වන “ෘැචඑය ක්‍දරචි” ප්‍රධානියා වීම විශේෂයකි. මෙම හමුදා කණ්ඩායමේ ප්‍රධාන අරමුණ සතුරු භූමියේ ඉහළ වටිනාකමක් ඇති ත්‍රස්ත ඉලක්ක වෙත පහර දීමයි ඇත්තෙන්ම මෙම පැහැර ගැනීම කොටි ත්‍රස්තයන් විසින් විශේෂ බළකායේ අණදෙන නිලධාරියා අලාගෙන ගියා වැනිය. ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයෙකු වාර්තාකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් මේ සිරකරුවන් පිළිබඳ වාර්තා ගැන ඔවුන් දැන සිටි බව ආරක්ෂක මූලාශ්‍රය සඳහන් කරයි. නමුත් ඊශ්‍රායල ජාතිකයන් අල්ලා ගැනීම පිළිබඳ හමාස් ප්‍රකාශය ඊශ්‍රායලයේ එන් 12 ප්‍රවෘත්ති මගින් ද තහවුරු කර ඇත. මෙම ජෙනරාල් වරයා මුහුදු වෙරළේ සාදයකට සහභාගි වෙමින් සිටියදී හමාස් ග්‍රහණයට හසුව තිබේ. සෙනසුරාදා, යුදෙව් සබත් දිනය සහ සිම්චැට් ටෝරා උත්සවය පැවැත්වෙන දිනය වූ බැවින් මුහුදු වෙරළේ සාද පැවැත්වෙමින් තිබිණි. ඉරිදා දහවල් වන විට ලැබෙන තොරතුරු අනුව මේ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ඊශ්‍රායල වැසියන් ප්‍රමාණය 500 ඉක්මවයි. තුවාල ලැබූ පිරිස දෙදහස ඉක්මවයි. හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගිය පිරිස පනහකට අධිකය. ඊශ්‍රායල ආරක්ෂක හමුදා තමන්ට උදව් කිරීමට ඉක්මන් නොවීම ගැන බොහෝ ඊශ්‍රායල ජාතිකයන් කම්පනයට පත්වී ඇත. හමාස් නාලිකාවල බෙදාගත් දර්ශනවලින් පෙනී ගියේ ඊශ්‍රායල හමුදා මුරපොළවල්වල සහ යුද ටැංකිවල සිටි සොල්දාදුවන් අල්ලාගෙන හෝ මරා දමා ඇති බවයි.

ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක, රියර් ඇඩ්ම් ඩැනියෙල් හගාරි පවසන්නේ “අපි දැනට අදාළ ප්‍රදේශවල පාලනය නැවත ලබා ගැනීමට කාර්යබහුලව සිටිමු, පුළුල් ලෙස පහර දෙමින් සහ විශේෂයෙන් ගාසා තීරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරමින් ඉන්නවා”

හමාස් සංවිධානයට එරෙහිව පළිගැනීමේ ප්‍රහාර සඳහා සූදානම් වීම වෙනුවෙන් ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයක පදිංචිකරුවන්ට තම නිවෙස්වලින් ඉවත්වන ලෙස ඉරිදා පෙරවරුවේ දන්වා තිබේ. ගසා තීරයට දැන් විදුලියද අහිමි කර ඇත. දශක ගණනාවක් තුළ තම රට අත්විඳි දරුණුතම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් වටලනු ලැබූ පලස්තීන ප්‍රදේශය “පාළු දූපතක්” බවට පත් කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සපථ කිරීමෙන් පසුව ගාසා තීරයට දැවැන්ත හමුදා ආක්‍රමණයක් පිළිබඳ භීතිය වර්ධනය වෙමින් පවතී. ඊශ්‍රායල හමුදාව හමාස් ප්‍රහාරයට පසුව එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර වලින් පලස්තීනුවන් 230 කට වැඩි පිරිසක් මරණට පත්ව තිබේ. තුවාල ලැබූ පිරිස දහස ඉක්මවන අතර මේ මරණ සංඛ්‍යාව නිරන්තරයෙන් ඉහළ යමින් පවතී. මේ හරහා කලාපයම අස්ථාවර වී තිබේ. යුදෙව් රාජ්‍යය ආරම්භ කර ඇති යුද්ධය තව කාලයක් ඇදී යන බව නම් සහතිකය. 1973 ඔක්තෝබර් මාසයේදී සිරියා ඊජිප්තු හා අරාබි රටවල් එක්ව යුදෙව් රාජ්‍යයට එරෙහිව එල්ල කළ විස්මිත ප්‍රහාරයේ 50 වැනි සංවත්සරය සමරන විටම හමාස් ප්‍රහාරය එල්ලවූයේ කෙසේද යන්න පිළිබඳව ඊශ්‍රායල මාධ්‍ය ඔවුන්ගේ රටේ හමුදා සහ දේශපාලන නායකයන්ගෙන් ප්‍රශ්න කරමින් සිටී. එහෙත් ඊශ්‍රායල නිලධාරීන් පවසන්නේ ප්‍රධාන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් මෙය විසඳා ගැනීමට මෙන්ම වරද සිදු වූයේ කොතැනද යන්න සෙවීමට වසර ගණනාවක් ගතවනු ඇති බවයි. එහෙත් ඊශ්‍රායල විපක්ෂය හෝ වෙනත් කණ්ඩායම් මෙහි මහමොළකරු හොයන්නට යන්නේ නැත. ඔවුහු රජයේ යුද්ධයට සහය ලබා දෙති.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment