නිවාඩු නිකේතන හතරෙන් කෝටි පහක පාඩුවක්

264

සංචාරක සංවර්ධන අධිකාරියට අයත් නිවාඩු නිකේතන 04න් 2021 වර්ෂයේ දී රුපියල් පන්කෝටි, හත්ලක්ෂ හතළිස් දහස් අටසිය තිස්අටක (50,740,838) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මෙකී නිවාඩු නිකේතන 04න් 2020 වර්ෂයේ ලබා ඇති පාඩුව රුපියල් හාරකෝටි හැට ලක්‍ෂ පහළොස් දහස් පන්සිය අනූවකි. මෙකී නිවාඩු නිකේතන දිගින් දිගටම පාඩු ලබමින් පවතින අතර විගණනය මගින් නිර්දේශ කර ඇත්තේ පාඩු නොලබා සේවා පවත්වාගෙන යෑම පිළිබඳ කළමනාකාරිත්වයේ අවධානය යොමුවිය යුතු බවය. අධිකාරියේ සතු නිවාඩු නිකේතන ආරම්භයේ සිටම ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව පාඩු නොලබා දේශීය සංචාරකයන් සඳහා සුහද සේවාවක් සැපයීමේ අභිලාෂයෙන් පවත්වාගෙන යන බව අධිකාරිය විසින් විගණනයට සඳහන් කර ඇත.

එමෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තානායම් 37ක් තිබෙන අතර මින් තානායම් 09ක් වසර දෙකක සිට වසර අටක් දක්වා කාලයක් බදු දී නොතිබූ බව ද විගණනය මගින් අනාවරණය කර තිබුණි. මෙකී තානායම් බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවද සුදුසු ආයෝජකයකු එම තානායම් බදු ගැනීම සඳහා ඉදිරිපත් වී නොතිබූ බව අධිකාරිය විසින් විගණනයට සඳහන් කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment