ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සෙනසුරාදා උදේ පාන්දරම අනුරාධපුරය බලා පිටත්ව ගියේ වැඩකටයුතු කීපයක් සඳහාය. මුලින්ම උඩමළුවට ගියේය. උඩමළුවේ අලුත් සහල් මංගල්‍යය සූදානම් කර තිබිණ. 2024 වසරේ නව අවුරුද්දේ අස්වනු කපා පාගා ලබාගන්නා ලද අලුත් සහලෙන් උඩමළුවේ බෝධිසාමි වෙත බාර හාර ඔප්පු කරන්නට අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලබයි. මේ අයුරින් මුළු රටටත් රටේ ජනතාවටත් ආශිර්වාද කරන ආගමික කටයුතුවලට සහභාගි වීම ජනාධිපතිවරයාට අලුත් අත්දැකීමක් විය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාට එක්සත් ජාතික පක්ෂයේ පැරණිතම සාමාජිකයෙකුගේ අවමංගල්‍යෝත්සවයකට සහභාගි වන්නට අවශ්‍ය විය. කලක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්ව සිටි නන්දසේන මහතා වර්තමානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

සාලියපුර පැවැති එම මළ ගෙදරින් පසුව ජනාධිපතිවරයා ගෝල්ඩන් මැංගෝ හෝටලයේ පැවැත්වුණු අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥ සංගම් රැස්වීමට සහභාගි විය. එම රැස්වීම සංවිධානය කළ නීතිඥ කස්තුරි අනුරාධනායක නීතිඥවරුන්ගේ සභාව ඇමතීමට ජනාධිපතිවරයාට ආරාධනා කළේ හරි අපූරු ප්‍රවේශයක් ලබා ගනිමිනි.

“නීතිඥ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවසරයි. මැතිවරණයක් ළඟ එනකොට අපට සමාජයේ පුළුල් අරමුණු සහිත කණ්ඩායම් දෙකක් දක්නට ලැබෙනවා. එකක් තමයි තිබෙන ආණ්ඩුව රැකගන්න සටන් වදින කණ්ඩායම. අනිත් එක තමයි තිබෙන ආණ්ඩුව පෙරළලා අලුත් ආණ්ඩුවක් හදන්න කල්පනා කරන කණ්ඩායම. මේ දෙගොල්ලන්ටම විශ්වාසයක් තිබුණා ආණ්ඩුවක් අරන් රට කරන්න පුළුවන් කියලා. හැබැයි අද තත්ත්වය ඊට වෙනස්. දැන් දෙගොල්ලන්ටම තියෙන්නේ බයක්. කට්ටියක් බයයි රනිල් ගියොත් මොනවා වෙයිද කියලා. අනිත් කට්ටිය බයයි රනිල් ගියොත් අපට මේක කරන්න පුළුවන් වෙයිද කියලා. ගරු ජනාධිපතිතුමනි ඒ දෙගොල්ලන්ගේම තියෙන බය නැති කරන්න පුළුවන් ඔබතුමාට විතරයි…”

නීතිඥ හමුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද හොඳ කතාවක් කළේය. ඉන්පසු එළඹියේ අනුරාධපුර සංචාරයේ පැවැති සුවිශේෂීම අවස්ථාවයි. අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ හමුව කූඹිච්චංකුලම වැව් පිටියේ ඉතා මනරම් තැනක සූදානම් කර තිබිණි. ජනාධිපතිවරයා එහිදී තරුණයන්ට තිබෙන ප්‍රශ්න හා අභියෝග ගැන කතා කරමින් බොහෝ වේලාවක් යනතුරු තරුණ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙමින් විසඳුම් සාකච්ඡා කරමින් සිටියේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පසු ජනාධිපතිවරයා මහනුවරට පැමිණ ජනාධිපති මන්දිරයේ සිටිමින් විශේෂ හමුවීම් කීපයකට සහභාගි වූයේය. ඒ අතර හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුව, මහනුවර දිස්ත්‍රික්කයේ සාම්ප්‍රදායික කලාකරුවන්ගේ හමුව ආදී හමුවීම් කිහිපය අතිශයින් වැදගත් විය. පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ඔහු හරි අපූරු කතා කීපයක් කීවේය. මේ රටේ දේශපාලනයේ දී අපට වැරදුන තැන් සහ වැරදි හදා ගත යුතු ආකාරය ඔහු ඉතා මැනවින් පැහැදිලි කළේය.

කලාකරුවන්ගේ හමුවට බොහෝ දුරට පැමිණ සිටියේ පෙරහැරේ රාජකාරී හා දළදා මාලිගාවේ රාජකාරි ඉටුකරන නර්තන ශිල්පීන් වාදන ශිල්පීන් හා කලා ශිල්පීන් රැසකි. උඩරට සාම්ප්‍රදායික වෙස් නැටුම් කලාව වර්තමානයේ මුහුණ පා සිටින අභියෝග හා ගැටලු පිළිබඳ ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කළේය. සාම්ප්‍රදායික නර්තන කලාව, භේරි වාදන කලාව හා උඩරට සංස්කෘතිකාංග ආරක්ෂා කරගත යුත්තේ මන්දැයි පහදමින් ඒ සඳහා වර්තමානයේ පවතින අභියෝග ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ. ඇතැමුන් නවීකරණයේ නාමයෙන් ඉපැරණි කලා සම්ප්‍රදායන්ට කරන විනාශය ඔවුන්ගේ මාතෘකාව වූහ. ජනාධිපතිවරයා මෙහිදී කීවේ එම කලා ශිල්ප ආරක්ෂා කර ගැනීමට වෙනම සංස්කෘතික ආයතනයක් නිර්මාණය කළ යුතු යැයි කියාය. ඒ අතර ඔහු මෙසේද කීවේය.

“ඔය ඔක්කොටම කලින් නටන්න පටන් ගත්තේ මම. මාත් එක්ක නටපු අය තමයි ශ්‍රී ජයනලා, බැසිල් මිහිරිපැන්නලා. අපේ කාලේ අපි හොඳට නැටුවා. දැන් මං කරන්නේ බෙර ගහනවා. ඒ බෙර පදවලට වෙන වෙන අය නටනවා. සමහරු නැටුම් රැප් කරනවා.

ඉස්සර අපිත් එක්ක නටපු තව එක්කෙනෙක් හිටියා හිටපු ජනාධිපතිතුමිය. එතුමියත් හොඳට නැටුම් ගැන දන්නවා.”

ජනාධිපතිවරයා නැටුම් ගැන කියමින් නැටුම් ඔස්සේ තවත් දේශපාලන මාතෘකා ගණනාවක් ගැන විවරණ කළත් සමහරුන්ට ඒවා වැටහුණේ යම්කිසි වෙලාවක් ගිය පසුවයි.

ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ කීවේ ඇය මේ රටේ දේශපාලන කරළිය තුළ යම් අලුත් දේශපාලන භූමිකාවක් රඟ දක්වමින් සිටින අවස්ථාවක නිසා ඇය ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. සමාජයේ යම් පිරිසකගේ මතය වූයේ මේ දිනවල හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිඳු හා යම් දේශපාලන එකඟතාවක සිටින බවය. ඒ ගැන හෙළි කරන සිද්ධීන් කීපයක්ද පසුගිය සතියේ අප දේශපාලන කරළියේ සිදුවිය.

ජනාධිපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ පක්ෂ කීපයක් සන්ධානගත වන බවට කතාවක් පැතිර ගියේ මීට සති කිහිපයකට පෙර සිටය. පුටුව ලකුණින් පොදු ජන පෙරමුණ යළි කරළියට ගෙන ඒමට මෙම පක්ෂ කීපය එක්ව පසුගිය කාලයේ සාකච්ඡා කර තිබිණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් බිහිවන සන්ධානයේ නායකත්වය, නායකත්ව මණ්ඩලයකි. සභාපතිවරයෙක් නොමැත. ප්‍රධාන ලේකම් ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන අයකුට පවරාදිය යුතුය. ජාතික සංවිධායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු විය යුතුය. සියලු දෙනා එක්ව සාකච්ඡා කර සන්ධානයට අදාළ ව්‍යවස්ථාව හා සෙසු නිලතල පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නියමිත විය. මේ සියල්ල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ මෙහෙයවීමෙන් සිදුවන බවට කතාවක් පැතිර ගොස් තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කීපදෙනෙක් මේ සඳහා උපරිමයෙන් කැප වුවත් අවසානයේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ සන්ධානය සඳහා එකඟ වූයේ නැත. ඇයගේ යෝජනාව කුමක්දැයි ඒ අවස්ථාවේ පැහැදිලි නොවීය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇති වූ අර්බුදය අවස්ථාවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සිටින්නේ කවර ආස්ථානයක දැයි රටටම පැහැදිලි විය. එය සිදු වූයේ මෙසේය.

පසුගිය තිස් වැනි සෙනසුරාදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන විසින් පක්ෂයේ විශේෂ විධායක සභා රැස්වීමක් පවත්වනු ලැබීය. පක්ෂයේ වැඩ බලන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලගේ අදහස් පැහැදිලි කිරීමෙන් පසුව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන සිය විශේෂ අදහස් දැක්වීම කළේ මෙසේය.

“අපි මුලින්ම විපක්ෂයේ පුළුල් සන්ධානය හදන්න හැදුවේ බුලත් කොළය ලකුණ මුල් කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය විදිහටයි. ඒකට බාධාවක් වුණේ මහින්ද අමරවීරයි තිලංග සුමතිපාලයි කියන දෙන්නා තිබෙන නඩු ඉල්ලා අස්කරගෙන මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් නොවුණ එක. අපි දිගින් දිගටම ඒ දෙන්නගෙන් ඉල්ලා අස්වී නඩු ඉවත් කරගන්නා ලෙස ඉල්ලුවා.

ඒක බැරි වුණ තැන අපි ඊළඟට උත්සාහ කළා පුටුව ලකුණෙන් පොදුජන එක්සත් පෙරමුණ කියන සන්ධානය හදන්න චන්ද්‍රිකා මැතිනියගේත් උදව් ඇතුව, නායකත්ව මණ්ඩලයක් පත් කරලා සීයට පනහක් බලතල ශ්‍රී ල නි පයට තියාගෙන ඉතුරු සියයට පනහක බලතල අනිත් පක්ෂවලට දීල ප්‍රජාතන්ත්‍රවාදීව හදන්න හදපු සන්ධානය බිඳ වැටුණේ ලසන්ත අලගියවන්න එයා දරන මහ ලේකම් ධුරයෙන් ඉවත් නොවුණ නිසා.

ඊළඟ ප්‍රශ්නෙ මතු වුණේ දුමින්ද දිසානායකගෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි කිසිවෙකුටත් උදව් කරන්න තීරණයක් අරන් නැති වෙලාවක එයා කියන්න පටන් ගත්තා ප්‍රසිද්ධියේ රනිල් වික්‍රමසිංහ කියන අපේක්ෂකයට අපි උදව් කරනවා කියලා.

මේ කාරණා තුන නිසා අපේ දේශපාලන ගමන අඩාල වුණා…”

මෛත්‍රිපාල සිරිසේන මහතා දුමින්ද දිසානායකගේත් ලසන්ත අලගියවන්නගේත් මහින්ද අමරවීර ගේත් පක්ෂයේ නිලතල ඉවත් කරන්නට විධායක සභාවේ අනුමැතිය පතන්නේ ඒ අනුවය. නිමල් සිරිපාල ද සිල්වා හැරුණු විට අනිත් සියලුම දෙනාගේ අනුමැතිය ඊට ලැබුණි. ලසන්ත පිළිතුරු දෙන්නට සහ කරුණු දක්වන්නට අවස්ථාව ඉල්ලා සිටියත් මෛත්‍රිපාල සිරිසේන එම අවස්ථාව ඔවුන්ට ලබා නොදී සභාවේ වැඩ කටයුතු අවසන් කර යන්නට ගියේය.

මේ සිද්ධිය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළාන්තයේ ලොකු අර්බුදයක් නිර්මාණය විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් පිරිසක් හොරගොල්ලට ගොස් හිටපු නායිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ උපදෙස් පතන්නට වූහ. අනික් පිරිස මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව ඉදිරියේදී කුමක් කරන්නේ දැයි සාකච්ඡා කරන්නට වූහ.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මැතිනිය සමග ඒකරාශි වුණ කණ්ඩායම උසාවි ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් වාරණ නියෝග දෙකක් ලබාගත්තේය. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය සභාපති ධුරයේ වැඩ කිරීම අත්හිටුවන ලෙසය. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලවලින් ඉවත් කරන ලද දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන තිදෙනා වෙනුවට මෛත්‍රිපාල විසින් පත් කරන ලද තිදෙනාගේ නිලතලවල බලතල අත්හිටුවන ලෙසය. ඒ අනුව වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය විය.

වාරණ නියෝගයෙන් පසුව ක්‍රියාත්මක වූ දුමින්ද, ලසන්ත හා මහින්ද යන තිදෙනා නිමල් සිරිපාල ද සිල්වාත් සමග සම්බන්ධ වී හිටපු ජනාධිපතිනියගේ ද ආශිර්වාදය මැද ඊළඟට ගනු ලැබූ ක්‍රියාමාර්ග නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතු උඩුයටිකුරු කළේය.

වාරණ නියෝගය ගත් දිනයේම ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂයේ සේවක පිරිස රැස්කර විශේෂ රැස්වීමක් ගත්හ.

“අපිට ඔයගොල්ලා එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. කරපු විදියටම ඕගොල්ලා වැඩ ටික කරගෙන යන්න. අපි මේ පක්ෂයේ නිලධාරීන්. අපට මෛත්‍රිපාල ජනාධිපතිතුමා සමගත් කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් එතුමාට කේලම් කියන තුන් හතර දෙනෙක්ගේ වැඩ නිසා අද මේ පක්ෂය ඇතුළේ ගැටුම් ඇති වෙලා. පක්ෂ නායකතුමා ඒගොල්ලන්ගේ කීම් අහලා වැරදි තීන්දු ගන්නවා. අන්න ඒ තීන්දු තීරණවලින් හා වැඩවලින් පක්ෂය බේරගන්නයි අපි මේ විදියට ඉදිරි පියවර ගන්නේ…”

එම රැස්වීමෙන් පසු ඔවුන් තිදෙනා මාධ්‍ය සාකච්ඡාවක් ද පක්ෂ මූලස්ථානයේදී පවත්වනු ලැබූහ.

එම අවස්ථාවේ සිදු වූ සිදුවීම් කීපයක් මුල් කරගෙන ඊට පසුදා පක්ෂයේ පාලක ලේකම් සනත් වත්තගෙදරත් ප්‍රධාන ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලත් මරදාන පොලිසියේ පැමිණිල්ලක් දමනු ලැබූහ. ඒ පාලක ලේකම්ට තර්ජනය කොට පක්ෂ මූලස්ථානයේ කාර්යාල කිහිපයක අගුළු කඩා පක්ෂ මූලස්ථානයට අලාභ හානිකර ලිපි ගොනු රැසක් අස්ථානගත කළේ යැයි කියන චෝදනාව මතය.

ඒ අනුව ක්‍රියාත්මක වූ මරදාන පොලිසිය ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආරක්ෂාව පිණිස වසා දමන්නට කටයුතු කළේය. කොටින්ම පක්ෂ මූලස්ථානයට කිසිවකුටත් ඇතුල් වන්නට හා පිටවන්නට මගක් නොවීය.

පසුගිය හය වැනි සෙනසුරාදා පක්ෂයේ මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සිදුවී ඇති අර්බුදය ගැන සාකච්ඡා කරන්නට කොළඹ දිස්ත්‍රික්කයේ බල මණ්ඩල රැස්වීමක් පක්ෂ මූලස්ථානයේ කැඳවනු ලැබීය. ඊටත් පෙර කඩුවෙල විශේෂ හෝටලයක හෙක්ටර් බෙත්මගේ මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ රැස්වීමක්ද තිබිණි. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊට සහභාගි වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස නොව, හිටපු ජනාධිපතිවරයා ලෙසය. මන්ද නායකයා ලෙස සහභාගි වීම ඒ වන විට වාරණය කර තිබුණි.

කඩුවෙල රැස්වීම හමාර කළ බොහෝ දෙනා ඉන් පසුව පක්ෂ මූලස්ථානයට ගියේ සාරතීගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන කොළඹ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමටය. එහෙත් ඒ වන විට පක්ෂ මූලස්ථානය අගුළු ලා පොලිසිය විසින් වසා දමා තිබුණෙන් ලොකු ගාලගෝට්ටියක් එහි ඇති විය. මෙසේ අසාධාරණ ලෙස පක්ෂ මූලස්ථානය වසා දමා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ශාඛාවක් බවට පත්කිරීමට උත්සාහ කරන මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමේ උවමනාවට ආණ්ඩුවේ පොලිසිය විසින් යැයි චෝදනා නගමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලය පක්ෂ මූලස්ථානය වට කර කෑ කෝ ගහන්නට වූහ. තත්ත්වය තව තවත් තීව්‍ර වූයේ හිටපු මහ ලේකම්වරයකු වූ දයාසිරි ජයසේකරත් එතනට පැමිණි පසුවයි. දයාසිරිත් සාරතී මිත්‍රපාලත් කරට කර අත් දමා ගනිමින් තම මිත්‍රත්වය ප්‍රකාශ කර උද්ඝෝෂණයට සහභාගී වන අයුරු මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකුට දැක බලා ගත හැකි වූහ. ඒ අතරතුරදී මෛත්‍රිපාල සිරිසේනත් වාහනයක නැග එතෙන්ට පැමිණ ආපසු පිටත්ව යෑම විශේෂ සිදුවීමක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේනගේ බලතල වාරණ නියෝගය නිසා අත්හිටුවීමෙන් පසුව ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා තවත් පියවරක් ගත්තේය. ඒ වහාම දේශපාලන කමිටුව රැස් කරන ලෙස පක්ෂයේ මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාලට ලියමනක් යැවීමයි. එහෙත් සාරතී දුෂ්මන්ත එම නියෝගය ඉටු කළේ නැත. පක්ෂ නායක මෛත්‍රීගේ බලතල පක්ෂ නායකයා නොමැති මොහොතක හිමිවන්නේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිට යැයි ලේකම් මිත්‍රපාල විශ්වාස නොකළේය. එම නිසා ජ්‍යෙෂ්ඨ උප සභාපතිගේ ඉල්ලීම ඉටු කිරීම සාරතී දුෂ්මන්ත විසින් නොසලකා හරිනු ලැබුවේය.

එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේද ආශිර්වාදය මැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් වෙනම පවත්වන්නට දුමින්ද, ලසන්ත, මහින්ද විකල්ප කණ්ඩායම තීරණයක් ගත්හ. ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ගෞරවනීය සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිරිව සිටින්නේ යැයි සිතන දේශපාලන මණ්ඩල සභිකයින් පසුගිය 8 වැනි සඳුදා උදේ දහයට පදනම් ආයතනයේදී දේශපාලන මණ්ඩලය ලෙස රැස් වන්නේ ඒ අනුවය.

පක්ෂ නායකයා නොමැතිව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිගේ මෙහෙයවීමෙන් මේ ආකාරයට දේශපාලන මණ්ඩල රැස්වීමක් පවත්වන්නට ව්‍යවස්ථානුකූලව ඔබලාට හැකියාව ඇත්දැයි බොහෝ මාධ්‍ය නිමල් සිරිපාලලාගේ විකල්ප කණ්ඩායම මෙන්න මේ අවස්ථාවේදී විමසා සිටින්නට වූහ.

“දේශපාලන මණ්ඩලයට සාමාජිකයින් පහළොස් දෙනෙක් පත් කළ යුතුයි . හැබැයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා කවදාවත් ඔය පහළොව පත් කරේ නෑ. එක එක වෙලාවට එයාට ඕන එක එක්කෙනා පත්කරා සහ අස්කරා. ඒ නිසා දැන් ඕකේ හරියටම කවුරු ඉන්නවද කියලා පැහැදිලි නෑ. ඒ නිසා තමයි අපි කැඳෙව්වේ මීට කලින් මැතිවරණ කොමසාරිස්ගේ භාරයේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලිපිගොනුවේ සඳහන් දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන්ගේ නම් වලට. ඒ අනුව අපි එන්න කිව්වේ නීත්‍යානුකූල දේශපාලන මණ්ඩලයට.”

සඳුදා උදේ දහයට පදනම් ආයතනයේ පැවති දේශපාලන මණ්ඩල රැස්වීමට නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය ඇතුළු බහුතරයක් දෙනා පැමිණ සිටියහ. මේ නිසා ඔවුන්ට නිල වශයෙන් තීන්දු තීරණ ගැනීමට හැකියාවක් ලැබී ඇතැයි ඔහු විශ්වාස කළහ. ඔවුන් මෛත්‍රීගේ දේශපාලන මණ්ඩලය විසුරුවා හැර ඒ වෙනුවට අලුත් දේශපාලන මණ්ඩල සභිකයින් පිරිසක් නම් කර ඒ නම් ලැයිස්තුව නොපමාව මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාරදෙන්නට පියවර ගත්හ. ඒ අනුව දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිගත් නිල දේශපාලන මණ්ඩලය ඇත්තේ තමන් ළඟ යැයි මේ විකල්ප කණ්ඩායම තරයේ විශ්වාස කළහ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ද සිටින්නේ තම කණ්ඩායම සමග නිසා දුමින්ද ලසන්ත, නිමල් සිරිපාල හා මහින්ද අමරවීර පසුගිය සතිය වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලගතු චරිත ලෙස දේශපාලන කරළියේ කැපී පෙනෙමින් සිටියහ.

ඇමැති ප්‍රසන්නට හැදුනු තෝසෙ කන දොලදුක

ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් සතියේදී යාපනයේ උත්සව කිහිපයකට සහභාගි විය. එහිදී උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් විවෘත කිරීමට සහභාගි වූ අමාත්‍යවරයා ලෝක බිම්වෙඩි දිනය සැමරුමටද සහභාගි වූහ. මේ උත්සව සියල්ල සංවිධානය කර තිබුණේ ඇමැති ප්‍රසන්න හොබවන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචිය කිරීමේ අංශය විසිනි.

මේ සඳහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාර්ල්ස්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද ඇතුළු පිරිසක් සහභාගි වූහ.

“මම ඉස්සෙල්ලම වැඩ කළේ ඔබතුමාගේ තාත්තා එක්ක” ආණ්ඩුකාරවරිය කීය.

“ඒ කවද්ද” පුදුමයට පත් ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ඇසීය.

“ඔබතුමාගේ තාත්තා කාලයක් පුනරුත්ථාපන ඇමැති වෙලා හිටියා. ඒ කාලෙ මම වව්නියාව ප්‍රාදේශීය ලේකම්. තාත්තා පුනරුත්ථාපන වැඩ ටික පුදුම කැපවීමකින් වැඩ කළා. ඔබතුමාත් දැන් වැඩ කරන්නෙ එහෙම තමයි” ආණ්ඩුකාරවරිය ප්‍රසිද්ධියේම කීවාය.

“දෙමළ ජනතාවයි අපියි අතර විරසකයක් හදන්න ගෝත්‍රික දේශපාලනඥයන් ට්‍රයි කරනවා. අපි ඒවට අහුවෙන්න හොඳ නෑ. දැන් රට හරි ට්‍රැක් එකට වැටිලා. මේ වෙලාවේ අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දෙන්න ඕන” ඇමැති ප්‍රසන්න කී කතාවට රැස්ව සිටි පිරිස අත්පොළසන් ගැසීය.

“මට ජාතිවාදී ප්‍රශ්න නෑ. මොකද මම බැඳල ඉන්නෙ ද්‍රවිඩ ජාතික කාන්තාවක්. අපේ ගෙදර ආප්ප, ඉඳිආප්ප, හැලප වගේම තෝසේ, ඉට්ලි වගේ කෑම ජාතිත් නිතරම හැදෙනවා.” ඇමැතිවරයා යළි කී කතාවට උණුසුම් ප්‍රතිචාර හිමිවිය.

“ගෙදරදි කොච්චර තෝසේ කෑවත්, යාපනේ ඇවිල්ල තෝසේ නොකා යන්න අමාරුයි ඇමැතිතුමා” ඇමැති ප්‍රසන්න, ඇමැති ඩග්ලස්ට කීය.

“හරි.. මම ගාණේ අද දවල්ට තෝසේ කමු” කී ඩග්ලස් දේවානන්දා ඇමැතිවරයා “අම්මච්චි” හෝටලයෙන් ඇමැති ප්‍රසන්න ඇතුළු පිරිසට දිවා ආහාරයට තෝසේ රැගෙන දුන්නේය.

සමගි ජන බලවේගයෙන් සමගි ජන සන්ධානයක්

සමගි ජන බලවේගය පැත්තෙන් මේ දිනවල ක්‍රියාකාරකම් බොහෝය. ජනාධිපතිවරණ සටනේ ඉදිරියෙන්ම සිටින පක්ෂය වන සමගි ජන බලවේගය රට පුරා යමින් පවත්වන ජනරැලිවලට පොදු ජනතා සහභාගිත්වය අතිශයින් සතුටුදායකය. පසුගිය දිනක හිරියාල ප්‍රදේශයේ පැවැත්වුණු ජනරැලිය ද අති විශාල ජනකායක් සහභාගි වූ අති සාර්ථක රැලියක් ලෙස අවසන් විය.

ඒ අතර ඉදිරියේදී එන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳගන්නට එන දේශපාලන සංවිධාන ද ගණනාවකි. පසුගිය සතියේ එවන් එක් සුවිශේෂී කණ්ඩායමක් ගිවිසුමක් මගින් සමගි ජන බලවේගය සමග දේශපාලන ගමනක් යන්නට අත්වැල් බැඳ ගනු ලැබීය. ඒ නිදහස ජාතික සභාවයි.

නිදහස ජාතික සභාවේ නායක ඩලස් අලහප්පෙරුම හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර දේශපාලන ඇයි හොඳයියක් නිර්මාණය වූයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති තේරීම සඳහා පැවැත්වූ ඡන්ද විමසීමේදීය. එහිදී එක් පාර්ශ්වයක් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරාගත් අතර කිසිදු දෙගෙඩියාවකින් තොරව සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය යෝජනා කළේ ඩලස් අලහප්පෙරුමගේ නමයි. තරගයෙන් රනිල් ජයගත්තත් විපක්ෂයේ එකමුතුකම වෙනදාටත් වඩා වර්ධනය විය.

කාලයාගේ ඇවෑමෙන් ඩලස්ගේ පාර්ශ්වය හා සජිත්ගේ පාර්ශ්වය අතර දේශපාලන එකඟතාවයක් ඇතිවන්නට සාකච්ඡාවක් නිර්මාණය විය. එහෙත් කුමක් හෝ හේතුවක් නිසා තීරණාත්මක ලෙස සාකච්ඡාව අසාර්ථක විය. අවසානයේ සියල්ල කෙළවර වූයේ නිදහස ජාතික සභාවේ කණ්ඩායමක් කොන්දේසි විරහිතව සජිත් සමග එකතුවීමට ගන්නා ලද තීරණයෙන් පසුවයි. ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය චන්න ජයසුමන, දොස්තර අජිත් ගලප්පත්ති, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරු මෙසේ සමගි ජන බලවේගය සමග එක්වූ අතර නිල වශයෙන් ඔවුන් හා සමගි ජන බලවේගය පසුගිය 5 වැනිදා ගිවිසුමක්ද අත්සන් කරනු ලැබීය.

මහාචාර්ය ජී. එල්. පීරිස් හා රංජිත් මද්දුමබණ්ඩාර අතර මේ ගිවිසුම අත්සන් කෙරුණේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදීය. ඒ අනුව ඇතිවූ සන්ධානය සමගි ජන සන්ධානය නම් වීය.

කෙසේ වෙතත් මේ සන්ධානය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළාන්තයේ යම් යම් ප්‍රතිරෝධයන් මතු බව ද වාර්තා විය. ඒ පිළිබඳව තිස්ස අත්තනායක ද තම අදහස ප්‍රකාශ කළේ මෙසේය.

“පුද්ගලිකව මම නම් හිතන්නේ මේ එකතුවීම පුද්ගලයන් කීප දෙනෙකුගේ පැමිණීමක් කියලා විතරයි. මේ ආවේ නිදහස ජාතික සභාව කියලා අපට පිළිගන්න බෑ. එහි නායකයා ඩලස්. ඔහු ඇතුළු ප්‍රබලයෝ කීපදෙනෙක් හැරුණු විට වෙනත් කණ්ඩායමක් පැමිණිලා පක්ෂයත් සමග ගිවිසුමක් අත්සන් කළා. මම පුද්ගලිකව හිතනවා ගිවිසුම් අත්සන් විය යුත්තේ පුද්ගලයන් සමූහ අතර නොව පක්ෂ හා පක්ෂ අතර කියලා. මේ වගේ තැන්වලදී අපි තරමක් පරිස්සම් විය යුතුයි…”

තිස්සගේ ඒ ප්‍රකාශය හුදු අදහස් දැක්වීමක් පමණක් විය. විරෝධතාවක් නොවීය. විරෝධතාවක් ඇත්දැයි විමසූ විට ඔහු කීවේ “අනේ නැහැ… පුද්ගලයන් අප වටා ඒකරාශී වීම ගැන අපි සතුටු වෙන්න එපාය. මම කිව්වේ ගිවිසුම අත්සන් කිරීමේදී පරිස්සම් විය යුතුයි කියලා විතරයි. ඒක කරන්න ඕන පක්ෂ හා පක්ෂ අතර.” කියාය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment