කොවිඞ් හා වර්ජන නිසා පීඩාවිඳි දරුවන්ගේ මනස ගැන සිතා උගන්වන්න – විශේෂඥ වෛද්‍ය දර්ශනි ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලයි

185

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමේදී බහුතරයක් දරුවන් පාසල වෙත එන්නේ ගැටලූ රැුසකට මැදිවී මානසික වශයෙන් ව්‍යාකූලත්වයට පත්ව බව ගුරුවරුන් මෙන්ම දෙමාපියන්ද වටහාගත යුතුව ඇතැයි ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.

පැවති වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ මානසික තත්ත්වයට මෙන්ම මානසික වර්ධනයට විවිධ බලපෑම් එල්ල වී තිබීම දරුවන් එසේ ව්‍යාකූලත්වයට පත්වීමට හේතුව බවද ඇය පෙන්වා දුන්නාය. කොරෝනා වසංතය හේතුවෙන් පාසල් වසා දැමීම, සමාජ සබඳතා සීමා වීම, බාහිර කි‍්‍රයාකාරකම් සීමා වීම, සම වයසේ ඇසුර සීමා වීම තුළින් කෙටි කාලීන සහ දිගුකාලීන වශයෙන් දරුවන්ගේ පෞරුෂ වර්ධනයට බොහෝ බලපෑම් එල්ල වූ බවද ඇය පැවසුවාය.

මෙම තත්ත්වය තුළ අන් අයගේ අදහස් හඳුනා ගැනීම, අවේග පාලනය සහ බෙදාහදා ගැනීම ආදී වශයෙන් දරුවන්ගේ සමාජ කුසලතා වර්ධනයට බලපෑම් එල්ල වූ බවද පැවසූ දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය ඉකුත් කාලයේ ඔන්ලයින් අධ්‍යාපනය හමුවෙ අධ්‍යාපනය කරගෙන යෑමේ ගැටලූ රැුසකට දරුවන් මැදිවූ බවද කීවාය.

‘අන්තර්ජාල අධ්‍යාපනයේදී බහුතරයක් දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යෑමට අවස්ථාවක් ලැබුණේ නැහැ. බහුතරයක් දරුවන්ට අන්තර්ජාල පහසුකම් තිබුණේ නැහැ. ආර්ථික ගැටලූත් ඒ තත්ත්වයට බලපෑවා. ඒ වගේම පාසලේ පංතිකාමරය තුළ ලබා දෙන අධ්‍යාපනය වගේ නෙවෙයි අන්තර්ජාල අධ්‍යාපනය. එහිදී ගුරුවරුන් අධ්‍යාපනය ලබා දීමට උපරිමයෙන් කටයුතු කළත් දරුවාට ඇති අවබෝධ කරගැනීමේ හැකියාව අඩුයි. මේ නිසාත් දරුවන්ට ගැටලූ ඇති වුණා.

ඒ වගේම පරිගණක වැනි තිරවල වැඩි කාලයක් රැුඳී සිටීම නිසා පසුගිය කාලයේ දරුවන් එයට ඇබ්බැහි වීමකුත් සිදු වුණා. අන්තර්ජාල කී‍්‍රඩාවලට ඇබ්බැහි වීම වැනි ප‍්‍රවණතා ඇති වුණා. අන්තර්ජාල කී‍්‍රඩාවන්ට ඇබ්බැහි වීම නිසා මානසික වශයෙන් ව්‍යාකූලත්වයට පත්වූ දරුවන් ප‍්‍රමාණයත් වැඩියි. සියලූ තත්ත්වයන් හමුවේ මේ දිනවල දරුවන් මානසික ගැටලූවලට මැදිවීමේ ඉහළ යෑමකුත් දක්නට ලැබෙනවා. ඉක්මනින් කේන්ති යෑම, එය පාලනය කරගැනීමට නොහැකි වීම වැනි තත්ත්වයනුත් දරුවන් තුළින් දක්නට ලැබෙනවා.

එසේම සායනිකව පැහැදිලි කළ නොහැකි රෝග තත්ත්වයන්ට දරුවන් ගොදුරු වීමකුත් දකින්න තිබෙනවා. එයට හේතුව කොරෝනා වසංගතයට දරුවන් තුළ ඇතිවූ බිය. මේ නිසා පාසල් ආරම්භයෙන් පසු සායනිකව පැහැදිලි කළ නොහැකි රෝග ලක්‍ෂණ දරුවන්ට ඇතිවීමේ වැඩිවීමකුත් සිදුවිය හැකියි. දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම නිසා ආර්ථික දුෂ්කරතා සහිත ප‍්‍රදේශවල 9 – 10 වසරවල සහ උසස් පෙළ දරුවන් පාසල හැර යෑමේ ප‍්‍රවණතාවකුත් ඇතිවිය හැකියි.

මේ නිසා ගුරුවරුන් විශේෂයෙන් යථාර්ථවාදී බලාපොරොත්තු ඇතිව කටයුතු කිරීම වැදගත්. එසේ නොවුණහොත් තවදුරටත් පීඩාවට පත්වෙන්නේ දරුවොමයි.

ගුරුවරුන් දෙමාපියන්ගේ සහායද ලබාගෙන දරුවන්ගේ තත්ත්වය නිසි පරිදි අවබෝධ කරගෙන කටයුතු කළහොත් ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලූ අවම කරගත හැකියි’ යැයිද විශේෂඥ වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (18 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළාය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment