ශ්‍රී ලංකා පාපන්දුවට කටාර් දිගු කළ මිත්‍රත්වයේ දෑත

371

ඩොලර් අර්බුදය හමුවේ රටේ ක්‍රීඩාවටද කණකොකා හඬන්නට පටන් ගත්තේය. උද්ධමනය අහස උසට ගියාදෙන් කියා රුපියල් අච්චු ගැසුවද ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් අච්චු ගසන්නට අපට පුළුවන්කමක් නැත. නැති ඩොලර් ඉල්ලා ආයාචනා කිරීමේ සීමාවක් ද ඇත. පණ කෙන්ද ගැට ගසා ගන්නට අවශ්‍ය බෙහෙත් ටිකවත් ගන්නට පුළුවන්කමක් නැති රටක ක්‍රීඩාවක් වෙනුවෙන් ඩොලර් ඉල්ලීම ද යුක්ති සහගත නොවේ. ඒ නිසා ක්‍රීඩාව පැත්තෙන් ඩොලර් වැයවන වැඩ අඩු කරන්නට විණි. ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයන් ගණන සීමා කර පදක්කම් ඉලක්ක කළ හැකි ක්‍රීඩකයන්ට පමණක් මින් ඉදිරියට එම තරගාවලි විවෘත කිරීමට බලධාරීන් තීරණය කර ඇත. ඇතැම් ක්‍රීඩාවල සංචිතගත ක්‍රීඩකයන් ගණන ද අඩු කෙරිණි. එසේම පුහුණු සංචිත ද සීමා විය. මේ අතරතුර තවත් බරපතළ පාඩුවක් ක්‍රීඩාව පැත්තෙන් සිදුවිය. එනම් විදෙස් පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට ටටා බායි කියා සිය රට බලා යෑමට තීරණය කිරීමය. මලල ක්‍රීඩාවේ, වොලිබෝල් ක්‍රීඩාවේ, බීච් වොලිබෝල් ක්‍රීඩාවේ මෙන්ම තවත් ක්‍රීඩා රැසක් ආශ්‍රිතව ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටි විදෙස් පුහුණුකරුවෝ ඩොලර් නැති නිසා ශ්‍රී ලංකාවෙන් නික්ම ගියහ. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි බොස්නියා ජාතික අමීර් ඇලජික් මහතාය. තව කාලයක් සඳහා ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව සමඟ රැඳී සිටීමට ගිවිසුම්ගතව සිටි ඇලජික් මහතා රුපියල් වලින් වැටුප් ගන්නට කැමැති වූයේ නැත. රුපියල් ඇලජික් වූ ඇලජික් මහතා ඩොලර්ම ඉල්ලද්දී ඔහුව නතර කරන්නට හැකියාවක් තිබුණේ නැත. ඇලඩින්ගේ පුදුම පහන ගෙනැවිත් ඩොලර් මවා ඒවා ඇලජික්ට දී නතර කරන්නට පුළුවන්කමක් ද නැත. එනිසා ඇලජික් ගියේය. ඇලජික් ගියා කියා ක්‍රීඩාව නතර කරන්නට බැරිය. රුපියල්වලින් වැටුප් ලබන්නට කැමති වන විදෙස් පුහුණුකරුවන් ඇත්තේද නැත. රටේ සිටින දේශීය පුහුණුකරුවන් ද අවශ්‍ය තරමට පුහුණුකාරීත්වයට සුදුසුකම් ලබා නොමැත. ඒ නිසා විදේශීය පුහුණුකරුවෙකු ගෙන්විය යුතුමය. ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ඉදිරිපිට තිබූ එම බරපතළ අභියෝගය ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මේ වන විට ජයගෙන ඇත. එක් විදෙස් පුහුණුකරුවෙක් යනවිට විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙක්ම ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සමත් වී ඇත. ඒ ඩොලර් වියදම් කර නොවේ. තම සබඳකම් මතිනි. ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා සහ කටාර් රාජ්‍යයේ පාපන්දු බලධාරීන් අතර ඇති මිත්‍ර සබඳකම් මත එරටේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවට විදේශීය වෘත්තීය පාපන්දු පුහුණුකරුවන් දෙදෙනෙක් ලැබිණි. ඔවුන් නම් එංගලන්ත ජාතික ඇන්ඩෲ මොරිසන් සහ ඔස්ටේ්‍රලියානු ජාතික කීත් ස්ටීවන්ස් වේ. කටාර් හි අස්ෆයර් පාපන්දු ඇකඩමිය ඒ සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දුවට කටාර් දිගු කළ මිත්‍රත්වයේ දෑත

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු වන ඇන්ඩෲ මොරිසන් 51 හැවිරිදිය. එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි සහ ක්‍රිස්ටල් පැලස් යන පාපන්දු කණ්ඩායම් නියෝජනය කර ඇති මොරිසන් මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ නායකයා ලෙස ද වරින් වර කටයුතු කර ඇත. යුරෝපා පාපන්දු සම්මේලනයේ ඉහළම බලපත්‍රධාරී පුහුණුකරුවකු වන මොරිසන් මහතා කොනස්කි නොමෑඩ්ස් කණ්ඩායම වේල්සයේ අන්තර් සමාජ ලීග් පාපන්දු ශූරතාව ජයග්‍රහණය කරන විට එම කණ්ඩායමේ පුහුණුකරුවා ද වූයේය.

කීත් ස්ටීවන්ස් යනු එංගලන්තයේ සහ ඔස්ටේ්‍රලියාවේ ද්විත්ව පුරවැසියෙකි. සුප්‍රසිද්ධ එංගලන්ත පාපන්දු ලීගය දිගුකලක් නියෝජනය කර ඇති ස්ටීවන්ස් මහතා ඔස්ටේ්‍රලියානු කාන්තා පාපන්දු ලීගයේ ශූරතාව දිනූ බ්‍රිස්බේන් රෝර් ක්‍රීඩා සමාජයේ හිටපු සහාය පුහුණුකරුවා වේ. මේ අතර ජාතික පාපන්දු කණ්ඩායමේ දැල් රකින්නාගේ පුහුණුකරු ධුරය සඳහාද කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවීමට නියමිතය. එරට අස්ෆයර් පාපන්දු ඇකඩමිය මගින් එම පුහුණුකරුවෙකු සඳහාද මේ වන විටත් අයැදුම්පත් කැඳවා ඇත. ඒ සඳහා ලැබුණු අයැදුම්පත් මේ වන විට සලකා බලමින් සිටින බව පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව තව නොබෝ දිනකින් තවත් විදෙස් පුහුණුකරුවෙකුගේ සේවය ශ්‍රී ලංකා පාපන්දු පිලට ලැබීමට නියමිතය. එහි විශේෂත්වය වන්නේ අපේ රටෙන් ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවීමය. ශ්‍රී ලංකා පාපන්දු පිටිය මුහුණ දුන් බරපතළ අර්බුදයකට වත්මන් පාපන්දු බලධාරීන් විසඳුම් ගෙන එන්නේ එසේය. වසරකට නොව වසර තුනකට ය. කටාර් රාජ්‍යය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වසර තුනකට එළඹ ඇති ගිවිසුම මත ශ්‍රී ලංකාවට මෙම අනුග්‍රහයන් හිමි වේ. ඒ අනුව මොරිසන්ගේ සහ ස්ටීවන්ස් ගේ ගිවිසුම් වසර තුනක් තරම් දිගු වේ. ශ්‍රී ලංකා පාපන්දුව ලෝකයේ ඉහළ තැනකට ගෙන ඒම කෙසේ වෙතත් හොඳම කණ්ඩායම් 200 අතරට හෝ ගෙන ඒමට ඔවුන්ට හැකි වනු ඇතැයි පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකා පාපන්දුවට කටාර් දිගු කළ මිත්‍රත්වයේ දෑත

මේ සමගම ශ්‍රී ලංකා පාපන්දු පිටියේ කවදාවත් දක්නට නොලැබුණු දෙයක් සිදුවුණි. එනම් විදෙස් පුහුණුකරුවන් හතර දෙනකුගේ සේවය එකවර ශ්‍රී ලංකා පාපන්දු පිලට ලැබීමයි. එය එසේ වන්නේ ඒ වනවිටත් බ්‍රසීල ජාතික මාකස් ෆෙරෙයිරා මහතා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටීමයි. දැන් ක්‍රීඩකයන්ට අඩුවක් කියන්නට දෙයක් නැත. ඔවුන්ට තිබෙන්නේ මේ සම්පත් වලින් ප්‍රයෝජන ගෙන ශ්‍රී ලංකා පාපන්දුව ඉහළට එසවීමයි. ඒ සඳහා වැඩි කල් නොගොස් හොඳ අවස්ථාවක් ඔවුන්ට හිමිවී ඇත. 2023 වසරේ ආසියානු කුසලාන ට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව ලබන මස සහභාගි වීමට නියමිතය. බොස්නියාවේ අමීර් ඇලජික් නික්ම යෑමෙන් ශ්‍රී ලංකා පාපන්දුවේ හුළං බැස්සා යැයි සිතුවත් එංගලන්තයේ මොරිසන් ශ්‍රී ලංකාවේ පාපන්දුවට ඔක්සිජන් රැගෙන ආවේ යැයි ලෝකයට පෙන්වීමට එය මහඟු අවස්ථාවක් වේ.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ලැබෙන වාර්ෂික මුදල් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ද පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා කටයුතු කරමින් සිටී. රටට ඩොලර් අවැසි මොහොතක ක්‍රීඩාවෙන් හෝ එම මුදල් රටට ලැබේ නම් යහපතකි. ඩොලර් අහේනිය මග හරවා ගැනීමට එම මුදල් ද රටට ප්‍රයෝජනවත් වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment