හිටපු තේරීම් කමිටුව පටු අරමුණුවලට යෑමෙන් මට අසාධාරණයක් වුණා – තරගයේ වීරයා වූ මැතිව්ස්ගෙන් දෝස්මුරයක්

338

දෙවැනි තරගය අද

හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව පෞද්ගලික න්‍යාය පත්‍රයක් සහ පටු අරමුණු යටතේ කටයුතු කිරීම හේතුවෙන් තමන්ට හිමි වීමට තිබූ අවස්ථාවන් අහිමිව ගිය බව සිම්බාබ්වේට එරෙහි පළමු පන්දු වාර විස්සයි විස්ස තරගයේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

දෙරට අතර දෙවන පන්දු වාර විස්සයි විස්ස තරගය අද (16 වැනිදා) ප.ව.7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර පෙරේදා (14 වැනිදා) පැවති පළමු තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මැතිව්ස් ඒ බව සඳහන් කළේය.

පෙරේදා පැවති තරගයේදී කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර එහිදී පන්දු 38කින් ලකුණු 46ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානයද මැතිව්ස් හිමිකර ගත්තේ ය.

පන්දු යැවීමේදී ද ඔහු සිය පන්දුවාර 2 තුළදී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 13ක් පමණි.

මැතිව්ස් මෙහිදී පවසා සිටියේ තරංගගේ ප්‍රධානත්වයෙන් අලුතින් ස්ථාපනය කරන ලද තේරීම් කමිටුව ඔවුන්ගේ විස්සයි 20 ලෝක කුසලාන සැලසුම්වලට තමාවද ඇතුළත් කර ඇති බවයි.

“මා සහ නව තේරීම් කමිටු සාමාජිකයන් සමඟ ඇති සන්නිවේදනය ඉතා පැහැදිලියි. ඔවුන් මගෙන් අනාගතය සඳහා මගේ සැලසුම් මොනවාදැයි විමසූ අතර ඔවුන්ගේ සැලසුම් අනුව විස්සයි20 ලෝක කුසලාන කණ්ඩායමේ මා ඉන්නා බව පවසා සිටියා. අපි ඉතා හොඳ සාකච්ඡාවක් පැවැත්වුවා. විස්සයි20 ලෝක කුසලානයේදී මට පන්දුවාර කිහිපයක් යැවීමට හැකි නම් ඔවුන් පැවසුවා මම ඔවුන්ගේ සැලසුම්වල ඉන්නවා කියලා. මම කිව්වා අනිවාර්යෙන්ම මට කණ්ඩායමට ඕනෑම ආකාරයකින් උදව් කළ හැකියි කියලා. මම එල්පීඑල් තරගාවලියේදීත් පන්දු යැවුවා. මෑතකදී එක්දින තරගවලදීත් පන්දු යැවුවා. මට කණ්ඩායමේ සමබරතාවට උපකාර වන පන්දුවාර කිහිපයක් යැවීමට හැකි නම් මම ඒ දේ කරනවා.”

ඇන්ජලෝ මැතිව්ස් මෙම වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකා විස්සයි 20 ලෝක කුසලාන කණ්ඩායමට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් පසුවන අතර, ඔහු ඒ හේතුව නිසාම පන්දු යැවීමද සිදු කරයි.

පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලි වාර දෙකේදීම මම හොඳින් පන්දුවට පහර දුන්නා. නමුත් අවාසනාවකට එවකට හිටිය තේරීම් කමිටුව මාව විස්සයි 20 ලෝක කුසලානයට තෝරා නොගත් අතර ඒ සඳහා මට හේතු ඉදිරිපත් කළේ නැහැ, මැතිව්ස් එම මාධ්‍ය හමුවේදී තවදුරටත් පැවසීය.

“ඔබ න්‍යාය පත්‍රවලට අනුව තීන්දු තීරණ ගත්තොත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි ශූරයන්ගේ කුසලානයටවත් සුදුසුකම් ලබා නැහැ. නමුත් මම විශ්වාස කරන එක දෙයක් නම්, ඔබ මුළු හදවතින්ම පුහුණු වී ක්‍රීඩා කළහොත්, ඔබට දස්කම් දැක්වීමට හැකි පරිසරයක් ඔබටම නිර්මාණය කළ හැකියි. පසුගිය වසර කිහිපය තුළ මම මගේ උත්සාහය ඉදිරියට ගෙන ගියා. මම හිතන්නේ මට තව ටික කාලයක් ක්‍රීඩා කළ හැකියි.”

මම තරගයේදී බැට් කරනකොට දසුන් එක්ක කතා කළා, අපි දෙන්නගෙන් එක් කෙනෙක් දැවී ගියොත් ඇත්තටම අමාරු වෙන්නේ කොහොමද කියලා. අපි හිතුවා 16 වැනි හෝ 17 වැනි පන්දු වාරය දක්වා පන්දුවට පහර දී අවශ්‍ය වේගය ලබා ගත හැකි මට්ටමක තිබ්බොත් හොඳයි කියලා. අපිට අවසාන පන්දු වාරයට ලකුණු 10ක් පමණ තබා ගත්තොත් ජයග්‍රහණයට හොඳ අවස්ථාවක් තිබුණා. දසුන් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා, වැදගත්ම ඉනිම ක්‍රීඩා කළේ දුෂ්මන්ත චමීර තමයි, අන්තිම පන්දු දෙකෙන් හයේ පහරක් එල්ල කළා. නැත්නම් අපි කරපු අනිත් හැම දෙයක්ම තේරුමක් නැහැ.’ යනුවෙන් මැතිව්ස් වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වෙතත් පෙරේදා (14දා) මෙම තරගයට පෙර මැතිව්ස් අවසන් වරට ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර තිබුණේ 2021 වර්ෂයේ මාර්තු මාසයේදී ය.

පෙරේදා පැවති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස තුළදී කඩුලු 5 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය ලබා ගත්තේය.

අද පැවැත්වෙන තරගය ද ජය ගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට අවස්ථාව උදාවේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment