හිරුණිකාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ඉදිරි නඩු දිනයේදී අවසන් කරනවා – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්

60

තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි විභාගය ඉදිරි නඩු දිනයේදී අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊයේ (14දා) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතාට දැනුම් දුන්නේය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂිකාරියක ලෙස නම් කර තිබූ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජ්‍ය ප්‍රාදේශීය ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂිකා විමුක්ති කාරියවසම් මහත්මියගේ සාක්‍ෂිය ඊයේ (14දා) විවෘත අධිකරණය හමුවේදී ලබා ගැනීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ බව දැනුම් දුන්නේය. රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ එරන්දි අබේනායක මහත්මිය සමග නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. නීතිඥ චින්තක රන්කොත්ගේ මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය. පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති කරුණු 13කින් යුත් යෝජිත පිළිගැනීම් සම්බන්ධයෙන් විත්තිය දක්වන ස්ථාවරය අනුව එම නඩුවේ පැමිණිල්ල අවසන් කරගැනීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය.

2015.12.21 වැනිදා දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටි තරුණයකු පැහැරගෙන තම කාර්යාලයට ගෙන ගොස් ඔහුට පහර දීමට ආධාර අනුබල දීම යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. එම නඩුව ලබන ඔක්තෝබර් 4 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment