හෝ ගානා පොකුණේ සිට ගුත්තිල දක්වා පැමිණි – දිනේෂ්

134

වීණාවේ හඬ නිර්මාණයට දවස් 12ක් ගියා

‘ගුත්තිල. සිනමාපටය මේ දිනවල බොහොම සාර්ථකව තිරගත වෙනව. මේ නිර්මාණය සංගීතය හා බැඳුනක් වන හෙයින් සංගීත අධ්‍යක්‍ෂවරයාට පැවරෙන්නේ සුවිශේෂී කාර්යභාරයක්. නිර්මාණයේ සාර්ථක අසාර්ථක බව රඳාපවතින මේ වගකීම කරට ගන්නෙ නව පරපුරේ දක්‍ෂ සංගීතඥයෙක් වන දිනේෂ් සුබසිංහ.

ඔහු කොහොමද මේ අභියෝගයට මුහුණ දුන්නෙ.

හෝ ගානා පොකුණේ සිට ගුත්තිල දක්වා පැමිණි - දිනේෂ්

‘ගුත්තිල. හි ඔබේ සංගීත අධ්‍යක්‍ෂණයට ලැබෙන්නෙ මොනවගේ ප්‍රතිචාරයක්ද?

බොහෝ දෙනකුගේ සිත පහන් වන ආකාරයේ ශබ්ද රටා” නාද රටා මම මවල තියෙන බව කනට ඇසුණා. මේ චිත්‍රපටයේ අග භාගයේ පැමිණෙන රූ රැසේ ගීතය කෙනෙක් බලාපොරොත්තු වන විදිහට සහ වෑත්තෑවේ හිමියන් රචනා කරල තිබුණ විදිහට තරමක් වෙනස් වුණ විදිහට” සුසිල් ප්‍රේමරත්න මහත්මයා සහ ලතා වල්පොල මහත්මිය ගායනා කළ ඒ අති මධුර තනුව මම වෙනස්ම දෙයක් බවට පත් කළා. ලංකාවේ ජනගත වෙලා තිබුණ තනුව වෙනුවට මම අලුත්ම තනුවක් එකතු කළා.

හෝ ගානා පොකුණේ සිට ගුත්තිල දක්වා පැමිණි - දිනේෂ්

මේක ඔබට මොන වගේ අභියෝගයක්ද?

ඇත්තටම එතනදි මට ලොකු අභියෝගයක් මතු වෙනව. විශේෂයෙන්ම තිස්ස නාගොඩවිතාන මහත්මයා සහ සනත් අබේසේකර මහත්මයා මට මුලදි මේ කතාව සම්බන්ධව විග්‍රහ කරල අවසානයේ කිව්වා ප්‍රේක්‍ෂකයා චිත්‍රපට ශාලාවෙන් එළියට එනකොට ඒ පරණ තනුව කිය කිය එන තැනට මාර්ගය හදන්න ඕන කියල. නමුත් මම මෙතනදි දැක්කෙ අති නිර්මල ගමනක යෙදුන බෝධිසත්ත්වයන් හෙවත් මේ ගුරුවරයාට සිදු වුණ අසාධාරණය. මේ දේ එක්ක රූ රැසේ තනුවට වෑත්තෑවේ හිමියන් කළ විග්‍රහයට වඩා වෙනස් පැත්තකට යන විග්‍රහයක් අධ්‍යක්‍ෂවරයා සහ මම එකතු වෙලා කරන්න උත්සාහ කළා. ඒකට අපි කළේ ගුත්තිලගේ ගැයුමක් වගේම පොතේ ආකාරයට ජනතාවගේ ජයඝෝෂාවත් යම් කිසි විදිහකින් අපි මේ නිර්මාණය තුළට ගෙනාවා. මම මේ තනුව සම්පූර්ණයෙන්ම අලුත් එකක් බවට පත්කරල කරපු වෙනස්කම සුදුසු නැහැ කියල තිස්ස නාගොඩවිතාන මහත්මයා කිව්වා. නමුත් අධ්‍යක්‍ෂවරයා මේකට කැමති වුණා. ඒ වගේම හරේන් නාගොඩවිතාන මහත්මයා කිව්වා අපි මේ වෙනස විෂුවල් එකට දාලම තාත්තාට පෙන්නමු කියල. අවසානයේ මේ රූපරචනාව දැකපු තිස්ස නාගොඩවිතාන මහත්මයා මගේ අත අල්ලල කිව්වා ඔයා මගේ හිතේ තිබුණ සිහිනය සැබෑ කළා” මේක තමයි මම මුල් තනුව තුළින් හිතාගෙන හිටියෙ” ඔබේ තනුව තුළින් චිත්‍රපටයට පුදුමාකාර ආලෝකයක් ලැබුණා කියල. මෙතනදි අපි විශේෂ දෙයක් කළා. ඒ තමයි මේ චිත්‍රපටය තිරගතවීම අවසන් වන තුරු රූ රැසේ ගීතය මාධ්‍යවලට ලබා නොදීමට තීරණය කිරීම. එහෙම වුණොත් චිත්‍රපටය පිළිබඳව තියෙන කුතුහලය නැතිව යනව. මේක බෝසත් මහිමය පෙන්වන ආධ්‍යාත්මික තනුවක්. මෙතන තමයි මට ලොකු අභීයෝගය තිබුණෙ. මම හිතනවා මම ඒ අභියෝගය ජයගත්තා කියල. මම විශ්වාස කරනව විශ්වය යම්කිසි විදිහකින් ආධ්‍යාත්මික වරමක් ලබා දුන්න කියල.

හෝ ගානා පොකුණේ සිට ගුත්තිල දක්වා පැමිණි - දිනේෂ්

මූසිලගේ ගායනය පුරුදු පුහුණු කරන්නෙත් ඔබ. ඒ උත්සාහය කොතෙක් දුරට සාර්ථකද?

මූසිල කියන්නෙ එවකට හිටපු දුර්වලම සංගීතඥයෙක් කියල කියන්න බැහැ. ගුත්තිල සංගීතයේ භාවාත්මක ගතියෙන් පොහොසත් වගේම මූසිල වාණිජමය පැත්තෙන් පොහොසත්. මම හිතනව අඛිල ඒ චරිතයට සාධාරණයක් කළා කියල.

ඔබ ප්‍රසිද්ධියට පත් වෙන්නෙ හෝ ගානා පොකුණේ සංගීත අධ්‍යක්‍ෂණයෙන්. ඊට සාපේක්‍ෂව ගුත්තිල වෙනුවෙන් මොනවද භාවිත කළ උපක්‍රම?

මගේ සිනමා ගමන ඇරඹෙන්නෙ සිහිනය දිගේ නිර්මාණයෙන්. ඉන් පස්සෙ පරාවර්ථන….

වරිග පොජ්ජ” පරපුර” කල්පාන්තයේ සිහිනයක් වැනි නිර්මාණ හරහා ඉදිරියට එනව. නමුත් කඩඉම් ලකුණ වෙන්නෙ හෝ ගානා පොකුණ. මේ චිත්‍රපට දෙක ගත්තාම මම බොහෝ දුරට සමාන බවක් දකිනව. හෝ ගානා පොකුණෙදි මට ලැබුණෙ කුඩා දරුවන්ගෙ පිරිසිඳු සිතත් එක්ක කරන ගනුදෙනුවක්. මෙතැන තියෙන්නෙ වයසින් මුහුකුරා ගියත් බුදු බව පතන බෝධිසත්වයකුගේ සිතේ නිර්මලත්වය. මම මේ අවස්ථා දෙකම සමාන තත්ත්වයකින් දකිනව. සංගීතය පැත්තෙන් ගත්තාම හෝ ගානා පොකුණට වඩා පර්යේෂණාත්මක මට්ටමකින් ගුත්තිල සිනමා නිර්මාණයේ සංගීතය මුසුකරන්න සිදු වුණා. අපිට මෙතනදි ලොකු-ම ගැටලුව වුණේ මොකක්ද මේ වීණාව කියන දේ. මේ වීණාව කියන්නෙ අපි දන්න විදිහට දකුණු ඉන්දියාවේ තිරස් අතට බිම තියාගෙන වාදනය කරන වාද්‍ය භාණ්ඩය පමණක් නෙමෙයි. ඒ අද අපිට ඉතිරිවෙලා තියෙන එක හැඩතලයක්. අපි චිත්‍රපටයට භාවිත කළ වීණාව හැදුවෙ විශාල මහන්සියකින් කළ පර්යේෂණයකින් පස්සෙ.

සංගීත වැඩකටයුතු කොහොමද?

ශ්‍රී සිද්ධා සහ තාත්තා යන චිත්‍රපට දෙක ඉදිරියේදී තිරගත වීමට නියමිතව තියෙනව. ඊට අමතරව කුක්‍ද්චනාද ටෙලි නාට්‍යයේ සංගීත නිර්මාණ කටයුතු සිදු කළා. ඒ වගේම මට අලුත් ආරාධනාවක් කළා මගේ ආදරණීය රසිකයන්. ඒ තමයි විවාහ උත්සව වල මනාල යුවළ මුදු මාරු කිරීමේදි” පහණ දල්වද්දි හෝ කේක් කපද්දි වයලීන වාදනයක් කිරීමට. සිරස ටීවී ආයතනය සමග අලුත් සංගීත වැඩසටහනක් ආරම්භ කරන්නත් ආරාධනයක් ලැබුණා.

කොන්සර්ට් එකක් කරන්න අදහසක් නැද්ද?

ජූලි මස 21 වැනිදා නෙළුම්පොකුණේදී අපි ප්‍රසංගයක් පවත්වනව. ඒ වගේම අගෝස්තු 12 වැනිදා මීගමුවේදී තවත් එකක් පැවැත් වෙනව. නැවත සැප්තැම්බර් 22 වැනිදා කුලියාපිටියේදීත් ප්‍රසංගයක් පැවැත්වෙනවා.

ඔබේ අදහස වාද්‍ය ශිල්පියකු ලෙස ඉදිරියට යන්නද?

මගේ වෘත්තිය සංගීතය. මගේ න්‍යාය වෙන්නෙ වාදකයකු ගායකයකු හා සම වන පරිදි ප්‍රේක්‍ෂකයා ඉදිරියට පැමිණිය යුතුයි කියන එක. ඒ සමග සංගීත අධ්‍යක්‍ෂණ කටයුතුත් සමබරව කරගෙන යන්න අදහස් කරනව.

ඔබේ සංගීත අධ්‍යක්‍ෂණය ගැන එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ අදහස මොන වගේද?

ගුත්තිල චිත්‍රපටයේ රංගනයට සහ සංගීත අධ්‍යක්‍ෂණයට තිස්ස නාගොඩවිතාන මහත්මයා මුලින්ම ආරාධනා කරන්නෙ එඩ්වඩ් ජයකොඩි මහත්මයාට. ඒ අවස්ථාවේදි එඩ්වඩ් මහත්මයා යෝජනා කරනව මේ වැඩේට නූතන සංගීතඥයෙක් අවශ්‍යයි” තමන්ට එවිට රංගනයේ යෙදෙන්න පහසුයි කියල. එතුමා තමයි මගේ නම යෝජනා කරන්නෙ.

කොහොමද මේ අභියෝගයට මුහුණු දුන්නෙ?

ඇත්තටම මේ වීණාවේ ශබ්දය නිර්මාණය කිරීමට පමණක් මිනිස් පැය 286ක් මට වැය වුණා. දවස් 12ක්. වාද්‍ය භාණ්ඩ 14ක් අරගෙන එකම ස්වරය වයල” ඒවා පටිගත කරල අමුතුම ස්වරයක් මම මේ නිර්මාණය කළේ. රූගත කරන තැන්වලට ගිහින් දවස් 17ක් සංගීතයට අදාළ සියලු සිද්ධිවලදි මම පසුපසින් හිටියා. මේ සියලු සංගීත කටයුතු සඳහා දින 81ක් ගත වුණා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment