2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට තව දින පහයි – කුසලානයේ රස මතක

471

සිල්වියෝ ගස්සානිගා
1970 වසරේ මෙක්සිකෝවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය බ්‍රසීලය විසින් දිනා ගනු ලැබීමත් සමග බ්‍රසීලය එම ශූරතාවය දිනා ගත් තෙවැනි අවස්ථාව බවට එය පත් විය. ඒ අනුව බ්‍රසීලයට එම කුසලානය (රිමෙට් කුසලාන) තම රට වෙත තබා ගැනීමේ අයිතිය හිමි විය. මේ නිසා නව පාපන්දු ලෝක කුසලානයක් නිර්මාණය කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට සිදු වූ අතර ඒ සඳහා ඔවුහු නිර්මාණ ශිල්පීන්ට විවෘත ආරාධනාවක් කළහ. ලොව පුරා රටවල් 25ක නිර්මාණ ශිල්පීන් නිර්මාණ 53ක් කුසලානය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරෙන් ඉතාලි නිර්මාණ ශිල්පියකු වූ සිල්වියෝ ගස්සානිගා ගේ නිර්මාණය තෝරාගැනීමට ජගත් පාපන්දු බලධාරීහු තීරණය කළහ.

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට තව දින පහයි - කුසලානයේ රස මතක

අතීතයේ ඉතා ප්‍රචලිත තාක්ෂණයක් වූ සේරා පර්සා නම් තාක්ෂණය උපයෝගි කරගෙන නව කුසලානය වාත්තු කෙරිණ. ඝන කැරට් 18 රත්තරන්වලින් කුසලානය සාදා ඇත. ඇතුළත කුහරයක් ඇති නමුත් බර ග්‍රෑම් 6175 කි. සෙන්ටි මීටර් 36.8 ක් උසය. මූලික විශ්කම්භය සෙන්ටි මීටර් 13 කි. එහි පාදම හරිතවර්ණ මැලචයිට් පටි දෙකකින් සමන්විතය. කුසලානයේ අභ්‍යන්තරයට කොටසේ 1974 සිට කුසලාන දිනූ කණ්ඩායම්වල නම් කොටා ඇත. කුසලානය මුදුනේ ඇති ගෝලය මහාද්වීප පිළිබිඹු වන ආකාරයෙන් නිර්මාණය කර ඇත. ලෝකය ඔසවාගෙන සිටින ක්‍රීඩකයෝ දෙදෙනෙක් මෙහි පිළිබිඹු වෙති. රූප දෙක අතර ඇති රළු මතුපිට පාපන්දු ක්‍රීඩාවේ තිව්‍රතාව, ජවය, තරගකාරීත්වය පිළිබිඹු කරයි. මේ කුසලානයේ වටිනාකම ඩොලර් මිලියන දහයක් පමණ වේ. මෙම කුසලානය රිමෙට් කුසලානය මෙන් තුන් වතාවක් ලෝක කුසලාන දිනා ගන්නා කණ්ඩායමට සදහටම ප්‍රදානය කිරීමේ ක්‍රියාව නොකරන බවට 2016 වසරේ ජර්මනියේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගය ආරම්භ වන විට ජගත් පාපන්දු බලධාරීහු ප්‍රකාශ කර සිටියහ. පාපන්දු ලෝක ශූරයන්ට ජයග්‍රාහි කුසලානයේ අනුපිටපතක් හිමිවේ. මෙම පාපන්දු කුසලානය නිර්මාණය කළ ඉතාලියේ සිල්වියෝ ගස්සානිගා මිලාන් හිදී 1921 ජනවාරි 23 වැනිදා උපත ලැබුවේ ය. මෙම කුසලානයට අමතරව තවත් වැදගත් පාපන්දු කුසලාන නිර්මාණය කළ ඔහු බේස්බෝල් ලෝක කුසලානය සහ වොලිබෝල් ලෝක කුසලානය ද නිර්මාණය කර ඇත.

එසේම පැසිපන්දු, පිහිනුම්, ස්කීං සහ තවත් බොහෝ කුසලාන සහ පදක්කම් රාශියක් නිර්මාණය කර ඇති ගස්සානිගා ඉතාලිය එක්සත් කිරීමේ 150 වැනි සංවත්සරය සැමරීම සඳහා 2011 වසරේ දී ජාතික කුසලානය නිර්මාණය කළේය. ඉතාලි ජන රජයේ කුසලතා නියෝගය නම් ඉතාලියේ ඉහළම ගෞරවයද 2012 වසරේදී ගස්සානිගාට හිමිවිය. මෙම විශිෂ්ට නිර්මාණ ශිල්පියා 2016 ඔක්තෝබර් 31 වැනිදා ඉතාලියේ මිලාන් නගරයේ දී වයස අවුරුදු 95දී අභාවප්‍රාප්ත වූයේය.

රුවන් තරස්වින්

advertistmentadvertistment
advertistmentadvertistment