23 න් පහළ කනිෂ්ඨ ශූරතා පාපන්දු තරගාවලි බලාපොරොත්තුව සමගින් ශී‍්‍ර ලංකාව අද සිරියාව හමුවෙයි

106

ආසියානු කුසලාන වයස අවුරුදු 23 න් පහළ කනිෂ්ඨ ශූරතා පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට අවතීරණ වෙමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (25 දා) ප‍්‍රතිවාදී සිරියාවට එරෙහිව තරග වදී.

සසංක ඩිල්හාර ජයසේකරගේ නායකත්වයෙන් සමන්විත ශ‍්‍රී ලංකාව සහ සිරියාව අතර තරගය අද (25 දා) රාත‍්‍රී 10.30 ට කටාර් දේශයේ දෝහා අගනුවර පිහිටි ‘‘සුහයිම් බින් හමාඞ්’’ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකාව, කටාරය, සිරියාව සහ යේමනය යන රටවල් 04 ක් අතරේ ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය ‘ඒ’ කාණ්ඩය ට අයත්ය.

‘ඒ’ කාණ්ඩයට අයත් පළමු තරගය අද රාත‍්‍රී 08.30 ට කටාරය සහ යේමනය අතර කලීෆා ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ‍්‍රී ලංකාව සහ සිරියාව අතර තරගය එහි දෙවැන්න ලෙස ආරම්භ වීමට නියමිතය.

මීළඟ ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ වටයට ඉදිරිපත්ව සිටින ආසියාවේ රටවල් සංඛ්‍යාව 42 කි.

කාණ්ඩ 11ක් යටතේ රටවල් 11 කදී ක‍්‍රියාත්මක කෙරෙන මෙවර තරග ලබන නොවැම්බර් මස 02 අවසන් කෙරේ.

මෙවර කාණ්ඩ තරග මාලාවන්

කටාරය (A), තජිකිස්තානය (B), බහරේනය (C), උස්බෙකිස්තානය (D), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (E), ජෝර්දානය (F), තජිකිස්තානය (G), සිංගප්පූරුව (H‍), චීන තායිපේ (I), මොංගෝලියාව (J) සහ ජපානය (K) යන රටවල සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වේ.

මීළඟ ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ තරගාවලිය රටවල් 16 ක සහභාගිත්වයෙන් යුතුව එළඹෙන 2022 වසරේ උස්බෙකිස්තානයේ දී ක‍්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment