Match Fixing සහ ෆන් මානසිකත්වය

687

සූදු කෙළීම යනු ලෝක ඉතිහාසයේ පැරණිම සල්ලි සෙල්ලම්වලින් එකකි. ක්‍රිස්තු පූර්වයේදී රෝමයේ වහලුන් විශාල ක්‍රීඩාංගණ මැද දිවි පරදුවට තබා ප්‍රතිවිරුද්ධ වහලුන් සමඟ සටන් කිරීමේ සෙල්ලමක් විය. මෙය බොහෝ විට පවත්වන ලද්දේ රෝම රාජ්‍යයේ මධ්‍යම ක්‍රීඩාංගණය වූ කොලෝසියමේ ය. සමහර වහල්ලු වහලුන් සමඟත්, සමහර වහල්ලු සිංහයන් සමඟත්, තවත් සමහරු කොටි සමඟත් සටන් කළහ. මේ සටනේදී ස්ථිර වශයෙන් ම දෙදෙනාගෙන් එකෙක් මිය ගියේ ය. ජයග්‍රාහකයා වැඩිපුර තුවාල ලබා ඉතා දුර්වල තත්ත්වයක පසු වූයේ නම් රජුගේ සෙබළු ඔහුට ද කඩුවෙන් කොටා මරා දමන ලදි. මේ මාරාන්තික ක්‍රීඩාවලින් ජයග්‍රාහකයා වනු ඇත්තේ අසවලාය කියමින් සටන් පාර්ශ්ව දෙකටම ඔට්ටු ඇල්ලූ සාමාන්‍ය ජනයාත්, රෝම රාජ්‍යයේ මැති ඇමැතිවරුනුත්, රාජ කුමාරවරුත්, රජවරුත් එම කොලෝසියමේ නරඹන්නන් අතර වූහ. රජු බොහෝ විට ඔට්ටු ඇල්ලුවේ සිය මෙහෙසිය සමඟ ය. ඔට්ටුව පැරදුනොත් රජු රන් මිල දහස් ගණනක් මෙහෙසියට ගෙවිය යුතු වූ අතර මෙහෙසිය පැරදුනොත් ඇය ඒ හා සමාන මිලක් රජුට ගෙවිය යුතු විය. ග්‍රීසියේ ඇතැන්ස් නුවර ඔලිම්පික් ක්‍රීඩාව පටන්ගත් මුල් යුගයේ පැවතියේ එකම ඉසව්වක් පමණි. ඒ වූ කලී රට හරහා දිවීමේ තරගයයි. මේ තරගයට සිය ගණනක් සහභාගි වූ අතර එයින් දිනන්නේ අසවලාය කියමින් පාර දෙපැත්තේ සිටින අය එකිනෙකා සමඟ ඔට්ටු ඇල්ලූහ. මේ කියන කාලයේදී රට හරහා දිවීම කළේ නිරුවතිනි. සමහර විට සැතපුම් සිය ගණනක් දුවන ධාවකයා ජයග්‍රහණය කර බිම වැටී එකෙනෙහිම මළේ ය. ඒ අධික මහන්සිය නිසා ය. අවසාන ඵලයේදී ජයග්‍රාහකයා පැරදී සිටි අතර ජයග්‍රහණය කර තිබුණේ ඔට්ටු ඇල්ලූ අය පමණි.

ලෝකයේ සෑම ක්‍රීඩාවකදී ම බලාගෙන සිටින අය ඔට්ටු ඇල්ලීම සිදුවේ. මේ අතර පිට්ටනියෙන් එළියේ සිටින බුකීකරුවෝ ක්‍රීඩකයන්ට අල්ලස් දී ජයග්‍රහණය හෝ පරාජය තීරණය කරනු ලැබේ. මැච් එක ජයග්‍රහණය කළ විට කණ්ඩායම් නායකයාට ඩොලර් දහදාහක් ලැබේ නම් ඔහු මැච් එක පැරදුවහොත් ඒ වෙනුවෙන් ඩොලර් විසිදාහක් දීමට බුකීකාරයා සූදානම් ය. මේ ක්‍රීඩකයාට ද බුකීකාරයාට ද එක සේ වාසි ගෙන දේ. සමහර විට බුකීකාරයා මැච් එක පරදින බවට ඩොලර් කෝටි ගණනක් ඔට්ටු අල්ලයි. මේ ඩොලර් කෝටි ගණනින් ඩොලර් විසිතිස්දාහක් ක්‍රීඩකයාට දුන් විට ඔහුට පාඩුවක් නැත. මෙය MATCH FIXING යනුවෙන් හඳුන්වනු ලැබේ. එනම් තරගයක ජය පරාජය තීරණය කරන්නේ ක්‍රීඩකයන්ගේ ක්‍රියාකලාපය අනුව නොව පිට්ටනියෙන් පිටත සිටින හෝ සමහර විට වෙන රටක සිටින බුකීකාරයකු විසිනි. ලිඛිත ඉතිහාසයේ පළමුවන MATCH FIXING කටයුත්ත වාර්තා වන්නේ 1898 දී එංගලන්තයෙනි. එරට නගර දෙකක් අතර පැවැති ක්‍රිකට් තරගයකට බුකීකාරයෝ මැදිහත් වූහ. ඒ අතර ලෝකයේ ලොකුම MATCH FIXING වංචාව කරනු ලබන්නේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක හැන්සි ක්‍රොන්fක්‍ඳ් විසිනි. ඒ වසර 2000 දී ය. මෙහිදී ඉන්දියානු බුකීකාරයකු වන සංජේ චව්ලා සහ හැන්සි අතර විශාල ගනුදෙනුවක් කෙරුණු බවත් ඉන් පසු ක්‍රිකට් ක්‍රීඩා කිරීම හැන්සි ක්‍රොන්fක්‍ඳ්ට ජීවිතාන්තය දක්වාම තහනම් කෙරුණු බවත් දැන ගන්නට තිබේ. මෙයට ස්වල්ප කලකට පෙර ගුවන් යානයක ගමන් කරමින් සිටි හැන්සි ක්‍රොන්fක්‍ඳ් යානය කඩාවැටීම නිසා මියගියේ ය. එම මරණය සහ MATCH FIXING අතර සම්බන්ධයක් අපි නොදකිමු. එය කර්මානුරූපව ඔහුට සිදුවූවක් විය හැකිය.

MATCH FIXING පිළිබඳ චෝදනා රැසක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ද විටින් විට මතුවිය. ඒවා ගැන මෙහිදී කතා කරනු නො ලැබේ. එවැනි ක්‍රීඩකයන්ට දිය හැකි උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා ම ඔවුන්ගේ ක්‍රිකට් තහනම් කිරීමය. ඒත් මේ ක්‍රීඩකයන් දැන් ක්‍රිකට් ගැසීම තබා මැච් බැලීමවත් කරන්නේ නැත. ඔවුහු තමන් ඉපයූ දූෂිත මුදලින් රජවරුන් ලෙස කල් ගත කරති. පසුගිය දවසක MATCH FIXING සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායක නමැති ක්‍රිකට් ක්‍රීඩකයා අත්අඩංගුවට ගන්නා ලදී. ලබන සිකුරාදා දක්වා ඔහු රිමාන්ඩ් කූඩුවේ ලැගීමට නියමිතය. ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායක ක්‍රීඩාව පසෙකලා මුදලට ක්‍රීඩා කිරීමෙන් දූෂිත සිද්ධියක් සිදුකර ඇති බව මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේය. සචිත්‍ර සේනානායක සම්බන්ධ නඩුව විශේෂ එකකි. 2019 අවුරුද්දේ සම්මත වුණු ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ පැවරෙන පළමු වැනි නඩුව මෙය වේ. මෙහිදී තරිඳු රත්නායක සහ ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් දෙදෙනා ගැන ද සඳහන් වී ඇත. මුදලට තරග පාවාදීම සඳහා සැකකරු විසින් මේ දෙදෙනා පොළඹවා ඇති බව මේ පිළිබඳව කෙරුණු විමර්ශනයේදී හෙළි වී තිබේ. බුකීකරුවන් කියන ලෙසට ක්‍රිකට් ගහන අයට ඩොලර් හතළිස්දාහත් හැටදාහත් අතර ලබාදෙන බව ද විමර්ශනයේදී හෙළි වී ඇත. ඩොලර් හැටදාහක් යනු රුපියල් කෝටි විස්සකට කිට්ටු මුදලකි. මෙවැනි එක මැච් එකක් පාවා දුන් විට අදාළ ක්‍රීඩකයාට පරම්පරා තුන හතරක් කිසි කරදරයක් නැතිව ජීවත් විය හැකිය. සචිත්‍ර සේනානායකගේ වරද අනුව ඔහුට මිලියන සියයක දඩයක් හෝ වසර දහයක සිර දඬුවමක් ලබා දිය හැකි බව දිලීප පීරිස් තවදුරටත් කියා තිබේ.

ලෝක ගෝලය සූර්යයාගේ ආකර්ෂණයෙන් සහ සෞරග්‍රහ මණ්ඩලයේ බලපෑමෙන් මිදී තනිකරම සල්ලි මත කැරකෙන්නට පටන්ගෙන තිබෙන බව පැහැදිලිය. පෘථග්ජනයාගේ සුඛෝපභෝගී අවශ්‍යතා දවසින් දවස ඉහළ යන බැවින් සැම තැනකින්ම මුදල් වංචා ගැන තොරතුරු අසන්නට ලැබේ. මෙසේ දූෂණ කරන්නේ මිල ඉහළ ගිය සහල් ගැනීමට හෝ බස් ගාස්තු ඉහළ යෑම නිසා හෝ, ලයිට් බිල, වතුර බිල වැඩිවීම නිසා හෝ වැඩිවන ජීවන වියදම දරා ගැනීමට බැරි නිසා හෝ නොවේ. කෝටි විස්සක් වංචාකරන මිනිහෙකුට එයින් කෝටි පහළොවක් බැංකුවක දමා තවත් කෝටි පහකින් විශාල නිවසක් සහ මෝටර් රථයක් මිලට ගෙන ෆන් එකේ ජීවත් වීමට පුළුවන. බැංකුවේ තිබෙන කෝටි 15 ඔහුට දෙන පොලිය පරම්පරා දෙකක පැවැත්මට ප්‍රමාණවත් වේ. හැමෝම දකින්නේ ජීවත්වීමේ අගය නොව ෆන් එකේ ජීවත් වීමේ අගයයි. ක්‍රීඩකයන් ක්‍රිකට්වලින් වංචා කරන්නේත්, දේශපාලකයන් ටෙන්ඩර්වලින් වංචා කරන්නේත්, නිලධාරීන් කොමිස්වලින් වංචා කරන්නේත් මේ කාරණය නිසයි.

advertistmentadvertistment
advertistmentadvertistment