අදට යෙදෙන උතුම් වප් පොහොය

176

වැසි වැටෙන කාලය කුඩා සතුන්, කෘමීන්, පණුවන් පොළොවෙහි මතුවීම හා ගැවසීම නිතර සිදුවිය. පැළෑටි දලු ලෑම, අලුත් පැළෑටි හටගැනීම ඇරඹෙයි. මේවා පයට පාගමින් සතුන් මරමින් භික්ෂූන් වහන්සේලා චාරිකා කරන බවට අන්‍යයන්ගේ දෝෂාරෝපණයට ලක්විය. මේ විවේචන හා දොස් පරොස් ගැන ඉවසිලිවන්තව කල්පනා කළ බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂූන් වහන්සේලා වර්ෂා ඍතුවේදී වස් එළඹිය යුතු යැයි අනුදැන වදාළහ. එතැන් සිට භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කළහ.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවෙන් දඹදිව සංකස්ස පුරයට වැඩීම, මහා පවාරණ දිනය, භික්‍ෂූන් වහන්සේලා විනය ප්‍රඥප්තියක් ඉටු කරන දිනය, දෙවන පෑතිස් රජු අරිට්ඨ කුමරා ඇතුළු දූත පිරිස ධර්මාශෝක රජු වෙත යවා ජයසිරි මහා බෝ ශාඛාව ලංකාවට වැඩමවා හනික සංදේශය යැවීම, මහා අරිට්ඨ කුමරු (ප්‍රථම) සිඟාල මහ රහතන් විසින් මිහිඳු මාහිමි ගේ අනුදැනුම ඇතිව ථූපාරාමයේ දී විනය පිටකය සංගායනා කිරීම වප් පෝය හා පවතින ශාසනික වැදගත් සිද්ධීන් වෙති.

අද ශ්‍රී ලංකා වාසීන් වප් පොහොය විශේෂයෙන්ම සලකන්නේ වස් සමාදන්වීම පවාරණය කෙරෙන දින කඨින චීවර පූජාව සිදුවන පොහෝ දිනය හේතු කොට ගෙනය. වැසි සමය පැමිණි කළ එක් ස්ථානයකට රැස් වී ව්‍රතාංග රකින කාලය වස් සමයයි. වප් පොහෝ දිනවල විහාරස්ථානවල කඨින පූජා පින්කම් පැවැත්වේ. කඨින සිවුරු පූජාව වසරකට වරක් පමණක් සිදු කෙරෙන මහත් වූ පින් රැස්කර ගැනීමට හැකි උතුම් පින්කමකි.

වප් පොහොය හා කඨින පූජාවේ ඉතිහාසය බුදුරජාණන් වහන්සේගේ අමුල්ම කාලය හා බැඳී පවතී. මුල්ම අවධියේ වස් සමාදන් වූයේ බුදුරජාණන් වහන්සේ සහ පස්වග මහනුන් යන සීමිත පිරිසකි. සියලුම භික්ෂූන් වහන්සේලා වස් සමාදන් විය යුතු යැයි නියමයක් එකල නොතිබුණි. වැසි සමය එළැඹෙන විට ශ්‍රමණ බ්‍රාභ්මණ කණ්ඩායම එක් එක් ස්ථානයන් හි විසීම සිරිතක් විය. එහෙත් භික්ෂූන් වහන්සේලා පමණක් බහුජන හිත සුව පිණිස ගම් නියම්ගම් චාරිකාවේ යෙදීම සිදුවිය. වැසි වැටෙන කාලය කුඩා සතුන්, කෘමීන්, පණුවන් පොළොවෙහි මතුවීම හා ගැවසීම නිතර සිදුවිය. පැළෑටි දලු ලෑම, අලුත් පැළෑටි හටගැනීම ඇරඹෙයි. මේවා පයට පාගමින් සතුන් මරමින් භික්ෂූන් වහන්සේලා චාරිකා කරන බවට අන්‍යයන්ගේ දෝෂාරෝපණයට ලක්විය. මේ විවේචන හා දොස් පරොස් ගැන ඉවසිලිවන්තව කල්පනා කළ බුදුරජාණන් වහන්සේ සියලුම භික්ෂූන් වහන්සේලා වර්ෂා ඍතුවේදී වස් එළඹිය යුතු යැයි අනුදැන වදාළහ. එතැන් සිට භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කළහ.

පෙර වස, පසු වස වශයෙන් වස් සමාදන් දෙකක් වෙයි. ඇසළ අව පෑලවිය පෙර වස ලෙසත් නිකිණි අව පෑලවිය පසු වස ලෙසත් හඳුන්වයි. වස් වසන සමයෙහි ධර්ම දේශනා ආදියට වඩින්නේ නම් දින හතක් ඇතුළත ආපසු වස් විසූ ආරාමයට වැඩම කළ යුතු වෙයි. එම ක්‍රමය සන්නාහ කරණයෙන් වැඩීම යනුවෙන් හඳුන්වයි. එහෙත් හදිසි උවදුරු, ආපදා, අනතුරු අවස්ථාවලදී සන්නාහකරණයක් නැතිව වුවද යා හැකිය. සෑහෙන පමණට ආහාර නොලැබීම, ආදිය ඇති වූ විටද වස් ආරාමය වෙනස් කළ හැකිය. ගාලක, ගැලක, නැවක වුවද වස් වසන්නට අවසර ඇතත් රුක් බෙන්, රුක් දෙබල, එළි මහන, වහල හා දොර නැති තැන්, සොහොන හා දේවාලය යන ස්ථානයන්හි වස් නොවසන ලෙසද නියම කර ඇත.

වස් සමාදන්ව පසුවන කාලය තුළ කමටහන් වැඩීම, ව්‍රතාංග රැකීම, ධර්ම දේශනා කිරීම, භික්ෂූන් වහන්සේ සතු විශේෂ යුතුකමක් ලෙස අනුදැන වදාරා ඇත. මෙම කාලය විශේෂ වූ පුන්‍ය කාලයක් බැවින් බොහෝ දෙනාට පින් රැස්කර ගැනීමට හැකි වෙයි.

පෙර වස් වසා තුන්වෙනි මාසයේ පුර පසළොස්වක පොහෝ දිනයෙහි වස් පවාරණය කරනු ලැබේ. මෙදින වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලාට චීවරකරණය (කඨින පූජා) කරන සමය එළැඹේ. මෙම කඨින පූජාව බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් මේ දක්වාම ථෙරවාදී බුදු දහම පවතින සෑම රටකම පවතින චිරාගත චාරිත්‍රයකි.

පවාරණය යනු තමන් දුටු දෙයකින් හෝ ඇසූ දෙයකින් චෝදනා කරනු පිනිස සංඝයා ඉදිරියේ පවරන්නට අවසර දීමයි. මේ පැවරීම හේතුකොට ගෙන භික්ෂූන් අතර අනුකූල පැවැත්මත්, සමගියත්, දායක කාරකාදීන්ගේ විශ්වාසයත්, තහවුරු වන බව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.

පවාරණය – සංඝ පවාරණය අඤ්ඤමඤ්ඤ පවාරණය හා පුද්ගල පවාරණය කියා තුන් ආකාර වෙයි. පවාරණය කළ භික්ෂුවට කඨින චීවර පූජාව ලැබීමට සුදුසු වෙයි. කඨිනයේ ආරම්භයට ද බුද්ධ කාලීන වූ එක්තරා සිදුවීමක් ඇත.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයේ පාවෙය්‍ය රටෙහි වසන තිස් නමක් භික්ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේලා දකිනු පිනිස සැවැත්නුවරට වැඩියහ. තුන් මහ ඵල ලැබූවද පා ගමනින් වැඩම කළ උන් වහන්සේලා වැසි සමය උදාව ඇති හෙයින් අතරමග සාකේත නුවරදී වස් සමාදන්ව වස් තුන් මස අවසන යළි ගමන් ඇරඹූහ. ඒ අතර තුර වට මහා වර්ෂාවකට අසු වී එම භික්ෂූන් වහන්සේලාගේ සිවුරු තෙමී බත් වී තිබුණි. ඔවූහු ජේතවනාරාමයට එනවිට තෙත සිවුරු සහිත වූහ.

බුදුරජාණන් වහන්සේ මගතොට කරුණු විමසද්දී මෙම වැස්සට අසුවී සිවුරු තෙත බරිත වූ හැටි ඔවූහු කියා පෑහ. වෙනත් සිවුරක් සුරක්‍ෂිතව රැගෙන ආවේ නම් එවැනි ආපදාවකට ගොදුරු නොවන බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ පසුව ඔවුනට කඨිනාස්කරණය කරන්නට අවසර දුන්හ.

භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කඨින පූජාව කළ හැක්කේ වප් පසළොස්වකට පමණි. වස් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් සිටීම, දායකයන් විසින් සංඝයා වහන්සේට දී සංඝයා වහන්සේ විසින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට දියයුතු වීම, එතැන්හිදීම කපා කොටා මසා පඬු පොවා සකස්කර ගතයුතු වීම ආදී කරුණු රාශියක් එකතු වීමෙන් සිදුවුන පිංකමක් හෙයින් කඨින පූජාව දුර්ලභ පිංකමක් ලෙස සැලකේ.

වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා ඒකාන්තයෙන්ම කඨින චීවර පූජා ලැබිය යුතු යැයි නියමයක් ද ඇති අතර, බොහෝ ගණනක් භික්ෂූන් වහන්සේලා වස් සමාදන් වූ ස්ථානයකදී කඨින චීවර ලබාගත හැක්කේ එක් භික්ෂූන් වහන්සේ නමකට පමණය. එක් පුද්ගලයෙකුට ස්ථාන රාශියකදී කඨින චීවර රාශියක් පූජා කළ හැකිය.

කඨින චීවර පූජාවකදී ඒ සඳහා පූජා කරනු ලබන සියලුම වස්තූන් කඨිනානිසංස ලබන දාන වශයෙන් පිළිගැන්වේ. ආරාමයකට අවශ්‍ය විවිධ උපකරණ ද මේ සමග පූජා කරනු ලැබේ.

දඹදිව මෙන්ම ශ්‍රී ලංකාවේ ද වප් පොහොදා කඨින චීවර පූජාව එදා සිට අද දක්වාම පවත්වනු ලැබේ. පුරාණ සිංහල රජවරුද කඨින චීවර පූජාවන් කළ ආකාරය මහා වංශය ආදී පැරණි පොත්වල සඳහන්ව තිබේ.

පොළොන්නරුව රාජධානියේ රජ පැමිණි පළමුවැනි මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් අසූ මහා කඨින දානයක් කරමියි කියා සිතා එක් දිනකදීම කපු නෙළීම, කැටීම් ආදී චීවර කර්මාන්තයන් සියල්ලම කරවා කප්පිය ගරු භාණ්ඩයන් සමග අසූවක් චීවර වස්ත්‍ර අසූ ස්ථානයකදී පූජා කළේය. මේ හැර නොයෙක් වාරයන් හිදී එතුමා මහා සංඝයා වහන්සේට කඨින චීවර පූජා කර ඇත.

ක්‍රි.ව. 1410 දී කෝට්ටේ රාජධානියේ රජ පැමිණි හයවැනි ශ්‍රී පරාක්‍රමබාහු රජතුමා වසරක් පාසා රුහුණු, මායා, පිහිටි යන තුන් සිංහලයේම වැඩසිටි භික්ෂූන් වහන්සේලාට කඨින චීවර පූජා කර ඇති අතර සෙසු පිරිකර සහිතව තුන්දහස් හාරසිය තිස් දෙකක් කඨින චීවර පූජා කළ බවද, පොත පතෙහි සඳහන් වේ. ක්‍රි.ව. 1746 දී සෙංකඩගල රාජධානියේ රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාත් වසරක් පාසා වප් පෝය දිනයන්හි කඨින පූජා කර තිබේ.

පී. ඇම්. සේනාරත්න (‘වන්දනා ගාථා’ සහ ‘දොළොස් පොහොය’ ග්‍රන්ථයෙනි)

advertistmentadvertistment
advertistmentadvertistment