රාජසිංහ රජු විසින් පොත් ගොන්නක් ගිනි තබා දැල්වූ තැන හෙවත් පොත්දැල් වූ ගොඩ, පොද්දල්ගොඩ වූ වගයි

කඩතුරා ලෙන තුළ සංඝයා වහන්සේලා සියයකට දන් දුන් බවට ඉතිහාසගත තොරතුරු

අන්තඃපුර කාන්තාවෝ පැළඳූ රන් භාණ්ඩ රැගත් ගැල් හතෙන් එකක් එදා සැඟවූ තැන රන්ගැල අද රංගල…

ඉතිරි ගැල් හය සැඟවූ තැන කඩතුරාව ලෙන…

ඉතිහාසයේ විවිධ සිද්ධීන් ජීවමාන සිද්ධීන් ලෙස දැකිය හැකි තැන් අදටත් හිටි හැටියේ මතුවන්නේය. එහෙව් තැනකි මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ, තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොද්දල්ගොඩ ගම. කෙටියෙන්ම කියතොත් පොද්දල්ගොඩ ගම පුරා ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා බැඳුණ කතාය. රජු ඇසුරෙහි දැවටුණ මිනිසුන්ගේ කතාය. රජු සැඟවී සිටි තැන්ය. රජුගේ කටයුතු හා බැඳි සිද්ධීන් සපත කරන තැන්ය. එහෙත් ඒ ගැන තොරතුරු සොයා යෑම දුෂ්කර වූයේ තොරතුරු දන්නා අය අද වන විට සොයාගන්නටවත් නැති තැනට වැටී ඇති නිසාය.

පොද්දල්ගොඩ විහාරයේ ඉතිහාසය

පොද්දල්ගොඩ පිළිබඳ ඉතිහාස කතාව දන්නා තැනකට ඇත්නම් ඊට සුදුසුම ස්ථානය පොද්දල්ගොඩ පුරාණ විහාරය යැයි සලකා එහි ගියෙමි. වසර 2013 සිට අද දක්වා ම පොද්ගල්ගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති ධුරය හොබවන සමස්ත ලංකා සාම විනිසුරු පූජ්‍ය නුගපිටියේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ එහි වැඩ සිටියහ. ඓතිහාසික බව යටපත් කරමින් අලුත්වැඩියා කරන ලද පොද්දල්ගොඩ පුරාණ විහාරය වසර දෙසිය විස්සක් ඉපැරණි ටැම්පිට විහාරයක් බවට සනාථ විය. විහාර මන්දිරයේ සිතුවම් අඹන ලද රූප රාජසිංහ රජු සමයේ නෙළන ලදැයි සනාථ කර ගත හැකි සාක්ෂි ද එහි විය.

හීපිටිය, ගලේපිටිය, බිබිලේ, මාතලේ, උකුවෙල සංඝ පරපුරකින් එක්දහස් අටසිය ගණන්වල ආරම්භ වුණු පොද්දල්ගොඩ විහාරය රජ සමයේ ඉදිකරන ලද්දකි. මාතලේ අලුත්ගම සරණංකර හිමිපාණන්ගේ මඟපෙන්වීමෙන් යළිත් 1880 සිට පුරාණ විහාරයක් ලෙස ආරම්භ වුණු පොද්දල්ගොඩ විහාරය මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක අලුත්ගම ශ්‍රී රතනපාල ශ්‍රී සරණංකරාභිධාන නායක හිමිපාණන්ගේ විහාරාධිකාරීත්වයෙන් 1937 වසර වන තෙක් පවත්වා ගෙනැවිත් තිබේ.

උන්වහන්සේ අපවත් වීමෙන් අනතුරුව 1937 සිට 1970 දක්වා විහාරයේ විහාරාධිපති ධුරය හොබවා ඇත්තේ බෝවත්තේ ශ්‍රී ගුණරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේය. 1970 වසර සිට 2013 වසර තෙක් පොද්දල්ගොඩ විහාරාධිපති ධුරය හෙබවූයේ සාම විනිසුරු මැදදුම්බර ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත සද්ධර්ම කීර්ති ශ්‍රී සරණංකර පොද්දල්ගොඩ ශ්‍රී චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේය.

උන්වහන්සේගෙන් අනතුරුව අදටත් ගෞරව බහුමානයෙන් විහාරයේ වැඩ සිටින ධම්මානන්ද ස්වාමීන් වහන්සේ විහාරයේ තොරතුරු විස්තර කොට සිටියේ මෙසේය. “මෙම විහාරය කඩතුරා ලෙන ආසන්නයේ පිහිටා ඇති බැවින් සහ පන්සලට අයත් ගම්වැසියන්ගේ ඓතිහාසික බව නිසාම ඉපැරණි රජ දවස නෂ්ඨාවශේෂ සහිත ස්ථානයක් බවට ප්‍රකාශ කරන්නට පුළුවන්. එපමණක් නොවෙයි පොද්දල්ගොඩ නම හැදිලා තියෙන්නෙම රාජසිංහ රජු විසින්ම විශාල පොත් ගොඩකට ගිනි තැබුවාය යන කියමනත් එක්කයි. පොත් දැල්වූ ගොඩ පොත් දල්ගොඩ වශයෙන් බිඳිලා නමක් සකස් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආසන්නයේ තියෙන සියලුම ගම්වලට නම් හැදිලා තියෙන්නේ රජකාලේ සිද්ධවුණු සුවිශේෂී සිද්ධීන් සමඟයි.

උදාහරණත් එක්ක සරලව කිව්වොත් එහෙම, මේ ආසන්නයේ තියෙන තවත් ගමක් තමයි රංගල. එදා රජ දවසේ රජතුමාට අන්තඃපුර බිසෝවරු ගණනාවක් හිටියා කියලා අපි අහලා තියෙනවා. බිසෝවරුන්ගේ රත්තරන් කණකර ආයිත්තම් බඩු ටික ගැල් හතක පටවලා දුම්බරට ගෙනාවා කියලා කතාවක් තියෙනවා. ඔය එන අතර මග කරත්ත හතේ බඩු තැන තැන නිධන් කරමින්ලු ඇවිත් තියෙන්නේ. රත්තරන් ගැල හෙවත් රන් ගැල ආ ගමන රංගල වෙලා. රංගල හරහා තමයි කඩතුරාවට රත්තරන් බඩු ටික රැගෙන ගිහින් තියෙන්නෙ. රත්තරන් බඩු කිව්වට එසේ මෙසේ ප්‍රමාණයක් නෙවෙයි ගෙනා බඩුවලින් වැඩි ප්‍රමාණයක්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ කඩතුරාව ලෙනේ තැන්පත් කරලා තියන්න. ලෙන වුණත් එසේ මෙසේ ප්‍රමාණයක ලෙනක් නෙවෙයි. එක වරක සංඝයා වහන්සේලා සියක් නමකට දානයක් දෙන්න පුළුවන් සුවිසල් ලෙන තමයි කඩතුරාව ලෙන කියන්නේ…..

මේ ලෙන ඇතුලෙන් පහළට බැහැලා ‘වාලු’ දිය පොකුණට ගමන් කරන්නත් පුළුවන් බවට කතාවක් පැතිරිලා තියෙනවා ඇතුළට යන්න යන්න උමං මගක් වගේ කොටසක් තියෙනවා කියලා ගිය අය කියනවා.

මේ ගමේ තවත් ඓතිහාසික පවුල් කිහිපයක්ම ජීවත් වෙනවා. ඒ අතරිනුත් ඉතිහාසයත් එක්ක ලොකු බැඳීමක් තියෙන්නේ වට ගොඩේ ගෙදර පරම්පරාවයි. රජතුමාට සේවය කරපු පුද්ගලයාගේ හත්වන පරම්පරාව අද මේ ගමේ ජීවත් වෙනවා.” පොද්දල්ගොඩ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ එලෙස ප්‍රකාශ කළහ.

අවසන් රාජධානියේ ස්පර්ෂිතය

අදින විදින දුවන පනින කපන කොටන ශ්‍රී වික්‍රම රාජසිංහ රටනායක මුදියන්සේලා ගේ වටගොඩ ගෙදර පරම්පරාව තවමත් ජීවත්වන පොද්දල්ගොඩ

පරම්පරා හතකට එහා ඇත්තේ අවසන් රාජධානිය නම්, එය අපට ද අතපත ගෑ හැකි තරම් ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට සේවය කොට නම්බුනාම වරප්‍රසාද ලැබූ පරපුරක් ගැන අහන්නට දකින්නට ඇති ආශාවත් එවන් පරපුරක් අද දකින්නට ලැබීමේ වාසනාවත් මත එහි ගියෙමි.

පොද්දල්ගොඩ ග්‍රාමය අතිශය සුන්දරය. අදටත් ගොවිතැන් වැඩ කෙරෙන්නේ, අතීතයේ ගොවිතැන් වැඩ කෙරුණ පරිද්දෙනි. සීසාන්නේ නගුලෙනි. ගොයම් නෙළන්නේ කවි පද කියාය, පැල් රකින්නේ කව් සී පද කියාය. වී අස්වැන්න ගෙන දෙවියන් බුදුන් පුදා සියලු සිරිත් චාරිත්‍ර පිළිපදින්නේය. වැසි දෙවියන් පුදන්නේය. ඉපැරණි සිරිත් චාරිත්‍ර ගරු කරන මේ ජනතාව වෙසෙන්නේ අතිශය සුන්දර වූ ගම්බිමකය. උල්පත් ජලය සී සී කඩ ගලා හැලෙන කවි පදයෙහි යථාර්ථය හුවාදක්වාලිය හැකි පරිද දන්ඩක් විසි කළත් කොතැනක හෝ පැළවෙන පරිසරයක් ඇති පොද්දල්ගොඩ ගම සිතුවමක් වැනිය. විහාරයේ සිට නැගෙනහිර දෙසට වන්නට පිහිටා තිබූ වටගොඩේ ගෙදරට යෑම සඳහා පිටත්ව ගියෙමි. ඒ යන අතරමග දුටු තවත් දසුනකින් මේමා දකින්නේ සත්‍යයක් දැයි යන්න පවා සිතන්නට පොළඹවන බෝධියක් දුටිමි. පුදුමය නම් එහි බෝ කොළ විශාලය. අනෙක් පසෙහි කොළ කුඩාය, සියල්ල එකවර සිලිසිලිගා හැඩවෙන බෝ කොළ මතින් නැඟෙන සිසිලස ගත මෙන්ම සිතත් නිවාලනු දැනෙයි.

“එනවා කිව්ව නිසා බලාගෙනමයි හිටියේ.. මුව පුරා සිනාවෙන් පිරුණු වයස අවුරුදු හැත්තෑවක් පමණ වන හීන්දෑරි පුද්ගලයෙක් මා ඉදිරියට පැමිණ කීවේය.

ඒ නම් කුඩා බණ්ඩාම විය යුතු යැයි සිතේ” මේ දවස්වල කුඹුරු කැපෙනවා නේදැයි ඇසුවෙමි. “ඉදිරි දොහේ තමයි කුඹුරු කැපෙන්නේ වැස්සකට කලින් වී ටික ගෙට ගන්න පුළුවන් වුණොත් මට ඒ ඇති.”

“මේ දවස්වල වැස්ස අඩුයි නේද…” මා පෙරළා ප්‍රශ්න කළ විට ඔහු අපූරු කතාවක් කීවේය. ගොයම් කැපිල්ලට වැස්ස හරස් වුණාට ගමේ මිනිස්සුන්ට බොන්න කන්ඩ වතුර එපැයි මේ දවස්වල වැහි ටිකක් අඩු නිසා හවසට බෝධිය ළඟ පූජාව තියෙනව. පූජාව තියලා දවස් හතකින් ටක්කෙටම වැස්ස වහිනවා. ඊට කලියෙන් වී ටික ගෙට ගන්ට ඕනෑ…..”

හාස්කම්

ඒ තරම්ම හාස්කමක් තියෙනවද බෝධිය ළඟ. මම ඇසුවෙමි. “අප්පේ ඔව්, මේ බෝධිය රජ කාලේ ඉඳලා තියෙන බව තමයි අපේ අත්තල මුත්තල පවා කියලා තියෙන්නේ. මේක නම් කරන්නේ ගනේපිටිය බෝධිය කියලා. බෝධීන් වහන්සේගේ ලොකු වෙනස්කම් ගොඩක් තියෙනවා. උන්වහන්සේ ඔතෙන්ට වැඩම කරවලා තියෙන්නේ සංඝමිත්තා තෙරණිය කියලයි කියන්නේ.

කතාවකුත් තියෙනවා බෝධි අංකුරය වඩමවාගෙන එද්දි ඔය වෙලට උඩින් අතර තැනක තැන්පත් කරලා ඔයෙන් නාල කියලා දවල් ආහාර අරගෙන හවස පිටත් වෙන්න බලද්දි පාත්තරේ පිපුරලා මුල් අල්ලලා තිබුණලු. මේ බෝධීන් වහන්සේ ළඟ සෙල් ලිපියකුත් තියෙනවා. සෙල්ලිපිය 1824 දී කොටල තියෙන්නෙ. එතැන තියෙන ගලක. මේ බෝධීන් වහන්සේගේ ඉදිරිපිට ආශ්චර්යන් සිද්ධ වෙනවා කියන එක අපිට අවබෝධ වෙලා තියෙන්නේ. එකම බෝධියෙ දකුණු පැත්තේ ශාඛාවේ කොළ කුඩායි. වම් පැත්තේ ශාකාවේ කොළ විශාලයි.

වැසි ඉල්ලා පිංකම්..

අදින විදින දුවන පනින කපන කොටන ශ්‍රී වික්‍රම රාජසිංහ රටනායක මුදියන්සේලා ගේ වටගොඩ ගෙදර පරම්පරාව තවමත් ජීවත්වන පොද්දල්ගොඩ

නියඟයක් ඇතිවෙන්න තරම් වැසි නොවැටෙන කාලෙකදී අපේ වට ගොඩේ කුඹුරේ තියෙන උල්පතෙන් වතුර දින හතක් පුරා අරගෙන බෝධිය ළඟදි පූජා කරලා වරු තුනක් කිව්වම දවස් හතකින් වැසි වැටෙනවාමයි. අපි ඒ අත්දැකීම් අත්විඳලයි තියෙන්නේ. ඔය සම්බන්ධයෙන් පන්සලේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් සාක්ෂි දරාවි.

හොඳයි අපි කියමුකෝ……, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් මේ පවුලට ලැබුණු නම්බු නාමයේ කතාව. මම කතාව වෙනතකට හැරෙව්වෙමි. “අපේ මුත්තලා කරපු වැඩ, අපේ පවුලෙ නමට පවා බලපාල තියෙනවා. කෙටියෙන්ම කියනවනම් අපේ අත්තල මුත්තලා වගේ පරම්පරාවේ කට්ටිය රාජසිංහ රජතුමාගෙන් ඉල්ලලා තියෙන්නේ, ඉඩකඩම් නෙවෙයි නම්බු නාමයක් විතරයි….”

මොකක්ද ඔය කියන නම්බු නාමය?

ඒක තමයි, “අදින විදින දුවන පනින කපන කොටන ශ්‍රී වික්‍රම රාජසිංහ රටනායක මුදියන්සේලාගේ වටගොඩේ ගෙදර” කියන නම්බු නාමය. මේක වෙලා තියෙන්නෙ මෙහෙමයි. අපේ පවුලේ පරම්පරාවෙන් තියෙන කතාවක් තමයි මේ. මේ සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ මගේ පරම්පරාවේ ඉඳන් පරම්පරා හතක් උඩ අපේ මුත්තලා. පිළිවෙළකට කිව්වොත් අත්ත, මුත්ත, කිත්ත, කිරිත්ත, නත්ත, පනත්තා ඒ කියන්නේ පනත්තා තමයි මේ රජතුමා එක්ක මේ සිද්ධීන්වලට මුහුණ දීලා තියෙන්නේ. ඒ කාලේ අපේ මුත්තා ගං තුලාවේ බොහොම උජාරුවට ජීවත් වෙලා තියෙනවා. ඒ කාලේ රජතුමා මෙහේ ජීවත් වෙන කොට ඉංග්‍රීසි ජාතිකයන් රජතුමාව අල්ලන්න ඇවිත් තියෙනව. ඒ වෙලාවේ වට ගොඩේ ගෙදර ගිහිල්ලා දහයක් පහළොවක් ඝාතනය කරලා තියෙනවා. ඔහු මේ ඝාතනය කරලා තියෙන්නේ අතින් පයින් පහර දීලා වගේම පොලු මුගුරුවලින් පහර දීලා කියලා තමයි ආරංචිය.

මේ සිද්ධියෙන් ඉංග්‍රීසි ජාතිකයන්ට රජතුමාව හොයාගෙන අල්ලගෙන යන්න බැරි වෙලා තියෙනවා. එයින් සතුටට පත්වෙච්ච රජතුමා අපේ මුත්තව හරියටම කියනවනම් පනත්තව ගෙන්නලා තෑගි බෝග දෙන්න කතා කරලා තියෙනවා. රජතුමා මුත්තට කියලා තියෙන්නේ මේ ගංතුලාවේ අණ බෙර ගහන මානයේ සිට අණ බෙරය ඇහෙන මානය තෙක් ගොඩ ඉඩම් සහ මඩ ඉඩම් රාජ නියෝගයෙන් ලබා දෙන්න ලෑස්තියි කියලයි. නමුත් මුත්ත කියලා තියෙන්නේ මට ඒ කිසිවක් එපා නම්බු නාමයක් විතරක් දෙන්න කියලයි. රජතුමා ඒ වෙලාවේ තමයි අදින විදින දුවන පනින කපන කොටන ශ්‍රී වික්‍රම රාජසිංහ රටනායක මුදියන්සේලාගේ වටගොඩේ ගෙදර කියන නම්බු නාමේ ලබා දීලා තියෙන්නේ. අදටත් අපි භාවිතා කරන්නේ ඒ නම තමයි.

වටගොඩේ ගෙදර පරම්පරාවේ වර්තමානය

මට දරුවෝ තුන් දෙනෙක්. ලොකු ළමයා නං අසනීපයෙන් ඉන්නේ. එයාට නිතරම ෆිට් එක හැදෙනවා. එයාට බෙහෙත් ගන්න ලොකු වියදමක් දරන්න සිද්ධ වෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක තමයි. අනිත් දරුවෝ නං කසාද බැඳලා වෙනතක් බලාගෙන ගිහිල්ලා ඉන්නේ. මගේ නෝනා අබසිං මුදියන්සේලාගේ පල්ලෙගෙදර ඥානවතී කුමාරිහාමි. අපි ඉතින් ගොවිතැන් කරගෙන කාටත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. රජ කාලේ ලැබුණ නම්බු නාමවලින් හිස උදුම්වාගන්න අපට බැහැ. දැන් මට වයස අවුරුදු හැත්තෑවක් ඉක්ම වෙලා.

මගේ අප්පච්චි වටගොඩේ ගෙදර පුංචි බණ්ඩා… මගේ ලොකු අත්තා වට ගොඩේ ගෙදර කළුබණ්ඩා. මම කුඩා බණ්ඩා.මගේ නම හැදිලා තියෙන්නේ අදින විදින දුවන පනින කපන කොටන ශ්‍රී වික්‍රම රාජසිංහ රට නායක මුදියන්සේලාගේ වටගොඩේ ගෙදර කුඩා බණ්ඩා කියලා.

මේ දුම්බර කියන්නෙම රජ කාලෙ ඉඳලම උජාරුවට වැජඹෙන කාලයක්.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment