අන්තර්ජාලය හරහා සමනල දඩයමේ ගිය ගල්කිස්සේ පහේ කල්ලිය

1123

වසරක් පුරා ජාවාරමේ යෙදිලා

ලක්ෂ ගණන් සල්ලි ගරලා…

වෛද්‍යවරුන්, කෝටිපති ව්‍යාපාරිකයන්, නීතිඥවරුන්, ගුවන් හමුදා නිලධාරීනුත් ඒ අතර…

එක් සැකකරුවෙක් අවුරුදු දාසයක පාසල් සිසුවෙක්….

මංකොල්ලකෑම්, කප්පම් ගැනීම්, මිනීමැරීම් වැනි අපරාධ මෙරට වැඩිවෙමින් පවතී. එවැනි අපරාධකරුවන් පොලිස් අත්අඩංගුවට පත් වුවත් එවැනි අපරාධවල අඩුවක් නම් දකින්නට නොලැබේ. දිනපතාම පාහේ මෙරට සතර දෙසින් එවැනි අපරාධ අපට අසන්නට දකින්නට ලැබේ. මෙහි තවත් භයානක පැතිකඩක් වනුයේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුවන අපරාධද එන්න එන්නම වැඩිවෙමින් පැවතීමයි. ඒ අතරින් තරුණියන්ගේ නිරුවත් පිංතූර ලබාගෙන පසුව ඒවා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන බව පවසමින් බියට පත්කර ඔවුන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නා පිරිස් ගැන ද නිරන්තරයෙන් අපට අසන්නට දකින්නට ලැබේ.

පසුගිය 16 වෙනිදා අපට අසන්නට ලැබුණේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් වසර ගණනක සිට පස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් සමරිසි සේවයට කැමති පුද්ගලයන් බිය ගන්වා කප්පම් මුදල් ගත් අමුතුම ආකාරයේ ජාවාරමක් පිළිබඳවයි. මෙම කල්ලියේ ප්‍රධාන සැකකරුගේ වයස අවුරුදු විසි නවයක් වන අතර ලාබාලතම සැකකරුගේ වයස අවුරුදු දහසයකි. එම සිද්ධිය සැකවින් මෙසේය.

සුපුන් සම්පත් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක තරුණයෙකි. විවාහකයකු වන මොහු ගල්කිස්ස ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුගේ දෙමාපියන්ටද සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබුණි. පාසල් අධ්‍යාපනයට ඔහු එතරම් උනන්දුවක් නොදැක්කුවේය. එම නිසා ඔහුට උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි විය. පාසල් ජීවිතයට සමුදුන් ඔහුගේ අරමුණ වී තිබුණේ කායවර්ධන උපදේශකයකු වීමටයි.

ඒ අනුව ඔහු එම ප්‍රදේශයේ කායවර්ධන මධ්‍යස්ථානයක සාමාජිකත්වය ලබාගත්තේ පළමුව තම ඇඟ පුම්බා ගැනීමටයි.

එලෙස වසර ගණනකට පසු ඔහු කායවර්ධන උපදේශකයකු වශයෙන් කටයුතු කළේය. එයට අමතරව කායවර්ධන විටමින් සප්ලිමන්ට් විකිණීමේ ව්‍යාපාරයක ද මොහු නිරත විය. එයින් ඔහුට ලැබුණු ආදායම ප්‍රමාණවත් නොවුණි. එම නිසා මොහු නිවසේ වටිනා සුනඛයන් ඇතිකර සුනඛ පැටව් විකිණීමේ ව්‍යාපාරයක ද නිරත විය. කලක් එලෙස ගත විය. එහෙත් ලැබූ ආදායමෙන් ඔහු සතුටු වූයේ නැත. ඔහුට වුවමනා වූයේ කෙලෙස හෝ යහමින් මුදල් උපයා ගැනීමටයි. ඒ අනුව දිනක් ඔහු මිතුරන් තිදෙනකු සමග මෙලෙස කතාබස් කළහ.

“කොච්චර සල්ලි හෙව්වත් දැන් ජීවත්වෙන්න මදි.”

“ඒක නං ඇත්ත සම්පත් අයියේ.”

“ඇයි ඔයාට බිස්නස් හරි තියෙනවා අපිට එහෙමද.”

“වැඩක් නැහැ ලක්මාල් ඒ බිස්නස්වලින්. අනික දැන් රටේ තත්ත්වෙත් එක්ක බිස්නස් කරන්න පුළුවන්ද?”

“ඔව් ඒක නම් ඇත්ත.”

“පහුගිය දවස් ටිකේ මම පොඩි බිස්නස් එකක් ගැන කල්පනා කළා. ඒක කතා කරගන්න තමයි උඹලට එන්න කිව්වේ.”

“ඒකනම් හොඳ අදහසක්. මොකද අපිත් වැලේ වැල් නැතුව ඉන්නෙ දැන්. මොකක්ද ඔය බිස්නස් එක.”

“මේක හැබැයි ඉන් ලීගල් බිස්නස් එකක්.”

“අනේ අයියේ මට නම් බැහැ.”

“බය වෙන්නැතුව ඉන්න. කුඩු ගංජා විකුණන්න නෙවෙයි.”

“එහෙනම්.”

“බ්ලි…. කියලා ඇප් එකක් ගැන දන්නවද?”

“මම නම් අහලා තියෙනවා.”

“මම නම් ඇහුවෙත් අදයි.”

“හරි එහෙනම් මම විස්තර ටික කියන්නම්කො. බ්ල්… කියලා ඇප් එකක් තියෙනවා. ඒකේ තනිකර හුවමාරු වෙන්නේ පෞද්ගලික තොරතුරු. අපි ඒ ඇප් එක හරහා සමරිසි පුද්ගලයන් හොයා ගන්න ඕනා.”

“එහෙම හොයාගෙන.”

“ඊට පස්සේ ඒ මිනිස්සු එක්ක විශ්වාසවන්ත හිතවත්කමක් ගොඩනඟා ගන්නවා. එහෙම ගොඩනඟා ගෙන කියනවා අපේ ළඟ සමරිසි ඇසුරකට කැමති ලස්සන කොල්ලෙක් ඉන්නවා කියලා. එහෙම කියලා ඒ මනුස්සයාව ගෙන්න ගන්නවා අපේ තැනකට.”

“අපේ තැනකට ගෙන්න ගෙන.”

“ඊට පස්සේ බය කරල සල්ලි ගන්නවා.”

“ඕක කරන්න හිතන තරම් ලේසි වෙන්නේ නැහැ.”

“ඇයි එහෙම කියන්නේ.”

“මිනිස්සු ඇවිත් එහෙම සල්ලි දෙයිද?”

“නිකන් සල්ලි දෙන්නේ නැහැ. අපි ඒ මිනිහව බැලැක්මේල් කරන්න ඕනා.”

“මට නම් බයයි.”

“බයවෙන්න කිසි දෙයක් නැහැ. මේ වගේ මිනිස්සු කවදාවත් පොලිසියට ගිහින් පැමිණිලි කරන්නේ නැහැ.”

“ඒ ඇයි?”

“තියෙන ලැජ්ජාවට. එතකොට සමාජයම දැන ගන්නවනේ ඒ මිනිහ කවුද කියලා.”

“තරංග බය වුණාට වැඩේ නම් සුපිරි. මම නම් කැමතියි.”

“හරි හරි මමත් එනවා.”

“තව ප්‍රශ්නයක් තියෙනවා. මේකට හොඳ ලස්සන කොල්ලෙක් හොයාගන්න ඕනා.”

“ඒ වැඩේ මට භාර දෙන්න. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. වයස අවුරුදු දාසයයි. ලස්සන කොල්ලා. ගල්කිස්සේ ……….. ඉගෙන ගන්නේ. මිනිහා ඉගෙන ගන්නවාට වඩා ෆීල්ඩ් එකේ ඉන්නේ. සල්ලිවලට ඕන දෙයක් කරයි.”

“එහෙමද මිනිහා ඇත්තටම සමරිසි කාරයෙක්ද?”

“නැහැ නැහැ එහෙම නැහැ. මිනිස්සුන්ව රවට්ටයි එකෙන්ම.”

“බොහොම හොඳයි අන්න ඒ වගේ කොල්ලෙක් තමයි අපිට ඕනේ.”

“අනිත් ප්‍රශ්නෙ තමයි කවුරුත් නැති තැනක් හොයා ගන්න ඕනේ.”

“ඇයි අපි අමිලයට කතා කරමු.”

අමිල යනු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකි. එම ප්‍රදේශයේම ජනප්‍රිය පාසලක අධ්‍යාපනය හැදෑරුවත් සරසවි වරම් හිමිකර ගැනීමට ඔහුට නොහැකි විය. මොහුගේ දෙමවුපියන් රාජ්‍ය සේවයේ වැදගත් තනතුරු දරන අයයි. දහවල් කාලයේ ඔවුන් දෙදෙනාම නිවසේ නොමැති නිසා අමිල මිතුරන් සමග එම නිවසේ නොයෙක් දෑ සිදු කරති. ඒ අනුව මෙම පිරිස අමිලගේ නිවස තම කාර්යය කරගෙන යෑම සඳහා තෝරා ගත්හ.

එම මොහොතේම සම්පත් ඇතුළු පිරිස අමිල සොයාගෙන ඔහුගේ නිවසට ගියහ. ඒ වනවිට ඔහු තවත් මිතුරන් දෙදෙනකු සමග නිවසේ රැඳී සිටියහ. එලෙස පැමිණි පිරිස,

“වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා, තනියම වරෙන් එළියට.” පැවසූහ. ඒ අනුව තම මිතුරන් දෙදෙනාට නිවසේ රැඳී සිටින ලෙස පවසා අමිල එළියට පැමිණියේය. එලෙස පැමිණි පසු සම්පත් ඇතුළු පිරිස අමිලට සියලු විස්තර පැවසූහ. එය අසා සිටි අමිල මෙහි කිසිදු බරක් පතලක් ගැන නොතකා” සල්ලිත් හම්බවෙන එකේ නිකන් තියෙන ගේ දුන්නම මොකද වෙන්නේ.” යැයි පැවසුවේය.

“ඒක නෙවෙයි. හෙට අපි පස් දෙනාම එකතුවෙලා මේ ගැන තව ටිකක් දීර්ඝ ලෙස සාකච්ඡා කරන්න ඕනෑ. ඒක නිසා හෙට මෙහිදී අපි සෙට් වෙමු. අමිල හෙට වෙන යාලුවෝ ගෙන්න ගන්න එපා.” සම්පත් එලෙස පවසා ඔවුනට සමු දුන්නේය.

පසු දින උදාවිය. සියලුම දෙනා අමිලගේ නිවසට එක් වූහ. එහිදී පැය කිහිපයක් මෙම ජාවාරම සිදු කරන ආකාරය ගැන ඔවුහු සාකච්ඡා කළහ. ඉන්පසු සම්පත් බ්ලි…. ඇප් එකක් සාදාගෙන පිරිමි පුද්ගලයන් සමග ලිංගිකව එකතු වීමට කැමති පුද්ගලයන් සොයා ඔවුන් සමග මිත්‍රත්වයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළේය. ඒ අනුව ඔහුට විශේෂඥ වෛද්‍යවරයකු සොයා ගැනීමට හැකිවිය. සති කිහිපයක් තොරතුරු හුවමාරු කරගත් පසු එම වෛද්‍යවරයා සමරිසි පුද්ගලයෙක් බව සම්පත් දැනගත්තේය. ඒ අනුව දිනක් ඔහු මෙම වෛද්‍යවරයාට ඇමතුමක් ලබාදී මෙලෙස පැවසුවේය.

“ඩොක්ටර මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා. වයස අවුරුදු දාසයයි. ගල්කිස්සේ ………… පාසලේ ඉගෙන ගන්නේ. කොල්ලො ගොඩක් ලස්සනයි. ඩොක්ටර් කැමතිනම් මම එයාව හඳුන්වලා දෙන්නම්.”

එය ඇසූ වෛද්‍යවරයා එක පයින්ම එම තරුණයා හඳුනා ගැනීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව සම්පත් පාසල් සිසුවාව වෛද්‍යවරයාට හඳුන්වා දුන්නේය. පාසල් සිසුවා ද වෛද්‍යවරයා සමඟ කතාබස් කර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තේය. දිනක් පාසල් සිසුවා සහ වෛද්‍යවරයා මෙලෙස කතාබස් කළහ.

“මම කැමැතියි ඩොක්ටර්ව හමුවෙන්න.”

“ඒක තමයි පුතා මමත් ගොඩක් කැමතියි ඔයාව මුණගැහෙන්න. ඉතින් අපි කොහෙද මුණගැහෙන්නේ.”

“ඩොක්ටර් බයවෙන්න එපා අපේ ගෙදර එන්න. දවල්ට ගෙදර කවුරුත් නැහැ. අම්මයි තාත්තයි වැඩට යනවා.”

“කමක් නැද්ද මං ගෙදරට ආවට.”

“කිසි ප්‍රශ්නයක් නැහැ ඩොක්ටර්. වෙන තැන්වල මුණ ගැහෙනවා ට වඩා ගෙදර හම්බවෙන එක හොඳයි. ඒක ආරක්ෂිතයි.”

“ඔව් ඒ කතාව නම් ඇත්ත. එහෙනම් කවදද මම එන්න ඕනා”

“ඩොක්ටර්.. වෙලා තියනවනම් හෙට වුණත් එන්න ප්‍රශ්නයක් නැහැ.”

“ඔයා වෙනුවෙන් ඕන තරම් වෙලා මට තියෙනවා. මම හෙට එන්නම්.”

“ගල්කිස්ස රාහුල පාරෙ තමයි අපේ ගේ තියෙන්නේ. මම වට්ස්ඇප් ලොකේෂන් එක එවන්නම් ඩොක්ටර්ට.”

“හොඳයි දැන්ම එවන්න. හෙට මුණගැහිලා අපි නිදහසේ කතා කරමු.”

දෙදෙනාගේ කතාව එලෙස අවසන් විය. ඉන්පසු පාසල් සිසුවා සිදු වූ සියල්ල සම්පත් ඇතුළු පිරිසට පැවසුවේය. සම්පත් පසුදින සිදුවිය යුතු දේ ගැන ඔවුනට නැවත වරක් පැහැදිලි කර දුන්නේය.

අන්තර්ජාලය හරහා සමනල දඩයමේ ගිය ගල්කිස්සේ පහේ කල්ලිය
ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස්
පරීක්ෂක නාලක අලහකෝන්

පසු දින උදාවිය. වෛද්‍යවරයා පැවසූ වෙලාවට ගල්කිස්ස රාහුල පාරේ පිහිටි එම නිවස වෙත පැමිණියේය. එලෙස පැමිණි වෛද්‍යවරයාව පාසල් සිසුවා ඉතා සාදරයෙන් පිළිගත්තේය. ඉන් පසු දෙදෙනා නිදන කාමරයට ගොස් ලිංගිකව හැසිරීමට සූදානම් වූහ. ඒ සමඟම නිවසේ සැඟවී සිටි තවත් තරුණයන් දෙදෙනෙක් එම කාමරයට පැමිණ මෙලෙස පැවසූහ.

“මම ගෙදර නැති වෙලාවෙ මගේ මල්ලිට මොකක්ද මේ කරන්න හැදුවේ.”

එය අසා බියට පත් වූ වෛද්‍යවරයා මෙලෙස පැවසුවේය.

“අපි මොකුත් කළේ නැහැ. මල්ලි තමයි මට එන්න කිව්වේ.”

“මේ නිකන් බොරු පාට් දාන්න එපා. අපේ මල්ලිට සේ……. දාන්න හැදුවා නේද?”

“අනේ නැහැ මම එහෙම කෙනෙක් නෙවෙයි.”

“නිකන් බොරු කියන්න එපා. මම බබෙක් කියලා හිතුවද. ලැජ්ජ නැද්ද? පොඩි ළමයින්ට ඔය වගේ වැඩ කරන්න. අසහනයක් තියෙනවනම් වයසට හරියන කෙනෙක් හොයා ගන්නවා.”

එලෙස පැවසූ ඔහු පාසල් සිසුවා දෙස බලා ඔහුට ද මෙලෙස පැවසුවේය.

“මගේ මල්ලි කෙනෙක් කියලා කියන්න බැහැ. ලැජ්ජ නැද්ද මේ වගේ වැඩ කරන්න. හිටපං මම උඹවත් බලාගන්නම් අද”

පාසල් සිසුවාට එලෙස පවසා නැවතත් වෛද්‍යවරයා දෙස හැරී මෙලෙස පැවසුවේය.

“මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. ආයි මේ වගේ වැඩ නොකරන්න පාඩමක් උගන්වන්න ඕනා.” එලෙස පවසනවාත් සමගම මෙහි ප්‍රධාන මොළකරු සම්පත් ද නිවසට පැමිණියේය.

එලෙස පැමිණි ඔහු සිදුවූයේ කුමක් ද කියා විමසුවේය. එවිට වෛද්‍යවරයා ඔහු දෙස බලා “මම මේ නිකන් මේ මල්ලිව හම්බෙන්න ආවා. එහෙත් මට දැන් අයුතු චෝදනා එල්ල කරනවා… ඔහුට පැවසීමට හැකි වූයේ එපමණකි. පාසල් සිසුවාගේ අයියා ලෙස පෙනී සිටි පුද්ගලයා සම්පත්ට සිදු වූ සියල්ල පැවසුවේය. එය ඇසූ සම්පත් වෛද්‍යවරයා දෙස බලා “බොරු කියන්න එපා මිනිහෝ මට දැන් තේරෙනවා සිදුවූ සියල්ල. උඹ සමරිසිකාරයෙක් නේද?” යැයි පැවසුවේය.

ඒ සමඟම පාසල් සිසුවාගේ අයියා ලෙස පෙනී සිටි තරුණයා “මෙහෙම හරියන්නේ නැහැ. මේකාගේ ඇඳුම් ගලවලා වීඩියෝ කරන්න ඕනෑ. පර්ස් එක අරගෙන බලන්න මෙයා කවුද කියලා” පැවසුවේය.

මුදල් පසුම්බිය පරීක්ෂා කළ පසු ඔහු වෛද්‍යවරයෙක් බව දැන ගත්තේය. එතනින් නොනැවතුණු එම පිරිස වෛද්‍යවරයා නිරුවත් කර වීඩියෝ දර්ශන ද ලබා ගත්තේය. එලෙස ලබා ගෙන ඔවුන් පැවසුවේ මෙම වීඩියෝ ඔහුගේ බිරිඳටත් යවා සමාජ මාධ්‍ය ජාලාවලද පළ කරන බවයි. වෛද්‍යවරයා මෙයින් මහත් බියට පත්විය. ඔහු බැගෑපත් වී එම පිරිසගෙන් අයැද සිටියේ එලෙස නොකරන ලෙසටයි. ඒ අතර සම්පත් මැදිහත් වී වෛද්‍යවරයාට “මෙය ගොඩින් බේරා ගැනීමට කැමතිනම්” සල්ලි දෙන ලෙස පැවසුවේය. උදාවී ඇති තත්ත්වය අනුව වෛද්‍යවරයා එක පයින්ම එයට කැමැති විය. ඒ අනුව එම පිරිස වෛද්‍යවරයාගේ ගිණුමෙන් ඔවුන්ගේ ගිණුමකට ලක්ෂ ගණනක මුදලක් එම අවස්ථාවේදීම බැර කර ගත්තේය.

මෙම පස්දෙනා චිත්‍රපටයක ජවනිකාවක් මෙන් එම ජාවාරම ඉතා සාර්ථකව සිදු කළහ. එතනින් නොනැවතුණු මෙම පිරිස වසරක් පුරාවට නීතිඥවරුන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියකු, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික නිලධාරියකු, මාධ්‍යවේදියකු, ගුරුවරුන් ආදී සමරිසි ඇසුරට කැමති සියයකට අධික පිරිසක් ගෙන්වා මෙලෙස බලහත්කාරයෙන් මුදල් ලබා ගත්හ. ඒ අනුව ඔවුහු ලක්ෂ ගණන්වලින් මුදල් උපයා ගත්හ.

සමන් පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. විවාහකයකු වන ඔහු සිවිල් ඉංජිනේරුවරයෙකි. විවාහ වුවත් ඔහු සමරිසි ඇසුරට කැමති පුද්ගලයෙකි. ඔහුට ද මෙම බ්ලින්ඩර් ඇප් එක මා මෙම පාසල් සිසුවා හඳුනාගැනීමට හැකි විය. ඔහුද පාසල් සිසුවා කිවූ පරිදි ගල්කිස්ස පාරේ පිහිටි එම නිවසට පැමිණියේය. එලෙස පැමිණි ඔහුට ද අත් වූයේ අන් අයට සිදුවූ දෙයමයි. එදින ඔහුගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් මෙම පිරිස ලබාගෙන තිබුණි.

එලෙස අකරතැබ්බය පත්වූ සවිල් ඉංජිනේරුවරයා සිටියේ දැඩි කේන්තියකිනි. “මම මේක ලේසියෙන් අතඅරින්නේ නැහැ. මම උගන්වන්නම් හොඳ පාඩමක්. ආයේ ජීවිතයටවත් මේ වගේ වැඩ නොකරන්න.” එලෙස සිතා ගත් ඔහු ගල්කිස්ස පොලිසියට පැමිණ මේ පිළිබඳව පැමිණිල්ලක් දැමුවේය.

පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් ඇතුළු පොලිස් නිලධාරීහු මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළහ.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාගේ සෘජු අධීක්ෂණය යටතේ පැමිණිලිකරුගේ තොරතුරු මත හඳුනාගත් ගල්කිස්ස රාහුල පාරේ පිහිටි එම නිවසට පොලිස් නිලධාරීහු පැමිණියහ. එලෙස පැමිණ පරීක්ෂා කිරීමේදී එහි සිටි අවුරුදු විසි එකක් වයසැති තරුණයකු අත්අඩංගුවට ගැනීමට ඔවුනට හැකි විය. එලෙස අත්අඩංගුවට ගත් තරුණයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිදු වූ සියල්ල මුල සිට ඔහු පැවසුවේය. එම සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් හතර දෙනා ද අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

එහිදී අනාවරණය වූයේ වසරක පමණ කාලයක සිට සැකකරුවන් පිරිස මෙම ජාවාරම සිදු කර ඇති බවයි. මෙහි ප්‍රධාන සැකකරු වනුයේ අවුරුදු විසි නවයක් වයසැති විවාහක කායවර්ධන උපදේශකයාය. ගල්කිස්ස ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන වයස අවුරුදු දාසයක් වන පාසල් සිසුවා සමලිංගිකයෙක් ලෙස හැසිරී තිබේ. අවුරුදු විසි එකක් වයසැති සැකකරු දෙමව්පියන් නොමැති අවස්ථාවේදී මෙම ජාවාරම සිදු කිරීම සඳහා නිවස ලබාදී තිබේ. එයට අමතරව අනෙක් සැකකරුවන් දෙදෙනා පාසල් සිසුවාගේ අයියා සහ මිතුරකු ලෙස හැසිරී මෙම ජාවාරමට සම්බන්ධ වී තිබේ.

එයට අමතරව මෙහි ප්‍රධාන සැකකරු ගල්කිස්ස පොලිසියේ අත්අඩංගුවට පත් වූ තුන්වැනි අවස්ථාව මෙය වේ. එම සැකකරු මොරටුව ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු බිය ගන්වා රත්තරන් මාලයක් කොල්ලකෑම, විශේෂඥ වෛද්‍යවරයකු ගල්කිස්ස නිවසකට රැගෙන විත් නිරුවත් කර පහර දී රුපියල් ලක්ෂ හතරහමාරක මුදලක් ලබා ගැනීම ආදී කොල්ලකෑම් රැසක් සිදුකර තිබේ. තවද මෙම ප්‍රධාන සැකකරු මෙවැනි ආකාරයෙන් විවිධ පුද්ගලයන්ගෙන් කොල්ලකෑම ගණනාවක්ම සැලසුම් සහගතව සිදු කර තිබේ. එහෙත් එම පුද්ගලයන් සමාජයට මුහුණ දීමට ඇති බිය සහ ලැජ්ජාව මත පොලිසියට පැමිණිලි කර නොමැත. එලෙසම මෙම සැකකරු මෙවැනි අපරාධ සඳහා සම්බන්ධ කර ගන්නා පුද්ගලයන් කලින් කලට වෙනස් කරන බවට ද ආවරණය වී තිබේ.

තවත් මෙවැනි අපරාධකරුවෝ බොහෝ සිටිති. එම නිසා සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමේ දී සහ ඒ හරහා හඳුනා ගන්නා පුද්ගලයන් ඇසුරු කිරීමේ දී ඔබ වඩාත් ප්‍රවේශම් විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබත් මෙවැනි කොල්ලකරුවකුගේ ඉලක්කයක් බවට පත්විය හැකිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී සමන් ජයසිංහ, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා යන නිලධාරීන්ගේ උපදෙස් මත ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළහ.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment