අයවැය 14 වැනිදා ඡන්දය 22 වැනිදා

94

2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවන වර කියවීම සඳහා නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27 දා) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

ඒ අනුව නොවැම්බර් 14 වැනිදා පස්වරු 1.30ට ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 15 වැනිදා ආරම්භ කිරීමට ද, දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.

විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනිදා පස්වරු 5. 00 ට පැවැත්වීමට ද මෙහිදී එකඟතාව පළ විය. ඒ අනුව නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 08 වැනිදා දක්වා කාලයේ දී ඉරිදා දින සහ පෝය දිනය හැර සතියේ අනෙක් සියලු දිනයන්හි දී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment