ආගමික කල්ලියක් පත්තර කන්තෝරුවට පැන යකා නටයි – පාස්ටර් ඇතුළු 6ක් රිමාන්ඩ්

603

වාර්තාවක් නිසා කෝපයට පත්වී

යාපනයේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට පෙරේදා (09දා) සවස කඩාවැදුණු ආගමික සංවිධානයකට අයත් පනහකගෙන් පමණ සමන්විත පිරිසක් කාර්යාලය තුළ ප්‍රචණ්ඩ අයුරින් හැසිරෙමින් එහි දේපළවලට හානි සිදුකර ඇති බවට පුවත්පතේ පාලන අධිකාරිය යාපනය පොලිසියට පැමිණිලි කොට තිබේ.

අච්චුවේලි ප්‍රදේශයේ පවත්වාගෙන යන ආගමික ස්ථානයකින් සිදුවන නීති විරෝධී හා අපචාර ක්‍රියා නිසා පළාතේ පවුල් රැසකට විශාල අසාධාරණයක් සිදුවන බවට උදයන් පුවත්පතේ පළ වූ වාර්තාවක් නිසා කෝපයට පත් පිරිසක් පුවත්පත් කාර්යාලය තුළට කඩා වැදී තිබේ. මෙම පිරිස බස් රථයකින්, වෑන් රථයකින් හා මෝටර් රථයකින් මෙන්ම යතුරුපැදිවලින්ද පැමිණ ඇති අතර ඔවුන් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුවේ රාජකාරි කළ ආරක්ෂක නිලධාරියා පලවාහැර කාර්යාලයට ඇතුළු වී තිබේ.

මුහුණට හමුවන සියලු දෙනාටම නොසරුප් වචනවලින් බැනවදිමින් කාර්යාලය තුළට බලහත්කාරයෙන් ඇතුළුවීමට ඔවුන් උත්සාහ දරා ඇති අතර කාර්යාලයේ පිරිසක් දොරවල් වැසීම නිසා කලහකාරීන් ඒ අවට තිබූ මල් පෝච්චි වැනි උපකරණවලට ද අලාභහානි සිදු කොට තිබේ. උදයන් පුවත්පතේ පිරිස මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියට ලබා දුන් දුරකථන ඇමතුමකට අනුව එහි පැමිණි පොලිස් කණ්ඩායමක් කාර්යාල භූමියට ඇතුළු වී සිටි පිරිස ඉවත් කර ඇත.

මෙසේ පැමිණ ඇත්තේ අච්චුවේලි ප්‍රදේශයේ පවත්වාගෙන යන ආගමික ස්ථානයේ පිරිසක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ, නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment