ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලයට වැඩිපුර කෝටි 3ක් කුලී ගෙවලා – විගණනයෙන් හෙළි වෙයි

118

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව සිය ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැඟිල්ලක් සඳහා බදු කුලී වශයෙන් රජයේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් දෙකෝටි අනූනව ලක්ෂ තිස්හත්දහස් අටසිය හැට හතක (29,937,867) මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

කොමිසම් සභාවේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යෑම සඳහා 2016 දෙසැම්බර් මස 01දා සිට 2017 නොවැම්බර් 30 දක්වා වසරක කාලයකට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගෙන තිබුණි. එම ගිවිසුම දීර්ඝ කිරීමකින් තොරව කොමිසම් සභාවේ ප්‍රධාන කාර්යාලය එහි පවත්වාගෙන යමින් රජයේ තක්සේරු වටිනාකමට වඩා රුපියල් 29,937,867ක් ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. රාජ්‍ය වියදම් කාර්යක්ෂමව, පලදායීව හා සකසුරුවම් ලෙස සිදුකළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව බදු පදනම මත මෙම ගොඩනැඟිල්ල ලබාගෙන තිබූ බව කොමිසම් සභාවේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. බදු ගිවිසුම අවසන් වීමෙන් පසු වෙනත් ස්ථානයක් සොයා ගැනීමට නොහැකි වීම නිසා කොමිසම් සභාවේ තීරණය පරිදි සියයට 5ක වැඩිවීමක් සමග ගෙවීම් කොට ඇති බවද කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත. කුලී පදනම මත ගොඩනැඟිල්ලක් සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් ගතවන බැවින් මෙම

ගොඩනැඟිල්ල තවත් වසරක් සඳහා විධිමත් බදු ගිවිසුමක් යටතේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කර අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇති බවද කළමනාකාරීත්වය විගණනයට සඳහන් කොට ඇත.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment