ජාත්‍යන්තර අතපෙවීම් ආර්ථිකයට ලොකුම විනාශය කළා – මහින්ද රාජපක්ෂ(ශ්‍රීලපොපෙ)

210

අර්බුදය ඇති කළ අයට අර්බුදයෙන් ගොඩ එන්න බැහැ – අනුර කුමාර දිසානායක (ජාජබ)

බොරුව, මුලාව විකුණලා රට මේ තත්ත්වයට පත් කළා – කබීර් හෂීම්(සජබ)

ගෝඨාභය ගෙනාවට වියතුන් වගකිව යුතුයි – නිමල් ලාන්සා (ශ්‍රී.ල.පො.පෙ.)

ජාත්‍යන්තර අතපෙවීම් සහ ඒ අයගේ රූකඩ රටේ ආර්ථිකය වැට්ට වූ බවත් ආර්ථිකයට වෙන්න තියෙන ලොකුම විනාශය කළේ ඒ අය බවත් හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) කීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, කාරක සභා වාර්තා ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව, 27/2 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු දීමෙන් අනතුරුව ලබන වසර සඳහා අයවැය විවාදයේ දෙවැනිවර අවසන් දිනය වූ ඊයේ දිනයේ විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළ හිටපු ජනාධිපතිවරයා මේ බව කී අතර එහිදී රාජපක්ෂ මහතා මෙසේද කීය.

භූ දේශපාලනික වශයෙන් අපේ රටට තිබෙන වැදගත්කම ලෝකයේ හැම රටකටම දැනෙනවා. ඒ නිසයි අපේ රටට මේ තරම් ජාත්‍යන්තර අතපෙවීම් වැඩිවෙලා තියෙන්නේ. ඒ අයගේ රූකඩ තමයි පසුගිය කාලේ නැටවුනේ. ඒ අය සංවිධානාත්මකවයි. මේ දේ අපේ රටේ ඉතිහාසයේ අවස්ථා දෙකකදී සිදුවෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකයට වෙන්න තියෙන ලොකුම විනාශය කළේ ඒ අයයි. රට ආර්ථිකමය අතින් ඉහළට යන හැම අවස්ථාවකදීම මෙවැනි දේවල් සිදුවුණා. දැනුත් ඒ දේ සිද්ධ වෙනවා. බලන්න දැන් සංචාරකයන් මේ රටට එන්න පටන් ගත්ත විතරයි. තේරුමක් නැති විදියට ඇතැමෙක් බොහෝ විරෝධතා ඇති කරන්න ගත්තා. සමහරුන්ට ඒවායේ දී හූ කියනවා. ඉතිං ජනතාව කියන දේ මොකද්ද කියලවත් ඒ අයට තේරෙන්නෙ නෑ. මාස කිහිපයකට කලින් තිබුණ රට සහ වර්තමානය අතර වෙනසක් ජනතාවට දැනෙනවා. ඇතැමෙක් මේ වෙනස දේශපාලනයෙන් නැවත රත් කරන්න වෙහෙසෙනවා.

අපි දැන් කළ යුතුව තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුගතකරමින් රජයේ අය-වැය හිඟය අඩුකර

ගැනීමයි. ඒ සඳහා රාජ්‍ය ආදායම ඉහළ දැමිය යුතුයි. පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට

පත්කරගනිමින් කාර්යක්ෂමව විදේශ විනිමය ඉපැයිය හැකි ආර්ථික ප්‍රතිසංස්කරණයක් කළ යුතුයි. තීන්දු ගැන කතා කරා කියල ඵලක් නැහැ. අපි වැරදුණු තැන් නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. මොන තත්ත්වයක් යටතේ වුණත් එදිනෙදා රජයේ ආදායම් වියදම් පියවා ගන්න බැරිවෙන කොට ඒ ඒ රජයන් ණය ගන්නවා. එහෙම ගන්න ණයම දවසක රටේ අස්ථාවර බවට හේතු වෙනවා. ඒ නිසා ආණ්ඩු මාරු වුණා කියලා රජයට ණය තියලා මාරු වෙන්න බැහැ.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා-

මහින්ද රාජපක්ෂ මහතා කියපු දේවල් වලට නම් මට එක1ග වෙන්න බෑ. පසුගිය දශක දෙකක් තුළ අපි රටක් ලෙස නිෂ්පාදනයට වඩා පරිභෝජනය කරලා ආදායමට වඩා වියදම් කරලා තිබෙනවා. ඒ මදිවට 2020දී ඝෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආදායම කපා හැරියා. ඒ නිසා 2021 දී ආදායම් අඩුවී වියදම විශාල වශයෙන් වැඩිවුණා. ඇත්තටම වියදම දෙගුණයකින් වැඩි වී තිබෙනවා. 2023 අවයැය දෙස බලන කොට අපට ණය සහ පොළිය වැඩි වශයෙන් ගෙවන්න වෙලා තිබෙනවා. ඒ බරත් එන්නේ ජනතාව මතයි. ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අච්චු ගහලා බදු සහන දීපු නිසා මේ තත්ත්වය බරපතල ලෙස බලපෑවා. මේ අද ඇතිවී තිබෙන විනාශය දෙස බලපුවහම මහින්ද රාජපක්ෂ,

ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්රාල්, පී.බී. ජයසුන්දර ආර්ථික ඝාතකයන් ලෙස තමයි හඳුන්වන්න වෙන්නේ. මෙහෙම වෙලා තිබියදීත් අපි ඊයේ පෙරේදා කටුනායක ගුවන් තොටුපළේදී දැකපු සංදර්ශනය පුදුම සහගතයි. මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තිබියදීත් ඒ තත්ත්වය නිවැරදිව හඳුනාගන්න ඉතා සීමිත අඳබාලයන් පිරිසකට නොහැකි වෙලා තිබෙනවා. ඔවුන් බැසිල් රාජපක්ෂ වැනි ආර්ථික ඝාතකයකුගේ පාද සිප ගන්න තත්ත්වයක් අපි දැක්කා. ඒ ගැන ලැජ්ජාවක් තමයි ඇතිවන්නේ. මේ ආර්ථික අර්බුදයට සෘජුවම වගකිව යුතු පුද්ගලයන් ගුවන් තොටුපලේදි පා යුග සිඹ පිළිගැනීම එල්ලා මැරීමට බලා සිටින අලු‍ගෝසුවාට සාදයක් පිරිනමනවා වගේ වැඩක්. බොරුව, මුලාව විකුණලා රට මේ තත්ත්වයට පත් කළා. ජනතාව සතුවිය යුතුව තිබූ බොහෝ සම්පත් ප්‍රමාණයක් මේ රජය අපහරණය කරලා තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ

පොලී අනුපාතය ඉහළ ගිය නිසා ගැටලුවලට මුහුණ දුන් අයට සහනයක් කර ඉදිරියට යෑමට සිදු වෙනවා.

පොලී අනුපාත විවෘත වෙළෙඳපොළ තුළ තීන්දු විය යුතු වෙනවා. කෘත්‍රිමව අනුපාත වෙනස් කිරීම නිසා පසුගිය කාලයේ ගැටලු ඇති වුණා.

ආනයන අපනයන පිළිබඳ යම් ප්‍රගතියක් පවතිනවා. සෙමින් සෙමින් ආර්ථිකය යථාවත් වෙමින් පවතිනවා. දරුණු ආර්ථික තීන්දු එදා නොගත්තා නම් පසුගිය ජුනි මාසයට වඩා දරුණු තත්ත්වයක් මේ වනවිට රටේ ඇති වෙනවා. ආර්ථිකයේ දරුණු අවස්ථාවලදී කෘතිම තීන්දු ගන්න බැහැ. ඉදිරියේදී රට යථාවත් වීමෙන් පසුව ජනතාවට හිතකර තත්ත්වයක් ඇති වේවි.

මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය අවංකව ක්‍රියා කරමින් සිටිනවා. අතීතයේ ක්‍රියා නොකළ ආකාරයට අද විපක්ෂය ආණ්ඩුව විවිධ උපදෙස් හා සාකච්ඡා මත ක්‍රියා කරනවා.

අපට විවේචන එල්ල වෙන්න පුළුවන්. ඒවා විඳ දරා ගන්න දේශපාලනඥයන් ලෙස අපට සිදු වෙනවා. නමුත් නිලධාරීන්ට අවංකව රාජකාරි කිරීමට ඉඩ ලබාදිය යුතුයි.

රජය ගත් පියවරයන් තුළ උද්ධමනය අඩු වීම ආරම්භ වී තිබෙනවා. තව මාස කිහිපයක් මේ ප්‍රතිපත්තියේ ගමන් කිරීමට සිදු වෙනවා. රුපියල ස්ථාවර වෙමින් පවතිනවා. ආනයන සීමා ලිහිල් වෙමින් පවතිනවා. මේ මාස 4 කිසිදු විදේශ රටකින් හෝ ආයතනකින් උපකාරයක් නැතිවයි මේ තත්ත්වය පවත්වාගෙන යන්නේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ)

රජයේ වියදම සඳහා රුපියල් උපයා ගත්තත් රටට අවශ්‍ය ඩොලර් උපයා

ගැනීමටවත් බැරි වුණා. අයවැය ලේඛනයේ සංඛ්‍යා දත්ත නිවැරදි නෑ. රටේ දත්තයන් සැබෑ යථාර්ථය වසං කරන උපාංගයක්.

ලබන අවුරුද්දෙත් ආර්ථීකය හැකිලෙනවා කියනවා. එසේ නම් ආර්ථිකයේ දියුණුවක් නැහැ. නොකරන්නේ මොනවාද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් පිහිටුවීම මිලියන 200 ක් වෙන් කිරීම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමක්.

අපට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට ණය ගත්තා. රාජ්‍ය ආයතන වික්කා. අපි ඇති තරම් රාජ්‍යයන්වලින් ණය ගත්තා. ස්වෛරි බැඳුම්කර ණය ගත්තා. දිගු කාලයක් අර්බුදය පියවා ගන්න ණය ගත්තා. රුපියල් ටි්‍රලියන 5 ක් ණය ගත්තා. ආණ්ඩුව ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලබන වසරේ ණය පංගුව රුපියල් ටි්‍රලියන තුනකින් වැඩි වෙනවා. සමස්ත ණය ලෙස ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 25 ඉක්මවා තිබෙනවා. මේ අයවැය ලේඛනයෙන් තව ටි්‍රලියන

3 ක් ණය ගන්න යෝජනා කර තිබෙනවා. මේ අර්බුදය වැඩි කරනවා මිස විසඳීමට කිසිම පියවරක් ගෙන නෑ.

2022 දී ඩොලර් බිලියන 8 ක ආනයන අපනයන පරතරයක් තිබෙනවා. ඩොලර් බිලියන 6.8 ක් ණය ලෙස

ගෙවිය යුතුයි. අපේ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීමට කිසිම විසඳුමක් තිබුණේ නැහැ. ඒ සඳහා ණය ගැනීම පමණයි සිදු කළේ. අධික පොලියට ණය ගත්තා.

මාර්තු මාසය වනවිට ණයත් ගෙව්වා පෝලිම් තිබුණෙත් නැහැ. දැන් ණය ගෙවන්නෙත් නැහැ. ඒත් මුදල් සංචිතයේ වැඩිවීමකුත් නෑ. ණය නොගෙවීම නිසා ඉතිරි මුදලින් ආහාර ගන්නවා. සුද්දා වගේ ජීවත් වෙනවා. ණය පංගුව ගෙවා ගන්න තියා සංචිතයේ ඉතිරියක්වත් නැහැ. ඉතින් ආර්ථිකය හොඳ පැත්තට හැරිලා කියන්නේ කොහොමද?

රාජ්‍ය ආයතන විකුණන්නේ විදෙස් සංචිත ලබා ගැනීමට පමණයි. ආර්ථික උපාය මාර්ගයකට අනුව නොවෙයි. රක්ෂණ සංස්ථාව පමණක් නොව ලිට්‍රෝ සමාගම, ලංකා හොස්පිටල් ආයතනයත් විකුණනවා. විකුණාගෙන කෑමේ ප්‍රතිපත්තියක ආණ්ඩුව 1977 සිටම ඉන්නේ.

අපේ රටට විශාල පරිවර්තනයක් අවශ්‍යයි. ජනතාවගේ කැමැත්ත සහිත පාලනයක් අවශ්‍යයි. පොහොට්ටුවේ ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන පවරා

ගැනීමයි. ඒත් මේ අයවැයෙන් රාජ්‍ය ආයතන විකුණනවා. අර්බුදයක් තුළදී ජනතාව කැමැත්ත ඇති පාලනයක් රටට අවශ්‍යයි. වහාම මැතිවරණයක් පවත්වා ජනතාව විශ්වාස කරන පාලනයක් ඇති කළ යුතුයි. අර්බුදය ඇති කළ අයටම මේ අර්බුදයෙන් ගොඩ එන්න බැහැ.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් විය යුතුයි. අද ජාත්‍යන්තරයේ ලංකාවට කළු පැල්ලමක් වැටී තියෙනවා. රටින් පිටවීමට වීසා එකක් ගන්න බැහැ. පිටරටවල් අපට උපකාර කරන්නේ නැහැ.

සභානායක ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

කලින් කලට මතු වන ප්‍රශ්නවලට සාර්ව ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ඒ ඒ කාලයේදීම ලබාදිය යුතුයි. ආර්ථිකය හැකිලවීම් මුදල් හුවමාරු අවම කිරීම් සඳහා පියවරයන් ගෙන තිබෙනවා.

රට බංකොළොත් කියලා කියපු ගමන් ජාත්‍යන්තර සංවිධාන කරපු ඉදිකිරීම් සියල්ල නතර වුණා. මේවා ප්‍රකාශ කරන්න පෙර පාර්ලිමේන්තුව දැනුවත් කරන්න තිබුණා.

ප්‍රතිපත්තිමය තීන්දු නිසි වෙලාවට නොගැනීම ප්‍රශ්නවලට මුලයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න

ගියොත් බැංකු පද්ධතිය පවත්වාගෙන යන්න බැරි වෙනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක (සජබ)

පාසල් දරුවන්ගේ උපකරණ තුන් ගුණයකින් වැඩි වෙලා. මිල දරා ගන්න බැහැ. දරුවන් දෙතුන් දෙනකු ඉන්න පවුල්වලට ඉතාම අසීරුයි.

ගොවි ජනතාව අදටත් අසරණයි. මාධ්‍යවල පොහොර තියෙනවා කිව්වත් ගොවි බිමට පොහොර ගිහින් නෑ. කුඩා තේ වතු හිමියන්, ධීවරයන් ඉදිකිරීම්කරුවෝ ඉතා අසරණයි. දෛනික රැකියා කරන අයට කරගන්න දෙයක් නැති වෙලා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් (සජබ)

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කළේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසයි. දැන් මන්ත්‍රී ධුර 8000 ප්‍රමාණය 4000 කරන්නත් ඔහු යෝජනා කරලා. මේ අඩු කිරීම නිසා දෙමළ බස කතා කරන ජාතීන්ගේ නියෝජනය අඩු වෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

අයවැයකින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සහන. නමුත් මේ අයවැයේ සහන දෙන්න හැකියාවක් නෑ. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම ගැනයි හිතන්න සිදුවී තිබෙන්නේ. මෙතෙක් වැටුප් වැඩි කළත් සහන දුන්නෙත් ණයට අරගෙනයි. තවදුරටත් ඒවා කරන්න බැහැ. මේ රටට සිදුව ඇති දේට පාර්ලිමේන්තුවේ හැමෝම වගකිව යුතුයි. දැන්වත් පිල් බෙදෙන්නෙ නැතිව එක තීන්දුවක් ගනිමු.

බදු ගන්න පුළුවන් අයගෙන් බදු ලබාගත යුතුයි. මුලින්ම පාර්ලිමේන්තුවෙත් පටන් ගනිමු. බැංකුවල ලොක්කන්ගේ බදු ගෙවන්නේ බැංකුවලින්මයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ

අද රටේ තියෙන්නේ කර්මාන්තකරුවා දිරිගන්වන තත්ත්වයක් නොවෙයි. කර්මාන්ත එපා වෙලා යන්න හිතෙන තත්ත්වයක්. එන මිනිහාව මරාගෙන කාලා හෝ තමන්ගේ කුට්ටිය තරකර ගන්නයි මේ සංස්කෘතිය ඇති වී තිබෙන්නේ.

බියගම යූරියා පොහොර කර්මාන්තශාලාව රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමැති කාලේ විකුණලා දැම්මා. ඔවුන් යන්ත්‍ර ගලවාගෙන ගියා.

රාජ්‍ය ආයතන විකුණන්නේ ඩොලර් අරන් සංචිතය වැඩි කරගෙන රේටිං වලින් ඉහළ ගිය පසු නැවත ණය ගන්නයි. වෙන කිසිම සැලැස්මක් නෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලංසා (ශ්‍රීලපොපෙ)

කුමන හෝ කාරණයක් අල්ලාගෙන විරුද්ධ වීම නොවෙයි කළ යුත්තේ. ආදායම වැඩි කර ගත හැකි ආකාරයේ යෝජනා ඉදිරිපත් කළ යුතුයි. ලැබෙන ආදායම යන්නේ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නයි. ආදායම වැඩි කර වියදම අඩු කළ යුතුයි.

විපක්ෂය කියන්නේ පාඩු ලබන ආයතන විකුණන එක වැරදියි. වියදම අඩු කිරීම වැරදි කිය කියා ඉන්නවා. කවුරු බලයේ හිටියත් රට කරගෙන යෑමට රාජ්‍ය ආදායම වැඩි කළ යුතුයි. ගෝඨාභය ගෙනාවට

වියතුන් වගකිව යුතුයි. ආණ්ඩුවකට මැජික්වලින් සල්ලි වැඩි කරන්න බැහැ. රටේ උද්ඝෝෂණ කරන්නේ සාමකාමී රට නැති කරන්නයි. සංචාරකයින් රටට එන එක නවත්වන්නයි එහෙම කරන්නේ.

ටෙලිකොම් එක ලාභ නෑ. හරියට මුල්‍ය වාර්තා බලන්න. පාඩු ලබන ආයතන රජයට බරක් බව ජනතාවටත් තේරිලා තියෙන්නේ. දැන් රට ක්‍රමයෙන් යථාවත් වෙමින් පවතිනවා. ආයෝජකයෝ එනවා. ජනතාව සාමාන්‍යකරණය වෙනවා. මේක විපක්ෂයට ඇහේ කටු ඇනෙනවා වගේ. රට කන වෘත්තීය සමිති විපක්ෂය සමග එකතු වී උද්ඝෝෂණ පටන් ගත්තා.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

අයවැයේ හැම දෙයක්ම විවේචනය කරන විපක්ෂය කිසිදු විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නෑ. කිසිදු ප්‍රතිපත්තියක් නෑ.

ණයවර ලිපියක් නිකුත් කරන්න බැරි නම් සමාගම්වලින් සහතිකයක් දෙන්න බැරි නම් රට සාමාන්‍ය තත්ත්වයක් නෑ. මාස හයකදී හිටියට වඩා දැන් ප්‍රගතියක් තියෙනවා. ඉන්ධන ගන්න ඩොලර් හොයා ගත්තෙත් අමාරුවෙන්. ඛනිජ තෙල් සංස්ථාව ටි්‍රලියනයක ණය තියෙනවා. ඒවා තෙල් විකුණලා පියවා ගන්න බැහැ. හොඳ ආයෝජන අවශ්‍යයි.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා (ශ්‍රීලපොප)

මේ අයවැය ඉලක්කම් විජ්ජාවක්. ආර්ථිකය සියයට 9 කින් සංකෝචනය වන බව ජාත්‍යන්තරය කියද්දි ජනපති කියනවා සියයට 7 ක වර්ධනයක් ලබන වසරේදී ලබන බවට ජනතාව අන්දවනවා.

පාර්ලිමේන්තුව අද 23දා පෙරවරු 9.30ට යළි රැස්වේ.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment