අය වැය පොරොන්දු ඉටු වෙයිද?

89

සොයා බැලීම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමයි – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමරත්න

අය වැය පොරොන්දු ඉටු වෙයිද?

ශ්‍රී ලංකාව ණයවලින් හෙම්බත්වෙලා බංකොළොත් වෙච්ච රටක් හෙයින් අය වැය පොරොන්දු ඉටුවන්නේ ද නැද්ද කියා බැලීමේ වගකීම සියලු රාජ්‍ය නිලධාරීන්ට පැවරෙනවා. මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට අය වැය ඉදිපත් කළ පසුව මසක් පුරාම දිස්නෙලන්තයේ විනෝද කතා මේ සභාවට ඉදිරිපත් නොකළ බව සියලු රාජ්‍ය නිලධාරීන් මතක තබා ගත යුතු යැයි අය වැය අවසන් දින විවාදය අමතමින් ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් කතා කළ ඉරාන් වික්‍රමරත්න මහතා අපි විනිවිදභාවය සහ වගවීම පිළිබඳ විශ්වාස කරනවා, මාසයක් තිස්සේ පැවති අයවැය විවාදය විනෝදාශ්වාදයේ කොටසක් පමණක් විය නොහැකි බැවින් අයවැය යෝජනා පිළිබඳ යථාර්ථය පරීක්ෂා කිරීම අවශ්‍ය වේ. එම නිසා සියලු රාජ්‍ය නිලධාරීන් මේ පිළිබඳ තම වගවීම හා වගකීම නිසි ලෙස ඉටු කළ යුතු යැයි අවධාරණය කළේය.

සාමාන්‍යයෙන් මේ රටේ ආණ්ඩුවලින් අය වැය මගින් පුරෝකථනය කරන රාජ්‍ය ආදායම ලැබී නැහැ. 2023 වසරේ අය වැයෙන් පුරෝකථනය කළ ආදායම 15% පමණ අඩු වෙනවා. 2023 සත්‍ය ආදායමට වඩා, 2024 රාජ්‍ය ආදායම 45% කින් වැඩි වන බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා. මෙය ඉෂ්ට නොවන එකක් බව දැන්ම කිව හැකිය. නමුත් මේ පිළිබඳව විග්‍රහ කර බැලිය යුතුය.

දළ වශයෙන් 2024 ට ආදායම රුපියල් ට්‍රිලියන 4 ක් පමණ වෙනවා, වියදම රු. ට්‍රිලියන 8 ක් පමණයි. රු. ට්‍රිලියන හතරක පරතරයට අමතරව ණය ප්‍රතිශතය දළ දේශීය නිෂ්පදනයෙන් 28% ක් තිබෙන අතර එය 2032 වන විට 95% ට අඩු කළ යුතුයි සඳහන්. ණය ප්‍රතිව්‍යූහගත කිරීම අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනය මේ රජයට දෙවන ණය වාරිකය අනුමත කිරීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම අනෙක් රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මූලිකව එකඟවෙලා තිබෙනවා.

විදේශ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහ පරිමාණ ව්‍යාපෘති ගැන අපි අවධානය යොමු කර බැලුවා. එවන් ව්‍යාපෘති 116 ක් පමණ ඇතත් එයින් 61 ක ප්‍රගතිය අඩුයි. ව්‍යාපෘති 31 ක විදේශ මුදල් සම්පාදනය අත්හිටුවා තිබෙනවා. අපි අය වැය ව්‍යාපෘතිවල ප්‍රගතිය මනින ක්‍රමයක් අනුගමනය කළ යුතුයි.

නව ආයෝජන කලාප හදන්න පොරොන්දු වූවා පමණක් නොව නව අයවැයෙන් ද පොරොන්දු ලබා දී තිබෙනවා, එහෙත් නව ආයෝජන කලාප කිසිවක් ඇති කර නැහැ. මේ සඳහා මුදල් වෙන් කළද කිසිවක් වෙලා නැතැයි විගණකාධිපති වාර්තාවල ද සඳහන් බැව් පර්යේෂණවලින් අනාවරණය කර ගෙන තිබෙනවා.

මේ අය වැයේදී ජාතික කෘතිමය බුද්ධි මධ්‍යස්ථානයක් පිහිටුවීම ගැන කියා තිබෙන අතර රු. බිලියන 3 කුත් වෙන් කළ බව සඳහන්. එහෙත් මේ ගැන කිසිදු තක්සේරුවක් හෝ එකී ආර්ථික වැදගත්කම පිළිබඳව පූර්ව අධ්‍යයන කිසිවක් කර තිබෙන බවක් පෙනෙන්නට නැත. රජයේ කටයුතු පිළිබඳව තොරතුරු ලබාගත නොහැකි තත්ත්වය 2016 දී 12% සිට 2023 වන විට 97% ට ඉහළට ගිහින් තිබෙනවා.

ස්වාධීන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් අවශ්‍ය වන්නේ එම නිසාය. රජය ජනතාව වෙනුවෙන් කරන ව්‍යාපෘතිවලට ආර්ථිකමය වටිනාකමක් නැත. කොළඹ සිට මාතරට අධිවේගී මාර්ගය හැදුවද මාතර සිට හම්බන්තොට දක්වා එය දීර්ඝ කිරීමේදී වැය වූ පිරිවැය අනුව තක්සේරුවක් කර තිබුණේ නම් එය කිසිදා ක්‍රියාත්මක කරන්නේ නැහැ. හේතුව එමගින් වියදමට සරිලන්න කිසිදා ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ.

අයවැය ව්‍යාපෘතිවල ආර්ථික හා මූල්‍ය තක්සේරුව හැර දේශපාලන අවශ්‍යතාවය ගැන මුල් තැන දෙන ක්‍රමයෙන් අපි දුරස් විය යුතුයි. මේ රටේ ව්‍යාපෘතියක් ආරම්භ කරන විට එය අයත් වනුයේ කාටදැයි වපර ඇසින් බලන ක්‍රමයක් රටේ තිබෙනවා. සම්පත් විකුණන්න යනවයි කියන්නේ එනිසයි. එහෙත් වත්කමට ප්‍රතිලාභයක් තිබේද යනුවෙනුයි අපි බැලිය යුත්තේ, රට වටේ රජය සතු ඉඩම් තිබෙන නමුදු ඒවායින් රටට ජනතාවට ප්‍රතිලාභයක් නොගෙන එය අපේ වත්කම් යැයි කියමින් සිටීමෙන් ඵලක් නැත.

ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධානියා ලෙස වසර 20 කට පෙර එප්පාවල පොස්පේට් ආයතනය බලන්නට ගිය විට එකී නිෂ්පාදනවලට අගය එකතු කර අලෙවි කිරීමට එහි මිනිස්සු කැමති වූයේ නැතැයි කී ඉරාන් වික්‍රමරත්න මහතා කහටගහ ග්‍රෆයිට් එකටත් වෙලා තිබෙන්නේ එම ඉරණම මයි කීය.

තෙල් අපේ සම්පත ඒවා දියුණු කරන්න බැහැ යනුවෙන් මැද පෙරදිග රටවල් කිව්වා නම් අද එම රටවල් ද අපේ රට මෙන් දියුණුවකින් තොරව පවතින්නේ. වත්කමක් වූවද එකී වටිනාකමට කාලයක් තිබෙනව එම කාලය තුළ එවන් වත්කම් භාවිත කළ යුතුයි.

බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව හා තවත් බොහෝ රටවල තිබෙන ආකාරයට පිහිටුවනවයි කී පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් අත්‍යවශ්‍යයි. එම කාර්යාලයට යම් කිසි ප්‍රතිපත්ති තිබිය යුතුයි, ඒ සඳහා මිලියනයක් වැනි සොච්චම් මුදලක් වෙන් කර තිබෙනවා. මෙයට මූලධර්මයන් කිහිපයක් තිබෙනවා, අයවැය සම්පාදන ක්‍රමවේදයක් තිබිය යුතුයි. මූල්‍ය හා විධායකයේ වගකීම ගැන් බැලිය යුතුයි. විධායකයේ ආඥා ප්‍රසිද්ධ කිරීමට පෙර අනුමැතිය ලබාගත යුතුයි.

මෙවන් අයවැය කාර්යාලයක අවශ්‍යතාවය ඔප්පු කරන සාධකය තමයි හිටි හැටියේ කාබනික පොහොර භාවිතය ගැන විධායකය ගත් තීරණය යැයි කී වික්‍රමරත්න මහතා එදා එම ප්‍රතිපත්තිය අයවැය කාර්යාලයකට ඉතිරිපත් කිරීමට අවස්ථාව තිබුණේ නම් එකී තීරණය වෙනස් කිරීමට ඉඩ තිබුණි යැයි කීය. එදා අයවැය කාර්යාලයක් තිබී කාබණික පොහොර තීරණය එම කාර්යාලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබුණේ නම් එදා රටට වූ විනාශය අවම කරගත හැකිව තිබුණි.

ඒ වගේම පුද්ගල බදු වැඩි කිරීම, ආරක්ෂක වියදම් වැඩි කිරීම, සුබසාධන වියදම් ආදිය වැඩි කළ යුතු ද නැද්ද පිළිබඳව ද සැබෑ අවශ්‍යතාවය අනුව තීරණ ගැනීමට උචිත ස්ථානයක් වන්නේ අය වැය කාර්යාලය බැවින් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර එම කාර්යාලය පිහිටුවීමට කටයුතු කරන්නැයි ඉරාන් වික්‍රමරත්න මහතා රජයෙන් ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment