අරන්තලාවට දහම් ප්‍රදීපයක් වූ යතිවරයාණෝ

116

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය පිරිනමමින් ඒ පිළිබඳ සන්නස් පත්‍රය ඊයේ මල්වතු මහනාහිමි සුරතින් පිරිනැමිණි. උන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය මාර්තු 17 වැනිදා (ඉරිදා) ප.ව. 2.30ට අරන්තලාව ජාත්‍යන්තර යොවුන් මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

දකුණු ලක සිට නැගෙනහිරට වැඩම කළ හෑගොඩ ශ්‍රී ඉන්දසාර උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හෑගොඩ ශ්‍රී ඉන්දසාර මාහිමිපාණන් වහන්සේ නැගෙනහිර ගල්ඔය මිටියාවතේ අතළොස්සක් වූ භික්‍ෂූන් වහන්සේ සමග එක්ව බිඳ වැටී තිබූ ශාසනික උන්නතිය යළි පුබුදුවා ඉපැරණි වෙහෙර විහාර සංවර්ධනය කරවා කුලදරුවන් සසුන්ගත කොට නැගෙනහිර ආගමික ප්‍රබෝධය ඇතිකරලීමේ නියමුවාණන් බවට පත් වූහ. 1987 ජුනි 02 වැනිදා අරන්තලාවේදී කොටි ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් උන්වහන්සේ ඇතුළු 31 නමක් ස්වාමීන් වහන්සේ ඝාතනයට ලක්වීම මේ ප්‍රදේශයට මෙන් ම සම්බුද්ධ ශාසනයට මහත් අභාග්‍යයක් විය. එතැන් සිට ශ්‍රී ඉන්දසාර නාහිමියන් ගොඩනැගූ සඟ පරපුරේ ප්‍රධාන නියමුවාණන් ලෙස කටයුතු කළේ ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් ය.

ශ්‍රී ඉන්දසාර නායක මාහිමිපාණන් වහන්සේගේ අනපේක්‍ෂිත හදිසි අභාවයෙන් පසු ඒ වන විට වයස විසි හතරක් වූ යොවුන් වයසේ සිටි නොපැසුණ භික්ෂුවක් වූ සෝමරතන ස්වාමීන් වහන්සේ වගකීම් සහගත ලෙස කටයුතු කළ ආකාරයත් ක්‍රමානුකූලව සිය මෙහෙවර දියත් කළ අයුරුත් අපි දුටුවෙමු. උන්වහන්සේ එක් අතකින් ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන හා තදනුබද්ධ විහාර අභාවයට යා නොදී රැකගන්නා අතර ජාතික හා ශාසනික මෙහෙවර උදෙසා ක්‍රමානුකූල ව පන්නරය ලබා ගත්හ. උන්වහන්සේගේ ජීවිතයේ අභිවර්ධනය, ශක්‍යතා, මෙහෙවර පිළිබඳ කෙටි සටහනක් පමණක් තබමි.

සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1962 නොවැම්බර් මස 19 වන දින විතානගේ විජේසිංහ හා පිටිදූව ගමගේ යසවතී යන මාපියන් දෙපළගේ වැඩිමහල් පුත්‍රරතනය විය. වයස අවුරුදු දොළහේදී දිගාමඩුල්ල ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙණෙහි දී ශ්‍රී ඉන්දසාර නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි බිමට පත් වූ උන්වහන්සේ මූලික පිරිවෙන් අධ්‍යාපනය අම්පාර ශ්‍රී විද්‍යානන්ද මහ පිරිවෙනින් හදාරා පිරිවෙන් උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්ද විfද්‍යාදය මහ පිරිවෙනට ඇතුළත් වූහ. එහි දී දක්ෂ ක්‍රියාකාරී භික්ෂුවක් වූ උන්වහන්සේ පිරිවෙනෙහි මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ධුරය දැරීමට භාග්‍යවන්ත වූහ. එලෙස පිරිවෙන් අධ්‍යාපනය අවසන් කොට ඉන් නොනැවතී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් පදනමක් ඇතිකර ගත්හ.

උන්වහන්සේගේ නෛසර්ගික හැකියාවන් නිසා ම උතුර – නැගෙනහිර දෙපළාතේ පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා ලෙස ද මාණ්ඩලික ශ්‍රේණියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පත්වීමක් ලැබීය. එම තනතුර ප්‍රයෝජනයට ගනිමින් නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ තුනක් ව පැවති පිරිවෙන් සංඛ්‍යාව විසි එකක් දක්වා වැඩිකොට ප්‍රදේශයේ භික්‍ෂු අධ්‍යාපනය දියුණු කරලීමට උන්වහන්සේට හැකියාව ලැබිණි.

ජාතික හා ශාසනික යුතුකම් ඉටුකිරීමේදී පෙරමුණ ගන්නා උන්වහන්සේ නැගෙනහිර පළාතේ ඉපැරණි පූජනීය ස්ථාන නිධන් මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුව විනාශ වීමට ගිය අවස්ථාවන්හි දී ඒවා ආරක්‍ෂා කරගැනීම සඳහා ධෛර්යයෙන් යුතුව කටයුතු කළහ. දීඝවාපි විහාරස්ථ අනාරක්‍ෂිත නටබුන් හා මොට්ටියාගල, සාගම, පුළුකුණාව ආදී ප්‍රදේශවල පැරණි නෂ්ටාවශේෂවලට සොර සතුරන්ගෙන් උපද්‍රව පැමිණි අවස්ථාවල දී එම ස්ථාන රැක ගැනීමට කටයුතු කළ හ. හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන්ගෙන් උරුම වූ එඩිතර බව උන්වහන්සේ තුළ මැනවින් පිළිබිඹු විය. නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියා වර්ධනය වූ සමයෙහි තිරුක්කෝවිල් පොලිස් වසමේ රූපස්කුලම් ඝන වනාන්තරය තුළ පොලිස් නිලධාරීන් 600 දෙනකු ත්‍රස්තවාදී ඝාතනයට ලක් වූ කල්හි බිම් බෝම්බ වළලා අනාරක්‍ෂිත ප්‍රදේශයක් ව පැවති එහි වැඩමවා බෞද්ධ ආගමික චාරිත්‍රානුකූලව එම නිලධාරීන්ගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට මැදිහත් වී කටයුතු කළහ.

සෝමරතන ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ කුදු මහත් ජනයා සමග ඉතා ප්‍රියශීලී ඇසුරක් පවත්වන භික්ෂූන් වහන්සේ නමකි. පක්‍ෂ භේදයකින් තොරව නැගෙනහිර පළාතේ දේශපාලනඥයෝ සියලු දෙනා උන්වහන්සේට හිතෛෂී වෙති. සේවය සඳහා පැමිණෙන පරිපාලන හා රාජ්‍ය නිලධාරීන් උන්වහන්සේ සමග අතිශයින් මිත්‍රශීලීය. ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් උන්වහන්සේට බොහෝ සේ උපකාර කරති. කා සමගත් සිනාමුසු මුහුණින් කතාබස් කරන උන්වහන්සේට දායකකාරකාදීන් මෙන්ම ආශ්‍රයාගත ජනී ජනයා බෙහෙවින් ඇලුම් කරති. අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වෙත රටේ නන් දෙසින් ජනයා පැමිණීමට උන්වහන්සේගේ මේ ප්‍රියශීලීභාවය ද හේතු වී ඇත.

එසේම අභිනව සංඝනායක නාහිමිපාණන්ට ඉදිරි කාලයේදී උතුරු නැගෙනහිර පළාත්වල භික්‍ෂු සමගිය හා අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

කමල් බෝගොඩ

සංස්කරණය – සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment