අපේ දරුවෝ…. කවුදෝ අරන් ගියේ…

828

ජීවිත තුනක් බිලිගත් රඹෑව ඛේදවාචකය

උසස් පෙළ ප්‍රතිඵල එනකම් හිටිය මගේ පුතාට මොකද වුණේ ?

ළඟදී විවාහ වෙන්න හිටිය මගේ පුතා හොරු අරන් ගියා…

මගේ පුතා ලබන අවුරුද්දේ ඕලෙවල් ලියන්න හිටියේ…

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එනකම් හිටිය මගේ පුතාට මොකද මේ වුණේ? ළඟදි විවාහ වෙන්න හිටිය මගේ පුතා හොරු අරන් ගිහින්…. ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළට මුහුණ දෙන්න බලා ගෙන හිටිය මගේ පුතා අපි ඔක්කොම දාලා යන්නම ගියා…..

මේ අඳෝනාවන් විලාපයන් ඇසුනේ අනුරාධපුර රඹෑව වාන ප්‍රදේශයෙන් සහ රත්මල්ගහවැව පිහිඹියගොල්ලෑව, තඹලගොල්ලෑව යන ප්‍රදේශ වලිනි.

පවතින මානසික පීඩාවන් පසක දමා සතුට විනෝදය සොයා රඹෑව ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගිය තරුණ තරුණයන් පිරිසක් නොසිතූ මොහොතක කැබ් රථයකට යට කර ගෙන ගොස් තිබුණේ පෙරේදා (9දා) අලුයම දෙකට පමණය.

ඉකුත් (8දා) රාත්‍රියේ අනුරාධපුර රඹෑව මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ගිය එකම පවුලේ ඥාතීන් පිරිසක් එම සංගීත ප්‍රසංගය නරඹා පසුදා අලුයම තම නිවෙස් කරා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.

රඹෑව විද්‍යාලයට මීටර පන්සීයක් පමණ දුරින් ඥාති නිවසක යතුරු පැදි නතර කර සංගීත ප්‍රසංගය අවසන් වී යළි නිවෙස් කරා යෑම සඳහා යතුරු පැදි රැගෙන ඒමට යමින් සිටි පාසල් සිසුන් දෙදෙනකු, යුද හමුදා සෙබළෙකු, තරුණියන් දෙදෙනකු, ඇතුළු පිරිසක් මෙම අනතුරට මුහුණපා තිබූ බව පොලිසිය කියයි.

අනුරාධපුර රඹෑව A 20 මාර්ගයේ රඹෑව නගරයේ සිට මීටර් 500ක් පමණ අනුරාධපුර දෙසට වන්නට මාර්ගයේ වම් පස ගමන් කරමින් සිටි මෙම පිරිස, මාර්ගයේ එම දිසාවටම ගමන් කළ බොලේරෝ වර්ගයේ කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අපේ දරුවෝ…. කවුදෝ අරන් ගියේ…

මෙම අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තඹලගොල්ලෑව, පිහිබියගොල්ලෑව ලිපිනයේ පදිංචිව සිටි යුද හමුදා, විජයබා පාබල රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි බී. එච්. ඩබ්ලිව්. ධනංජය දිමුතු සිරිවර්ධන නමැති 21 හැවිරිදි හමුදා සෙබළෙකු, එම ලිපිනයේම පදිංචි ධනුක නිම්සර රත්නසිරි නමැති 14 හැවිරිදි පාසල් සිසුවා සහ රඹෑව, වාන ප්‍රදේශයේ පදිංචිව සිටි චමිදු පියුමාල් නමැති 19 හැවිරිදි සිසුවෙකි.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ පිහිබියගොල්ලෑව, සියඹලාගස්වැව, කෑදෑව ලිපිනයේ පදිංච සිටි උපේක්ෂා සඳුමිණි නමැති 21 හැවිරිදි තරුණියක් සහ පිහිඹියගොල්ලෑව, තඹලගොල්ලෑව පදිංචිව සිටි සජනලී සස්මිකා නමැති 15 හැවිරිදි පාසල් සිසුවියකි.

අනතුරින් ජීවිතක්ෂයට පත් වූ චමිදු පියුමාල් නමැති සිසුවා රඹෑව මහ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිට තොරතුරු තාක්ෂණ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙකි. ඔහුගේ පියා උඩමළුව පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකු වන අතර ඔහු ඇතුළු මවුපියන් ඥාතීහු සහෝදරියන්, යහළුවන් පවුලේ වැඩිමලා වූ චමිදු නොමැති සොවින් හඬා වැළපෙති.

විජයබා පාබල රෙජිමේන්තුවේ සෙබළෙකු වන ධනංජය දිමුතු මෙම සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් තිබුණේ ඔහුගේ පෙම්වතිය ඥාතීන් ඇතුළු පිරිසක් සමගින්ය. මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ ධනංජය මෙලොව හැර ගොස් ඇති අතර, සුපිරි වෙළෙඳ සංකීර්ණ ජාලයක අනුරාධපුර ශාඛාවේ සේවයේ නියුතු ඔහුගේ පෙම්වතිය, අනුරාධපුර ශික්ෂණ රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටී. විශ්‍රාමික කෘෂිකර්ම පරීක්ෂකවරයෙකු වන ඇගේ පියා සහ පවුල් ඥාතීන් පවසන්නේ මෙම යුවල විවාහ ගිවිස ගැනීමේ අපේක්ෂා පෙරදැරිව සතුටින් ජීවත් වූ බවය. තම පෙම්වතා මෙලොව හැර ගොස් ඇති බව, ප්‍රතිකාර ලබමින් සිටින ඇය තවම නොදන්නීය.

අනතුරින් ජීවිතයට පත්ව ඇති මැදවච්චිය, කිරිගල්ලෑව මහා විද්‍යාලයේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ධනුක නිම්සර නමැති 14 හැවිරිදි පාසල් සිසුවා එම පාසලේ කැපී පෙනෙන දීප්තිමත් සිසුවෙකි. එම සිසුවාගේ මවගේ සහෝදරියගේ පුතා වන ජීවිතක්ෂයට පත් වූ යුද හමුදා සෙබළා සමඟ, එම සිසුවා සංගීත ප්‍රසංගය නැරඹීමට ගොස් තිබූ අතර, ඥාතීහු පැවසුවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට ධනුක දැන් සිටම සූදානම්ව සිටි බවය.

අපේ දරුවෝ…. කවුදෝ අරන් ගියේ…
අනතුරින් මියගිය චමිදු පියුමාල්
අපේ දරුවෝ…. කවුදෝ අරන් ගියේ…
අනතුරින් මියගිය ධනුක නිම්සර සිසුවා
අපේ දරුවෝ…. කවුදෝ අරන් ගියේ…
අනතුරින් මියගිය ධනංජය දිමුතු සිරිවර්ධන

ජීවිතක්ෂයට පත්ව ඇති මෙම සෙබළාගේ සහ දාහතර හැවිරිදි සිසුවාගේ දෙමව්පියන් ගොවිතැන් කටයුතු කරමින් ජීවිතය ගැට ගසා ගන්නා අයවලුන් බවද එම ප්‍රදේශයේ අප කළ සංචාරයකදී දක්නට ලැබිණි.

සිදුවූ මෙම මාරක රිය අනතුරින් පසු පිහිඹියගොල්ලෑව, තඹලගොල්ලෑව, රත්මල්ගහ වැව, රඹෑව යන ප්‍රදේශ එකම මළගමකි. සිදුවූ දේ සිතා ගැනීමට නොහැකිව ගම්වාසීහු සියලු දෙනා තැන තැන දැඩි ශෝකයට පත්ව සිටිති.

අපේ දරුවෝ…. කවුදෝ අරන් ගියේ…

පෙරේදා 9දා අලුයම මෙම පිරිස අනතුරට ලක් කරමින් නොනවත්වා අධික වේගයෙන් පලා ගිය රථය සොයා වහා විමර්ශනයක් ආරම්භ කළ පොලිසිය පැය කිහිපයක් යෑමට මත්තෙන් එම රථය සොයා ගනු ලැබීය.

ඒ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතාගේ උපදෙස් මත සියලු පොලිස් ස්ථාන වෙත රථය සෙවීම සඳහා පොලිස් පණිවිඩ නිකුත් කෙරුණු අතර, අනුරාධපුර රථ වාහන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේනක ප්‍රසන්න මකුන්දෑගම ඇතුළු කණ්ඩායමක් විමර්ශනයක් සිදුකර අනුරාධපුර යාපනය හන්දිය පුළියන්කුලම රේල් ගේට්ටු ආසන්නයේ ගරාජයක සඟවා තිබියදී රියැදුරා ඇතුළු සැකකරුවන් දෙදෙනකු සමග මෙම කැබ් රථය අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

අත්අඩංගුවට ගත් බොලෙරෝ වර්ගයේ කැබ්රථයේ රියැදුරා වත්තේගම, වෑවෙන්න ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම සැකකරුට වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබූ බවද පොලිසිය සඳහන් කළේය.

අනෙක් සැකකරු නුවර වැව වත්ත යාපනය හන්දිය පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු වන අතර මිහින්තලේ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 18 හැවිරිදි අනෙක් සැකකරු කන්නට්ටිය, සමගි මාවතේ පදිංචිකරුවෙකි.

වයස අවුරුදු විස්සට අඩු තරුණයන් වන මෙම සැකකරුවන් පිරිසද එම සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා කැබ් රථය රැගෙන අනුරාධපුර සිට රඹෑව නගරයට ගොස් ප්‍රසංගය නිමවී නැවත පැමිණීමේදී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදු වනවාත් සමග උඩින් විසි වී කැබ් රථයේ ඉදිරිපස වීදුරුව කඩා ගෙන වැටුණු තුවාලකරුවෙකු සැකකරුවන් විසින් මීටර් කිහිපයක් පමණ දුරට රැගෙන ගොස්, බිම දමා ගොස් ඇති බව ඥාතියකු මෙහිදී මාධ්‍ය වෙත පැවසීය.

අනතුර සිදු වීමෙන් පසු පොලිසියට හසු වේ යැයි බියෙන් සැකකරුවන් පිරිස අතුරු මාර්ග සොයමින් ගොස් කැබ් රථය ධාවනය කර ඇති අතර, එහිදී මාර්ග කීපයක් වැරදී ගොස් තෙප්පංකුලම, තණ්නායම්කුලම වැනි ප්‍රදේශ හරහා ගොස් යළි යාපනය හන්දියට පැමිණ අලුයම කැබ් රථයේ සැඟවූ බව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.

සංගීත ප්‍රසංගය නැරඹීමට යෑමට පෙර තම පිරිස මත්පැන් පානය කළ බව රියැදුරා ඇතුළු සැකකරුවන් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී තිබූ අතර එහෙත් වෛද්‍ය වාර්තාවේදී එය අනාවරණය නොවීය.

අපේ දරුවෝ…. කවුදෝ අරන් ගියේ…
සංගීත ප්‍රසංගයේදී ගත් අවසන් සෙල්ෆි ඡායාරූපයක්

මෙම අනතුර, මිහින්තලය පොලිස් වසමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් තිදෙනා මිහින්තලේ පොලිසිය වෙත භාර දීමට නියමිතව සිටියහ.

මියගිය තිදෙනාගේ දේහයන් පෙරේදා 9දා පස්වරුව වන විටත් රඹෑව ග්‍රාමීය රෝහලේ තැන්පත් කර තිබූ අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යෑමට නියමිතව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය සහ පාසල් සිසුවිය රඹෑව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියහ.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ, සහකාර පොලිස් අධිකාරී (3) ඒ. ආර්. ඩබ්ලිව්. එස්. එස්. එන්. පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති සේනක ප්‍රසන්න මකුණ්දෑගම, උප පොලිස් පරීක්ෂකවරුන් වන පාලිත නිශ්ශංක, හැරල්, පොලිස් සැරයන්වරුන් වන කරුණාරත්න (60659), ඩබ්ලිව්. ඩී. එම්. විජේකෝන් (68776) යන නිලධාරීහු කැබ් රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර මිහින්තලේ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල් වරුන් වන ගුණරත්න (70694), ජයසූරිය (86204) යන නිලධාරීහු මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතු, අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, රඹෑව – දිසානායක, තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment