අහුවෙන්න එපා…අන්තර්ජාලයෙත් යතුරුපැදි හොරු

626

තරුණයා අන්දා ලක්‍ෂ තුනකට විදලා

අන්තර් ජාලයේ පළවූ දැන්වීමකට අනුව යතුරු පැදියක් මිලදී ගැනීමට නිට්ටඹුව සිට පොළොන්නරුවට ගිය තරුණයකු සතුවූ රුපියල් දෙලක්ෂ හැත්තෑ පන් දහසක මුදල දැන්වීම පළකළ බවට සැකකරන තරුණයන් දෙදෙනකු විසින් ගිරිතලේ ප්‍රදේශයේ දී පෙරේදා (16 දා) වංචා සහගතව ලබාගෙන පලාගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

නිට්ටඹුව පදිංචි තරුණයා දැන්වීම්කරුවන් කී පරිදි යතුරුපැදිය මිලදී ගැනීමට මුදල්ද රැගෙන පොළොන්නරුව නගරයට පෙරේදා (16 දා) දහවල් ගොස් ඒ බව පවසා දුරකථන ඇමතුමක් දී ඇත. යතුරුපැදිය විකිණීමට සැදූ තරුණයා තමන් දැන් සිටින්නේ ගිරිතලේ ප්‍රදේශයේ බව පවසා එම ස්ථානයට තරුණයා ගෙන්වා ගෙන ඇත.

එහිදී නිට්ටඹුවේ තරුණයාට තරුණයන් දෙදෙනකු මුණගැසී ඇති අතර එක් තරුණයකු යතුරුපැදිය දැනට උකස් තබා ඇති බවත්, උකස්කරු පදිංචිව සිටින්නේ ඒ ආසන්නයේ බවත් පවසා එය බේරාගෙන ඒමට මුදල් දෙන ලෙස ඉල්ලා අදාළ මුදල ඉල්ලා ගෙන ඇත. මුදල් ලබාගත් පුද්ගලයා ඔහු සමග පැමිණි අනෙක් තරුණයා නිට්ටඹුවේ තරුණයා ළඟ නවත්වා මුදල්ද රැගෙන ඉදිරිපස නිවස දෙසට ගොස් ඇත. ස්වල්ප වේලාවකින් පොළොන්නරුව සිට පැමිණි අනෙක් තරුණයා ද බුලත් විටක් ගෙන ඒමට යැයි පවසා යාබද කඩයකට යන මුවාවෙන් ගොස් ඇත. ටික වේලාවකින් තරුණයන් දෙදෙනාම අතුරුදන්ව ඇති බව වටහාගත් නිට්ටඹුවේ තරුණයා පෙරේදා (16) සවස මින්නේරිය පොලිසියට සිද්ධිය පවසා ඇත. මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුමනවීර මහතාගේ උපදෙස් මත මින්නේරිය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික, උ.පො.ප. නිලවීර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment