ආනයන තහනම ඉවත් කළත් නිමි පාවහන් ගෙන්වනු එපා

189

දේශීය පාවහන් නිෂ්පාදකයෝ හඬ නගති

රජය ආනයන සීමා ඉවත් කිරීමේදී නිමි සපත්තු ආනයනයට දැඩි සීමාවන් පනවා අමුද්‍රව්‍ය ආනනය කිරීමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (16 දා) ඉල්ලීමක් කළේය.

දැනට රට තුළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පාසල් ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පාවහන්වල අතිරික්තයක් පවතින නිසා මෙම ඉල්ලීම සිදුකරන බව එම සංගමයේ උප සභාපති නෙවිල් පෙරේරා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

මෙරට පාවහන් කර්මාන්තය දියුණු කිරීම සඳහා තම සංගමයේ සාමාජිකයන් 24 දෙනකු පසුගියදා චීනයේ සංචාරය කළ බවත් එහිදී ඔවුන් මෙරට පාවහන් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා තාක්‍ෂණය සහ අමුද්‍රව්‍ය සැපයීමට එකඟතාවයකට පැමිණි බවත් ඒ අනුව ඇණවුම් කිහිපයක් ඔවුන්ට ලබාදුන් බවත් ඒ මහතා කීය.

මේ ආකාරයෙන් ජූලි 26, 27, 28, 29 දිනවල ඉන්දියාවේ ද සංචාරයක නිරත වන බවත් එහිදී ද ඔවුන් මෙරටේ පාවහන් කර්මාන්තය දියුණු කිරීමට තාක්‍ෂණික සහ අමුද්‍රව්‍ය ලබාදීමට එකඟතාවයකට එළඹෙනු ඇති බවත් ඔහු පැවැසීය.

මෙරට නිපදවිය නොහැකි අමුද්‍රව්‍ය පමණක් විදෙස් රටවලින් ගෙන්වන බවත් ඒවා සඳහා රජය බදු සහන ලබාදෙන්නේ නම් යම් අඩු මිලකට පාවහන් ලබාදිය හැකි බවත් ඔහු කීය.

සාසා පාවහන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ද වන නෙවිල් පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මේ ක්‍ෂේත්‍රය තුළින් සෘජු හා වක්‍ර රැකියාවල නිරත වන පිරිස ලක්‍ෂ පහක් පමණ වෙනවා. මේ වනවිට රටේ ඇඟලුම් ක්‍ෂේත්‍රයේ අයට

රැකියා අහිමිවෙමින් තිබෙනවා. අපිට අමුද්‍රව්‍ය ගෙනත් මෙරට පාවහන් නිෂ්පාදනය කිරීමට වැඩි අවස්ථාවක් ලබාදුනහොත් රැකියා අහිමිවන ඇඟලුම් ක්‍ෂේත්‍රයේ යම් පිරිසකටත් රැකියා ලබාදීමට අපේක්‍ෂා කරනවා.

එළවළු, පලතුරු, රස කැවිලි, කිරි ඇතුළු ආහාර කිහිපයක් ආනයනය කිරීමට මේ වසරේ මුල් මාස පහ තුළ රුපියල් කෝටි 41,000 කට වඩා වැයකර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇත්තටම රටට අවශ්‍ය දේවල් ද ආනයනය කරල තියෙන්නේ කියල බලධාරීන් බලන්න ඕන.

රටේ ඩොලර් ප්‍රශ්නය සමථයකට පත්ව තිබුණත් ආනයන සීමාවන් ලිහිල් කළාම නැවත රටේ ඩොලර් අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ආනයන සීමා ලිහිල් කරන විට විශේෂයෙන් නිමි සපත්තු වැනි දේවල් ආනයනයට සීමාවන් පනවන්න කියා අපි ඉල්ලා සිටිනවා. එසේ නොකළොත් පසුගියදා මෙරට කර්මාන්ත දියුණු කරන්න රුපියල් මිලියන 200 ක් වැනි මුදලක් වැයකර බණ්ඩාරනායක සම්මත්‍රණ ශාලාවේ පැවැත්වූ ප්‍රදර්ශනයට වැයකළ මුදලුත් අපතේ යෑමක්. මෙහිදී තවත් කිහිපදෙනක් ද අදහස් දැක්වූහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment