ආයෝජකයකු මෙහි ගෙන ආ ‘ඇස්ටන් 2’ මෝදර මුහුදේ ගිලෙයි!

965

වතුර කාන්දුවෙයි විදුලියත් කැපෙයි
කාර්ය මණ්ඩලය පිහිට යදී

ශ්‍රී ලංකා මුහුද ආශ්‍රිත ධීවර කටයුතුවල යෙදීම සඳහා විදෙස් ආයෝජකයකු විසින් රුපියල් කෝටි 52 ක් පමණ වැයකර රැගෙන එන ලද ඇස්ටන් 02 (Astan 2) නම් නෞකාව වසර තුනහමාරකට අධික කාලයක් මෝදරවරායේ නැංගුරම්ලා තැබීමට සිදුවීම නිසා නැවට ජලය කාන්දු වී මුහුදුබත්වීමේ අවදානමක් ඇතැයි නැවේ කාර්ය මණ්ඩලය දැනුම් දී ඇත.
2019 මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි මෙම නෞකාව 2020 පෙබරවාරි මාසයේදී ලියාපදිංචි කර මෝදර වරායේ නැංගුරම්ලා තිබේ.

වසර තුනහමාරකට වැඩි කාලයක් මෙසේ මෝදර වරායේ නවතා තිබෙන කාලයේදී නැවේ විදුලි ජනන යන්ත්‍ර දෙක භාවිත කර විදුලිය සපයා ගැනීම සිදුකළත් එම යන්ත්‍ර දෙක ද මේ වනවිට ක්‍රියා විරහිත වී ඇත. ඒ නිසා මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග නැවේ ජලය එක්රැස් වන බවත් එම ජලය ඉවත්කිරීමට (පොම්ප කිරීමට) නොහැකි බවත් නැවේ කාර්ය මණ්ඩලය දැනුම් දී තිබේ. මෙම තත්ත්වය මත ඔවුන්ටද තවදුරටත් නැව තුළ රැඳී සිට රැය පහන් කළ නොහැකි අවධානමක් පවතින බවත් එම නිසා නැවෙන් ඉවත්වන බවත් ඔවුන් ආයෝජකයාට දැනුම් දී තිබේ.

කිසිදු රටක ලියාපදිංචි නොකළ නැවක නමක් මෙම නැවට සම්බන්ධ කර ව්‍යාජ ලේඛන සකස් කර තෙවැනි පාර්ශ්වයක් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑම නිසා නැව එක තැන නතර කර තැබීමට සිදුව ඇත. ව්‍යාජ ලේඛන සකස් කර නැව අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවට ආයෝජකයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට ද පැමිණිලි කර තිබේ.

අලුත්වැඩියා කටයුතු සිදු නොකරන නැව එකම ස්ථානයේ රඳවා තැබීම නිසා එහි කොටස් දිරායෑමට ලක්ව ජලය නැව තුළට කාන්දු වන බවට නිරීක්‍ෂණය වී තිබේ.

සාමාන්‍යයෙන් නැවක් වරායකට පැමිණි පසු ජාතික පද්ධතියෙන් විදුලිය ලබාදීම සිදුකරන අතර එයට සාමාන්‍ය මිලට වඩා වැඩි මුදලක් නැව් හිමියන් විසින් සේවා සපයන ආයතනයට ගෙවනු ලබයි. මෙම නැවට ද එවැනි සැපයුමක් ලබාදෙන ලෙස ආයෝජකයා විසින් ඉල්ලා ඇතත් එය මෙතෙක් ඉටුවී නොමැත.

මෙම නැව මෙපමන කාලයක් මෝදර වරායේ නැංගුරම්ලා තිබීම සම්බන්ධයෙන් ආයෝජකයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අභිමානි රන්දෙණිය මහත්මියගෙන් දිවයින කළ විමසීමේදී ඇය කියාසිටියේ අධිකරණයේ නඩුව පවරා වසර දෙකකට වැඩි කාලක් ගතවී ඇතත් එය මෙතෙක් විභාගයට නොගත් බයයි. තවද විශාල වටිනාකමක් ඇති නැව නඩුව අසා අවසන් කරන තුරු අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවක මෙලෙස නඩු ඇසීමට ප්‍රමාදවීම නිසා මුහුදේ එකතැන තිබෙන නැව දිරාපත්වීම සිදුවන බව ද ඇය කීවාය. (අලුත්වැඩියා සිදුනොවන නිසා).

නැව සම්බන්ධයෙන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ද දැනුවත් කිරීමෙන් පසු ඇමැතිවරයා ද නැව නිරීක්‍ෂණය කර නැවට විදුලිය සපයාදීම සඳහා නිර්දේශ කර ඇතත් එයද මෙතෙක් ඉටුවී නොමැත.

මේ ආකාරයෙන් නැව තවදුරටත් තබා ගැනීම සිදුවුවහොත් නැව දිරාපත්වී මුහුදුබත් වීමට ඉඩ ඇතැයි සැකයක් මතුවී තිබෙන අතර එය වළක්වා ගැනීමට මැදිහත් වන ලෙස ද නැවෙහි කාර්ය මණ්ඩලය ඉල්ලා සිටිති. මෙම නැවේ හිමිකාරත්වය දරන බව කියන සමාගම තවත් නැව් 03 ක් මෙරටට ගෙන්වා ධීවර කටයුතුවල යෙදීමට අදහස් කරගෙන ඇතත් මෙම තත්ත්වය නිසා එය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.

වෙළෙඳ නැව්ගත කිරීම් අධ්‍යක්‍ෂ අජිත් සෙනවිරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම නැවේ අලුත්වැඩියා කටයුතු සිදුකරන ලෙස නැව අයත් බව කියන ආයෝජකයාට දැනුම් දී තිබෙන බවය. මෙම නැවට මෙම තත්ත්වය උදාවී ඇත්තේ අධිකරණයේ නඩුවක් පවතින නිසා බවත් එය සමතයකට පත්වන තෙක් රඳවා තබා ගන්නා ලෙස ලැබී තිබෙන නියෝග අනුව කටයුතු කරන බවත්ය. නැවේ අලුත්වැඩියා කටයුතු සිදුකරන ලෙස එහි සිටින කාර්ය මණ්ඩලයට අවසරයක් ලබාදුන් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment