ආරක්ෂක අංශ ඇස් වසා කුඩු තොග මුහුදේ ගිල්වා ෂාටා පනියි

1076

විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෙරොයින් තොග පිටින් මෙරට බෙදන, ගබඩා කරන රටක සාපයක් වූ ෂාටා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම්

උදයංග ලක්මාල් වැලිගම කඬේවත්ත කෝවිල්කන්ද ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 32 කි. පාසල් කාලයේ සිටම ඔහු දඩබ්බර පුද්ගලයෙකු විය. එම නිසා හරිහමන් අධ්‍යාපනයක් පවා ලබා ගැනීමට ඔහුට නොහැකි විය.

පාසල් අධ්‍යාපනය හමාර කළ මොහු මිතුරන් සමග වැල්ලේ රස්තියාදු ගැසීමට පටන් ගත්තේය. ඒ කාලය අතරතුර මත්පැන් පානයට සහ මත්ද්‍රව්‍ය භාවිතයටද ඔහු පුරුදු විය. නිතරම වැල්ලේ රස්තියාදු ගසන නිසා ෂාටා යන අන්වර්ථ නාමයක් ඔහුට පටබැඳුණි.

වැල්ලේ රස්තියාදු ගසන අතරතුර ෂාටා සංචාරක මග පෙන්වන්නකු වශයෙන්ද කටයුතු කළේය. එම කාලය අතරතුර ඔහුට විවිධ ගණයේ පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබුණි. ඒ අතර පාතාල සාමාජිකයන් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද සිටියහ. කුඩා කල සිට රස්තියාදු ගැසීමට පුරුදු වී සිටි ෂාටා එම පුද්ගලයින්ව ඇසුරු කළේ රටක් රාජ්‍යයක් දිනූ පුද්ගලයකු මෙන්ය. ඒ සමගම ඔහුට පොඩි පාතාල උණක්ද වැළඳුණි.

දිනක් ෂාටා ඔහු හඳුනන පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග මෙලෙස කතාබස් කළහ.

”අයියෙ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ ජීවිතය.”

”ඇයි ෂාටා මල්ලි.”

”මේ ගයිඞ් වැඬේ හරියන්නේ නැහැ. දැන් සුද්දොත් නැහැ වැල්ලේ.”

”ඒක නම් ඇත්ත තමයි.”

”ඔව් අයියේ හතේ හත වැදිලා ඉන්නේ. හරියට කන්න බොන්න විදිහකුත් නැහැ. බැරි ද පොඩි ජොබ් එකක් සෙට් කරලා දෙන්න.”

”උඹ දන්නවානේ අපි කරන ජොබ්වල හැටි. උඹට ඒවා කරන්න බැහැනේ.”

”ඇයි බැරි දැන්නම් ඕනම දේකට මම රෙඩි.”

”එහෙම කැමති නම් මම අපේ ලොක්කට උඹ ගැන කියලා බලන්නම්.”

”අනේ කියන්නකො අයියේ.”

”මට දවස් දෙක තුනක් දෙන්න. මම හෙමිහිට ලොක්කට උඹ ගැන කියන්නම්.”

”හරි අයියේ මං බලාගෙන ඉන්නවා. ඕනම දෙයකට මම රෙඩි. දන්නවනේ මරාගෙන මැරෙන්න හරි මම ඉන්නවා.”

”කලබල නොවී හිටපන් මම උඹට හොඳ වැඩක් සෙට් කරන්නම් අපේ ලොක්කට කියලා.”

දින කිහිපයක් ගත විය. ෂාටාට එම මිතුරාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. එහිදී ඔහු දිනයක් පවසා එදිනට තම නායකයා මුණගැසීමට සූදානම්ව සිටින ලෙස පැවසුවේය.

නියමිත දිනය උදා විය. ෂාටාව එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ළඟට රැගෙන ගියේය. එලෙස ගිය ෂාටා එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග මත්පැන් පානය කරමින් බොහෝ දෑ කථා කළේය. අවසානය එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ෂාටා තම කණ්ඩායමට එකතු කරගත්තේය.

ආරක්ෂක අංශ ඇස් වසා කුඩු තොග මුහුදේ ගිල්වා ෂාටා පනියි

එදින සිට ෂාටා එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නීතිවිරෝධී ක‍්‍රියාකාරකම්වලට උදව් කළේය. කලක් යද්දී ඔහු එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සුවච කීකරු ගෝලයෙක් විය. ඔහුගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප‍්‍රධාන පුද්ගලයා බවට පත් වූයේ මොහුය. එමෙන්ම ෂාටා ඔහු හරහා විශාල මුදලක් උපයා ගත්තේය.

ෂාටාගේ ප‍්‍රධාන කාර්යය වූයේ විදෙස් රටවලින් එවන හෙරොයින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී හොර රහසේ ලබාගෙන මෙරට ගෙන ඒමයි. කලක් යද්දී විදෙස් රටවල සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එකතු වී ඔහු මෙම ක‍්‍රියාව අඛණ්ඩව සිදු කරගෙන ගියේය. කලක් යද්දී මෙරට හෙරොයින් ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ හොඳම පුද්ගලයා බවට මොහු පත්විය. එමනිසා විදෙස්ගතව සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් විශාල ඉල්ලූමක් මොහුට තිබුණි.

ඩුබායි රාජ්‍යයේ සිටින ”නඳුන් චින්තක වික‍්‍රමරත්න” නොහොත් ”හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව ද මොහු දැන හඳුන ගන්නේද එම මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා ය. මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට පත්ව සිටින හරක් කටා නමැත්තා මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් රුපියල් කෝටි ගණන් වටිනා හෙරොයින් තොගපිටින් මෙරටට එවන බව මත්ද්‍රව්‍ය නාශක අංශය කියා සිටියි. එයට අමතරව ඔහු පාතාල කණ්ඩායම් ද සමඟ සම්බන්ධ වී විවිධ අපරාධ සිදු කරයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව ඇති මත්ද්‍රව්‍ය චෝදනා සියල්ල සහ අනෙක් අපරාධ ද එක්රැස් කර ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ලබාගෙන මොහුව ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කටයුතු කරමින් සිටියි. එම ජාවාරම්කරුගේ හෙරොයින් තොග පිටින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරටට සුරක්ෂිතව ගෙන එන්නේද ෂාටා සහ ඔහුගේ ගෝලබාලයන් විසින්ය. ඒ වෙනුවෙන් හරක් කටා මොහුට අත දිග හැර මුදල් වියදම් කරයි.

පසුගිය දිනක හරක් කටාගෙන් ෂාටාට පණිවිඩයක් ලැබුණි. ඒ හෙරොයින් කිලෝ 125ක් මෙරටට එවන බවයි. පකිස්ථානයේ සිට එවන එම හෙරොයින් දකුණු මුහුදු සීමාව ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ලබා ගන්නා ලෙස ඔහුට උපදෙස් ලැබුණි. ඒම හෙරොයින් තොගය රැගත් යාත‍්‍රාව පැමිණෙන දිනය සහ වේලාව ද ඔහුට ලබා දුන්නේය.

කලක සිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ෂාටා ගැන ඇස ගසා ගෙන සිටියේය. ඒ ඔහු මෙරට හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු නිසාය. හරිහමන් සාක්ෂි නොමැති නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට ඔවුනට නොහැකි විය. එහෙත් එම නිලධාරීහු කොයි මොහොතක හෝ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු එක්රැස් කර ගනිමින් සිටියහ.

ඒ කිසිවක් නොදත් ෂාටා සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සහ ගබඩා කිරීමේ කාර්ය කිසිදු බයක් සැකක් නොමැතිව සිදු කරගෙන
ගියේය. හරක් කටාගෙන් ලැබුණු පණිවිඩයෙන් පසු ෂාටා තම ගෝලයින් කිහිපදෙනෙකුට මෙලෙස පැවසුවේය.

”අපේ බොස්ගෙ බඩු වගයක් ළඟදීම එනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවෙන් දකුණු මුහුදට වෙන්න තමයි ගන්න ඕනා. ඒ සේරම විස්තර මගේ ළඟ තියෙනවා. අපි ට්‍රෝලර් එකකින් ගිහිල්ලා වැඬේ කරමු. මේ බඩු ටික ගේන්න ඕනා කිරින්දට. එතනින් පස්සෙ වෙන්න ඕන දේ අපිට එච්චර අදාළ නැහැ.”

”අනිද්දා අපි පිටත් වෙන්න ඕනා. කට්ටියම රෙඩි වෙලා ඉන්න. හැබැයි තව එකක් මේ නිව්ස් එක පිට කවුරුත් දැන ගන්න බැහැ. එහෙම වුණොත් දන්නවනේ ලොක්කගෙ හැටි. අනිත් අය වගේ නෙවෙයි. පොඞ්ඩක් හරි සැක හිතුනොත් දන්නවනේ කරන දේ. හොඳට හොඳයි නරකට නරකයි. බොස්ට විරුද්ධ ගිහින් සන්සයින් සුද්දටත් වුණ දේ දන්නවනේ.”

ෂාටා තම ගෝලයින්ට එලෙස පවසද්දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට වැදගත් තොරතුරක් ලැබුණි. ඒ කිරින්ද ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් මහා පරිමාණයේ හෙරොයින් තොගයක් මිලදී ගැනීමට සිටින බවයි. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ එම නිලධාරීහු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. එහිදී ඔවුන්ගෙන් අනාවරණය වූයේ එම හෙරොයින් තොගය ෂාටා විසින් මහ මුහුදේ සිට රැගෙන විත් එම සැකකරුවන්ට ලබා දීමට නියමිත බවයි.

සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ෂාටා හෙරොයින් තොගය සමගම අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීහු සැලසුම් සකස් කළහ. ඒ අනුව නාවික හමුදාව දැනුවත් කර සියලූ විස්තර ඔවුන්ට ලබාදී මත්කුඩු රැගත් ට්‍රෝලර් යාත‍්‍රාව සමග එහි ප‍්‍රධාන සැකකරු වන ෂාටා අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දුන්නේය. ලද තොරතුරට අනුව නාවික හමුදාවේ ප‍්‍රහාරක යාත‍්‍රා එම හෙරොයින් රැගෙන එන ට්‍රෝලරය අත්අඩංගුවට ගැනීම සඳහා පිටත් විය.

නාවික හමුදාව එසේ ළං වන විට ෂාටා එම හෙරොයින් තොගය ගැඹුරු මුහුදට විසි කර තිබුණි. හෙරොයින් තොගය සමඟ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා නිලධාරීන් පැමිණෙන බව ඔහු කෙසේ දැනගත්තාද යන්න පිළිබඳව පවතින්නේ විශාල ගැටලූවකි. ඒ පිළිබඳව සැකකරුට කෙසේ තොරතුරු ලැබුණාද යන්න පිළිබඳව තවම පරීක්ෂණ සිදුකරමින් පවතී. හෙරොයින් තොගය මහමුහුදට දැමූ ෂාටා ඉතා සූක්ෂම ලෙස අතුරුදන් විය.

ෂාටාගේ අතුරුදන් වීමත් සමග තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය. එහිදී දැනගන්නට ලැබී ඇත්තේ වසර කිහිපයක සිට මෙරටට රැගෙන පැමිණි මත්කුඩු කිලෝ සිය ගණනක් ගබඩා කර බෙදා හැර ඇත්තේ මෙම ෂාටා නොහොත් උදයංග ලක්මාල් නමැති සැකකරු බවයි.

එලෙස බැලීමේදී එම නිලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ විදේශ රටවල ජීවත්වන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හෙරොයින් මුහුද මැද දී තොග පිටින් රැගෙන මෙරට ගබඩා කිරීමේ සහ බෙදාහැරීමේ නිරතව සිටින මහා මොළකරුවන්නේ මොහු බවයි. එම නිසා දැනට සැඟවී සිටින මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. ෂාටා නොහොත් උදයංග ලක්මාල් නමැති සැකකරු ගැන යම් තොරතුරක් දන්නේ නම් 071 8592727, 0112343333, 0112343334 යන අංකයන්ට දන්වන්න ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර නිවැරදි තොරතුරු සපයන්නන්ට මුදල් ත්‍යාග ලබාදීමට ද ඔවුන් සූදානමින් සිටී. මෙම සැකකරු ගැන යම්කිසි තොරතුරක් දන්නේ නම් ඉහත අංකවලට දන්වන මෙන් අපි ද ඔබගෙන් ඉල්ලා සිටිමු. ඒ මන්ද යත් මෙවැනි පුද්ගලයන් රටට විශාල පිළිලයක් වන බැවිනි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment