ඉතිං බදු ගැහුව තව මදිද?

2171

සාමාන්‍ය ජනයා මත තවත් බදු බර පැටවෙයි ද ?

පාර්ලිමේන්තු කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කරන්න මුදල් අමාත්‍යාංශයට සති දෙකක්

අපගේ විදේශ සංචිත ප්‍රමාණය, විදේශ ණය ගෙවීමට ප්‍රමාණවත් නොවන මට්ටමට පහත වැටීම නිසා ගිය වසරේ (2022) අප්‍රේල් 12 වැනිදා අප විසින් අපගේ විදේශ ණය ගෙවීම අත්හිටුවන ලදී. එමගින් අප විසින් රටක් වශයෙන් අපගේ බංකොලොත් බව ලෝකයටම ප්‍රකාශ කර ඇත. ඒ වන විටත් අප විසින් අපගේ ආර්ථික හා විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා තිබුණු අතර ඒ සඳහා පැවති බාධකය වූයේ ඒ වන විට අපගේ ණය තිරසාරත්වය (ණය ගෙවීමේ හැකියාව) නොමැති තත්ත්වයකට රට පත්ව තිබීමයි. මේ නිසා අයිඑම්එෆ් මූල්‍ය පහසුකමක් අනුමත කර ගැනීම සඳහා අපගේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරමින් ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අප විසින් ඇති කරගත යුතු විය. ඒ සඳහා අප විසින් පියවර ගනිමින් අපගේ විදේශ ණය හිමියන් වෙතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සමත් වීම නිසා මේ වසරේ (2023) මාර්තු 20 දින ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලදී. දැන් අප සිටින්නේ එම වැඩසටහන යටතේ වන කොන්දේසි ඉටු කරමින් ණය වාරික මුදල් ලබන අදියරේය. එහෙත් අපගේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අයිඑම්එෆ් සහාය ලබා ගැනීමට අමතරව අප විසින් කළ යුතු තවත් බොහෝ දේවල් තිබේ. ඒ දේවල් කරනවාද යන ප්‍රශ්නය මේ වන විට බරපතළ ලෙස අපට මතුව තිබේ.

ඉතිං බදු ගැහුව තව මදිද?

මේ පසුබිම තුළ අප විසින් මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම මේ ආර්ථික අර්බුදයේ අහිතකර බලපෑම් සමනය කරගත යුතු ද වේ. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගෙන එම අරමුදල සමග එකඟ වී ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටී. ඒවා ඉලක්ක කළ පරිදි නොකළොත් වන්නේ එම අරමුදල විසින් අපට ලබාදෙන වාරික නොලැබෙන තත්ත්වයක් උද්ගත වීමයි. මේ වන විට අපට අයිඑම්එෆ් දෙවන ණය වාරිකය ලැබීම ප්‍රමාද වී ඇත්තේ ද එම අයිඑම්එෆ් කොන්දේසි ක්‍රියාත්මක කිරීමේ පවතින ප්‍රමාදයන් නිසාය. මේ සම්බන්ධයෙන් එම අරමුදල විසින් නිකුත් කර ඇති නිල මාධ්‍ය ප්‍රකාශයේ කරුණු සඳහන් වේ. එහි සඳහන් වන ප්‍රධාන කරුණක් වන්නේ ණය වැඩසටහනේ සියලුම පූර්ව ක්‍රියාමාර්ග අප විසින් ක්‍රියාවට නැංවිය යුතු වීමයි. එහිදී බදු ආදායම වර්ධනය කර ගැනීමට අදාළ දර්ශක ඉලක්ක අපට සපුරා ලීමට නොහැකිව ඇත. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අප විසින් තවදුරටත් ප්‍රගතියක් ඇතිකරගත යුතු වේ. මේ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 19 වැනිදා මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් නිකුත් කළ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

“ආර්ථිකය තිරසාරව යථා තත්ත්වයට පත්කිරීම මෙහෙයවීම සඳහා මෙන්ම ස්ථාවර හා සහභාගිත්ව ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ නැඹුරුතාව දිගටම පවත්වා ගැනීම අතිශය වැදගත් වේ. අවශ්‍ය බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් බැහැර කිරීම සඳහා සක්‍රීයව කටයුතු කිරීම මගින් වඩා හොඳ පාලනයක් ඇති කරන බවට සංඥා ලබා දීමටත් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමටත් බලධාරීන්ගේ ඇති කැපවීම අපි අගය කරමු. ඉන්ධන සහ විදුලි මිල ගණන් පිරිවැය ප්‍රතිසාධන මට්ටමක පවත්වා ගැනීම රජය සතු ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කිරීමට උපකාරී වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය තවදුරටත් ශක්තිමත් කිරීම ඉතා වැදගත් වේ. අපේක්ෂා කළ තත්ත්වයට වඩා වැඩි වේගයකින් උද්ධමනය අඩු වී ඇති අතර, උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට සහ සාර්ව ආර්ථික ස්ථායීතාවට සහාය වීම සඳහා ඒ පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කිරීම අවශ්‍ය වේ. විදේශ අංශයේ අවිනිශ්චිතතා දිගින් දිගට ම පවතින පසුබිමක, වේගවත්ව සංචිත රැස් කිරීම හරහා බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැගීම වැදගත් වේ.”

මෙහි කියන ප්‍රධාන කරුණක් වන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම අප විසින් ක්‍රියාත්මක කළ යුතු බවත් එහිදී අවශ්‍ය බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ බදු පැහැර හැරීම් බැහැර කිරීම මගින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමටත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවයි. අයිඑම්එෆ් එක කීවත් නැතත් මේ අඩුපාඩු සහ අකාර්යක්ෂමතා අප විසින් නිවැරදි කරගත යුතු වේ. පසුගිය කාලයේ අපගේ බදු ආදායම විශාල වශයෙන් පහත වැටී ඇති බව අපි කවුරුත් දන්නා කාරණයකි. ඒ නිසා රජයේ වියදම් දැරීමට රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීම නිසා සිදු වී ඇත්තේ විශාල අයවැය හිඟයන් නිර්මාණය වීම මගින් දිගින් දිගටම රාජ්‍ය ණය වර්ධනය වීමයි. එය රට බංකොලොත් වීමට ද ප්‍රමුඛ හේතුවක් වී ඇත.

මේ කියන බදු ආදායම් රැස් කිරීමේ දුර්වලතා ගැන පසුගිය ඔක්තෝබර් 03 දින මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් සහ එම කාරක සභාවේ සභාපති ගාමිණී වලේබොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වුණු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ද අවධානය යොමුව ඇත. මෙම පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ තීරණ එම කාරක සභාවේ ලේකම්වරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ද දැනුම් දී ඇත. ඒ අනුව එම කාරක සභාවට නිරීක්ෂණය වී ඇති මූලික කරුණු කිහිපයක් ගැන එම කාරක සභාව විසින් 2023.10.12 වැනිදා යවන ලිපියක් මගින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත. එම මූලික නිරීක්ෂණ මෙසේය.

  1. 2023 වර්ෂයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කළ යුතු බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 1667න් මේ වන විට රැස්කර ඇත්තේ රුපියල් බිලියන 1138ක් එනම් සියයට 68 ක් වන අතර, බිලියන 529ක් එනම් සියයට 32 ක් රැස්කළ යුතුව පවතින බව.
  2. හිඟ බදු ලෙස රුපියල් බිලියන 904ක් ඉක්මවූ ප්‍රමාණයක් ද රැස්කර ගත යුතුව පවතිද්දී ඉහත රුපියල් බිලියන 529 වන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වන පිළිගත හැකි කාර්යක්ෂම සුදුසු වැඩපිළිවළක් ආයතනය විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම. ආසන්න තක්සේරු වර්ෂ 5 තුළ ඕනෑම බදු වර්ගයක් සඳහා වන වාර්තා පිළිබඳ බදු අනුකූලතාව (Return Compliance) සියයට 50 කට වඩා පහළ අගයක් පවතින බව.
  3. පාර්ලිමේන්තුව විසින් අනුමත කළ විස්තීර්ණ අරමුදල් සපයා ගැනීමේ ගිවිසුම් ප්‍රකාරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඔබ අමාත්‍යාංශය විසින් ලබා දුන් ඉලක්ක, වැඩසටහන්, නිර්දේශ, ක්‍රියාත්මක කිරීම සඳහා පිළිගත හැකි ප්‍රමාණවත් ප්‍රවේශයන් ආයතනය විසින් ගෙන නොමැති වීම, හා ඒ සඳහා යාන්ත්‍රණයක් නොමැති බව.
  4. රාජ්‍ය බදු ආදායම රැස් කිරීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු හා අකාර්යක්ෂමතා, දූෂණ පරිපාලන හා වෙනත් ගැටලු මැඬ පැවැත්වීම හෝ අවම කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා විසින් විටින් විට ලබා දුන් උපදෙස්, මගපෙන්වීම්, නිර්දේශ, පිළිබඳ දිගින් දිගටම නොසලකා දෙපාර්තමේන්තුව කටයුතු කිරීම.
  5. එවැනි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම විශ්‍රාම යෑමට ආසන්න නිලධාරීන් වෙත පමණක් දිගින් දිගටම පැවරීම නිසා ඔවුන්ගේ විශ්‍රාම යෑමෙන් පසු සියලු ක්‍රියාවලීන් අතර මැද නතර වීම නිසා එම කටයුතුවල සංගත බවක් නොපැවතීම, හා ඒ පිළිබඳව වගකීමට කිසිවෙකු නොමැති වීම.
  6. දෙපාර්තමේන්තුවේ සාර්ව (Macro) ක්‍රියාවලි සඳහා මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් ප්‍රමාණවත් පරිදි දායක කර නොගැනීම, බොහෝ බිඳවැටීම් හා අපේක්ෂිත ඉලක්ක වෙත නොයෑමටත්, අකාර්යක්ෂමතාවන් හා අක්‍රමිකතා වර්ධනයටත් දෙපාර්තමේන්තුව තුළ කාර්මික සාමය ආරක්ෂා නොවීමටත් හේතු වී තිබීම.
  7. රාජ්‍ය මූල්‍යයෙහි ස්ථාවර බව හා ආදායම් සංගත බව පවත්වා ගැනීම සඳහා, දෙපාර්තමේන්තු දැක්ම, මෙහෙවර, වගකීම හා ප්‍රගතිය, මෙන්ම දෙපාර්තමේන්තුවේ පැවැත්ම සම්බන්ධයෙන් ගත් විට කෙටි, මැදි හා දිගුකාලීන සැලසුම්සහගත බවකින් දෙපාර්තමේන්තු පරිපාලනය කටයුතු කරන බවක් නිරීක්ෂණය නොවන අතර ඔබ අමාත්‍යාංශය ඒ පිළිබඳව කරනු ලබන සුපරික්ෂණය ද ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වීම.
  8. ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) සැලසුම් කළ පරිදි නියමිත කාලයේදී ගොඩනගා නිම නොකිරීම හා එය වර්ෂ ගණනාවක් පුරාවට දිවෙන ව්‍යාපෘතියක් බවට පත් වීම තුළ රාජ්‍ය බදු ආදායම රැස්කර ගැනීමේ ක්‍රියාවලියට අති විශාල අහිතකර බලපෑමක් සිදු වී තිබෙන බවත්, එම ව්‍යාපෘතිය පිළිබඳව හා එහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව නිශ්චිත වගකීමක් දෙපාර්තමේන්තුවට නොමැති බවත්, ව්‍යාපෘතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ විවිධ කමිටුවලට ලබා දුන් තොරතුරු පරස්පරතාවන්ගෙන් යුක්ත බැවින්, ඒවායේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලු මතුවන බවත්, එබැවින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකර ආදායම් රැස්කිරීමේ ක්‍රියාවලියට කඩිනමින් උපයෝගි කර ගැනීම සඳහා ඔබ අමාත්‍යාංශයේ සෘජු අඛණ්ඩ මැදිහත්වීමක් අවශ්‍ය බව.
  9. දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩල, පුහුණු කිරීම්, මාරු කිරීම්, උසස් වීම්, දුක්ගැනවිලි විසඳීම, නිවැරදි කාර්යඵල ඇගයීම් සහිත තෘප්තිමත් සේවක මණ්ඩලයක් පවත්වා නොගැනීම, පරිපාලනය හා කාර්යමණ්ඩල අතර විධිමත් සන්නිවේදනයක් නොමැතිවීම, ආදායම් රැස්කිරීමේ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපා ඇති බව.
  10. දෙපාර්තමේන්තුවේ කාර්යභාරය, බදු ගෙවීමේ වගකීම, බදු නීති පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම බදු ගෙවීමට ජනතාව පොළඹවන වැඩසටහන් සහිතව බදු සංස්කෘතියක් ගොඩනැගීම සඳහා ප්‍රචාරණ කටයුතු නොකිරීම බදු පදනම පුළුල් කිරීමට බාධාවක් වී තිබෙන බව.
  11. අපේක්ෂිත රාජ්‍ය බදු ආදායම නොලැබී යෑමෙන් පවතින ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම සඳහා රජය අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග වෙත දැඩි අහිතකර බලපෑමක් එල්ල වෙමින් පවතින බව.
  12. 2023 වර්ෂය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත (මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුව වෙතද) ලබා දී ඇති ආදායම් ඉලක්කය ඉක්මවා යන ආදායමක් රැස්කර ගත හැකි විභවතාවක් එම දෙපාර්තමේන්තු සතුව පවතින බව කමිටුවේ නිරීක්ෂණය වීම.

මේ කරුණු අනුව මේ වසරේ (2023) දෙසැම්බර් අග වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කළ යුතු බදු ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 1667සපුරාලීම සඳහා එම දෙපාර්තමේන්තුව විසින් තවත් රු. බිලියන 529ක් රැස්කරගත යුතු වේ. මෙම කාරක සභාව විසින්ම නිරීක්ෂණය කර ඇති බදු පරිපාලන දුර්වලතා හමුවේ එය අභියෝගාත්මක බව අපගේ අදහසයි. රුපියල් බිලියන 529 ක් වන ඉදිරි ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වන පිළිගත හැකි කාර්යක්ෂම සුදුසු වැඩපිළිවළක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමට ද අපොහොසත්ව තිබේ. ඒ නිසා මේ ගැන අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශයේ හදිසි අවධානය යොමුකර කඩිනම් පියවර ගත යුතුව තිබේ. අනිත් අතට දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතු හිඟ බදු ලෙස රුපියල් බිලියන 904 ක් ඉක්මවූ ප්‍රමාණයක් රැස්කර ගත යුතු බව කීවත් ඒවා බොහොමයක් තක්සේරු නිකුත් කිරීම් ද විය හැකිය. ඒ නිසා ඕනෑම බදු වර්ගයක් සඳහා වන වාර්තා පිළිබඳ බදු අනුකූලතාව සියයට 50 කට වඩා පහළ අගයක පවතින නිසා බදු අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමේ දී ඇත්ත වශයෙන්ම රජයට අයකරගත හැකිව තිබෙන හිඟ බදු මුදල මීට වඩා බොහෝ අඩු අගයක් බව ද කිව යුතුය. කෙසේ හෝ අයකරගත හැකි හිඟ බදු ප්‍රමාණය හෝ කඩිනමින් අය කර ගැනීමට කාර්යක්ෂම සුදුසු වැඩපිළිවළක් තිබේ ද යන ප්‍රශ්නය තිබේ. එසේ තිබියදී මේ රුපියල් බිලියන 529ක් වන ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වන පිළිගත හැකි කාර්යක්ෂම සුදුසු වැඩපිළිවළක් අවශ්‍යම වේ. එසේ නැතහොත් එම ආදායම් ඉලක්කය සපුරා ගැනීම දුෂ්කර වනු ඇත. එය අපට අයිඑම්එෆ් ඉදිරි වාරික මුදල් ලබා ගැනීමට බලපාන ප්‍රධාන කරුණක් වනු ඇත.

රාජ්‍ය බදු ආදායම රැස් කිරීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු හා අකාර්යක්ෂමතා, දූෂණ පරිපාලන හා වෙනත් ගැටලු මැඬ පැවැත්වීම හෝ අවම කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා විසින් විටින් විට ලබා දුන් උපදෙස්, මගපෙන්වීම්, නිර්දේශ, පිළිබඳ දිගින් දිගටම නොසලකා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව ද මෙම පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිරීක්ෂණය කර තිබීම නිසාත් එසේම දෙපාර්තමේන්තු පරිපාලනය ගැන මුදල් අමාත්‍යාංශය විසින් කරනු ලබන සුපරික්ෂණය ද ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වීම නිසාත් මේ ගැන වහාම මුදල් අමාත්‍යාංශය ක්‍රියාකළ යුතු බව, මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට, රාජ්‍ය ආදායම් දෙපාර්තමේන්තු භාර රාජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ද සිහිගැන්විය යුතුව තිබේ.

මේ දුර්වල තත්ත්වයන් බෙහෝමයක් පරිපාලන, කළමනාකරණ හා අධීක්ෂණ දුර්වලතාවන් බව මෙම කාරක සභාවේ නිරීක්ෂණය වී ඇති අතර ඒ නිසා මීට කලින් යොමු කර ඇති 2023/10/05 දිනැති ලිපියේ නිර්දේශයන්ට අමතරව තවත් ප්‍රධාන නිර්දේශ හතරක් ද ක්‍රියාත්මක කරන ලෙස ගාමිණී වලේබොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සභාපතිත්වය දරන ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශය වෙත නියම කර ඒ බව දැනුම් දී තිබේ. එම නිර්දේශ හතර මෙසේය.

  1. කමිටුව විසින් හඳුනාගෙන ඉදිරිපත් කර තිබෙන දුර්වලතා, අඩුපාඩු නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමට පරිපාලනයට සහාය වීමටත් පසු විපරම් කිරීම හා ප්‍රගතිය ඔබ වෙත හා මෙම කමිටුව වෙත වාර්තා කිරීමටත් බලය සහිත (TOR), සුදුසු පරිදි විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙහෙයුම් කමිටු කිහිපයක් පත් කිරීම.
  2. සෑම මෙහෙයුම් කමිටුවකටම අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරියෙකු, දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයෙකු, මාණ්ඩලික මට්ටම්වල ඒ ඒ නිලධාරී කාණ්ඩ නියෝජනය වන පරිදි සුදුසු නියෝජිතයෙක්, කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝජිතයෙක්, හා මේ වන විට අදාළ විෂය භාර ජ්‍යෙෂ්ඨම නිලධාරියාද ඇතුළත් වන පරිදි, නියෝජිතයන් නම් කිරීම.
  3. සතිපතා ප්‍රගති සමාලෝචනය සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම,
  4. මෙම ලිපියේ සඳහන් දින සිට දින 14ක් ඇතුළත අදාළ පත්වීම් සිදු කර කමිටුව වාර්තාවක් ලබා දීම.

කාරක සභාව කියන මෙකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දින 14 ක් ලබා දී ඇත. අපත් සිතන්නේ මේ මෙහෙයුම් කමිටු වහාම පත් කර දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහාය හා දායකත්වය ද ලබාගනිමින් රාජ්‍ය බදු ආදායම් රැස් කිරීමේ ඉලක්ක සපුරා ගැනීමට අප විසින් ප්‍රයත්න දැරිය යුතු බවයි. මෙහිදී සාමාන්‍ය මහජනයා මත තවත් බදු බර නොපැටවෙන පරිදි බදු නොගෙවන සහ බදු පැහැර හරින අති විශාල පිරිස් ද බදු දැලට එකතු කර ගැනීමට ක්‍රියා කළ යුතුව තිබේ. නැතහොත් සිදු වන්නේ භාණ්ඩ හා සේවා මත පනවන වක්‍ර බදු හරහා සාමාන්‍ය ජනයා මත විශාල බදු පීඩනයක් ඇති වීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment