දවසින් දවස කුඩා වන ඉන්දියානු සයුරේ කදුළු බිඳුව

ලොවේ එක් පෙදෙසක් උණුසුමින් දැවී යද්දී තවත් කලාපයක ජීවත් වීමට සිදුවී තිබෙන්නේ සීතලෙන් ගැසෙමිනි. මේ අතර මං මාවත් ගංගාවන් සේ දිස් වන තරමට වැසි ජලයෙන් පිරී‘තිරී යයි. වැසි සමය, පායන කාලය ලෙසින් වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකිව තිබූ සොබා දම් කාල සටහන උඩු යටිකුරු වී ඇත. වෙනස් වන දේශගුණය මහ පොළොවට කරන බලපෑම සුළුපටු නො වෙයි. වෙසෙසින් ශ්‍රී ලංකාව වාගේ ප්‍රමාණයෙන් කුඩා රටකට භූමිය දශම ගණනින් අහිමි වුවත් එය බරපතළ ලෙසින් දැනෙයි. තොලමි ගේ කාලයේ හතරැස් හැඩයට තිබූ අපේ රට මේ වන විට කඳුළු බිඳුවක, අඹ ගෙඩියක හැඩය ගෙන ඇත්තේ කලින් කලට සිදු වූ දේශගුණ පෙරළි හේතුවෙන් ගොඩබිමට සිදු වූ බලපෑම්වලිනි. එවැනි පෙරළියක් ඇති වීමට සියවස් ගණනාවක් ගත වී තිබිණි. එහෙත් සියවස් ගණනක් නොව දශක කිහිපයකින් ම සීග්‍ර දේශගුණ පෙරළිය නිසා ලංකාවේ සිතියම වෙනස් කිරීමට සිදුවෙයිද? 2019 වසරේ ලෝක දේශගුණ දර්ශකයේ ලොව දෙවැනි අවදානම් ස්ථානයට පත්වී තිබුණේ ශ්‍රී ලංකාව ය. 2017 වසරේ දත්තවලට අනුව 2019 වසරේ දේශගුණ දර්ශකය නිකුත් කෙරෙයි. 2021 ලෝක දේශගුණ දර්ශකයට අනුව ලංකාව 33 වැනි අවදානම් රට ලෙස වාර්තා ගතවී තිබෙයි.

● අවදානම් ස්ථානයේ අවදානම

රටක නාය යාම්, ගං වතුර ආදී සොබා උවදුරු ගැන අධ්‍යයනය කර අවදානම් දර්ශකයේ තැන තීරණය කරන අතර අපේ රටේ තත්ත්වය කොහෙත් ම සතුටු දායක නැත. දේශගුණ විපර්යාස හේතුවෙන් දිගින් දිගට ම මුහුදු මට්ටම ඉහළ ගියහොත් පාරිසරික විශේෂඥයන්ට අනුව වසර 2025 වන විටශ්‍රී ලංකාවට ඉඩම් හෙක්ටයාර් 6,110ක භූමි භාගයක් අහිමි වෙයි. 2100 වන විට ලංකා භූමිය මුහුදට යට වීමෙන් අහිමි වන ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 25000කි. මධ්‍යම කඳුකරයේ තීව්‍ර පාංශු ඛාදනය අපේ රටේ දැවැන්ත පාරිසරික ගැටලුවක් බවට පත්වී ඇත.

● මිනිසාගේ මැදිහත් වීම සොබා දම විකෘති කරලා

සොබා දහමේ ස්වභාවිකව වන විපර්යාස මෙන් ම මිනිසා විසින් ඇති කරන විපර්යාස ද තිබෙයි. කාර්මික විප්ලවයත් සමග මිනිසා විසින් ඇති කරන දේශගුණ පෙරැළි බෙහෙවින් ඉහළ යමින් පවතියි. සිරුරට දැනෙන උණුසුමින්, සීතලෙන් මේ පෙරළිවල ප්‍රතිඵල අවසන් නො වෙයි. මුහුදු ඛාදන, නාය යෑම්, අධික වැසි, පාංශු ඛාදනය වැනි එකී නොකී පරිසර විපර්යාස ගණනාවක් ම මේ සමග ඇති වෙයි.

● ගිනිකඳු අවදානමක් නැතත් භූ කම්පන අවදානමක් තිබෙනවා

ඉදිරි දශකවලදී ලංකාවේ හැඩය වෙනස් වෙයි?

අපේ රට ඉන්දු ඔස්ටේ්‍රලියා මධ්‍යයේ පිහිටා ඇති බැවින් ඉරානයට ඇෆ්ගනිස්තානයට තුර්කියට මෙන් නිතර නිතර භූමි කම්පන අත්දකින්න ලැබෙන්නේ නැති තරම්ය. ගිනි කඳු උවදුරක් ඇත්තේම නැත. එනිසා ම 2004 වසරේ සුනාමි අත්දැකීම ලැබෙන තුරුම අපට ආපදා කළමනාකරණ පනතක්, නීති රීති මාලාවක්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තිබුණේ ම නැත. එහෙත් දැන් ශ්‍රී ලංකාව ඒ සියල්ලෙන් ම සන්නද්ධ ය.

ගිනිකඳු අවදානමක් නැතත් භූමිකම්පා අවදානමක් නැතැයි කිව නො හැකි බව සුනාමිය අපට සිහිපත් කර දුනි. හිමාල පෙදෙසේ අති විශාල භූමි කම්පාවක් සිදු වුවහොත් එය ලංකාවට ද බලපාන්නේ භූ කම්පන සහ තරංග ඈතින් ඈතට ගමන් කරන බැවිනි. ඉන්දුනීසියා – සුමාත්‍රා ප්‍රදේශයන්හි ඇති වන රික්තමාපක 7.5ට වැඩි භූ කම්පන ද මෙරටට බලපායි. එලෙසම මුහුදු පත්ලට ආසන්නව සිදුවන කම්පන ද බලපායි. දැනට වසර මිලියන දහයකට පමණ පෙර සිට ලංකාවට කිලෝමීටර් දස දහසක් පමණ පහළින් අලුතින් භූ තල මායිමක් නිර්මාණය වෙමින් පවතින අතර එය ද කම්පනයකට හේතුවකි.

කොත්මලේ, රන්ටැඹේ, වික්ටෝරියා වැනි ජලාශ ආශ්‍රිතව සුළු භූ කම්පන ඒමේ අවදානමක් පවතියි. පොළොවේ අභ්‍යන්තර කැණීම් කම්පනවලට හේතුවකි.

සුනාමියෙන් පසු මෙරට පැය 24 පුරාම භූ කම්පන නිරීක්ෂණය කෙරෙන නිසා 2004 දී මෙන් අවාසනාවන්ත සිදුවීමක් නම් අනාගතයේදී වාර්තා නො වනු ඇත. ජපානය වැනි රටවල කෙතරම් භූමි කම්පා ඇති වුණත් මිනිසුන් මිය නො යන්නේ නිතර කම්පන පිළිබඳ නිරීක්ෂණය කර අනතුරුදායක තත්ත්වයකදී අදාළ පෙදෙස්වල ජනතාව ඉවත් කරන බැවිනි.

● මුහුදු මට්ටම ඉහළ යෑම බරපතළ ගැටලුවක්

මීට වසර විසි දහසකට කලින් මුහුදු මට්ටම තිබී ඇත්තේ දැනට පවතිනවාට වඩා මීටර් 125 ක් පහළිනි. අවසන් වරට ලොව වැඩි ම ග්ලැසියර් (සෙමින් තල්ලු වන යෝධ අයිස් තට්ටු) ප්‍රමාණය වාර්තා වන්නේ ඒ කාලයේදී ය. විශේෂයෙන් පසුගිය වසර 250 ක කාලයේදී මිනිස් ක්‍රියාකාරිත්වයන් හේතුවෙන් කාලගුණ විපර්යාස දෙගුණ තෙගුණ වෙමින් පවතියි. කාබන්ඩයොක්සයිඩ්, මීතේන් වැනි හරිතාගාර වායු සූර්ය කිරණ උරා ගනියි. ඒ හේතුවෙන් පරිසරය උණුසුම් වෙයි. හරිතාගාර වායූන් නො මැතිව සත්ව සන්තතියට සහ තුරුලියවලට පැවැතිය නො හැකි ය. එහෙත් පසුගිය දශක කිහිපයේදී කර්මාන්ත, විදුලි බලය, වාහන ධාවනය ආදී විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්

හරිතාගාර වායු පරිසරයට වැඩි වැඩියෙන් මුදා හැරෙන අතර සූර්ය කිරණ මගින් වැඩි වශයෙන් හරිතාගාර වායු උරා ගනියි. ඒ සමග ම මිනිසා ඇතුළු සතුන්ට සහ ගහකොළවලට දරා ගත නො හැකි තරම් පරිසරය උණුසුම් වෙයි. වසර 1880 සිට මේ දක්වා ලෝකයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1.1කින් වැඩිවී තිබෙයි. නාගරීකරණයත් සමග ගස් කපා දැමීමෙන් පරිසරයේ වැඩි වශයෙන් ඇති කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම ද අඩු වෙමින් පවතියි. උෂ්ණත්වය වැඩි වන විට පරිසරය උණුසුම් වනවාට අමතරව තවත් හානිකර බොහෝ දේ සිදුවෙයි. වාෂ්පීකරණය වැඩිවී ජල මට්ටම වැඩි වීම එවන් එක් ප්‍රතිඵලයකි. වැස්ස අනවශ්‍ය කාලයට වර්ෂාව ඇද හැළීමත් වර්ෂාව අවශ්‍ය කාලයට නියං සමයත් අත්දකින්නේ මේ පරිසර විපර්යාසයන් හේතුවෙනි.

● මුහුදු ඛාදනයෙන් ගොඩබිම අහිමි වනවාට අමතරව තවත් ගැටලු

වර්ෂ 1901 සිට 2008 වසර දක්වා මුහුදු ජල මට්ටම වැඩි වූයේ මිලිමීටර් 1.2 කිනි. එහෙත් වර්ෂ 2013 සිට 2022 දක්වා ලෝක මුහුදු මට්ටම මිලිමීටර් 4.62කින් වැඩිවී ඇත. අපේ රටේ මුහුදු මට්ටම වසරකට මිලිමීටර් 3.4කින් පමණ වැඩි වෙයි. ඒ සමග මුහුදු ඛාදනය ද සිදුවෙයි.

මුහුදු ඛාදනය නතර කිරීමට විවිධ පියවර ගත්ත ද එයින් ගොඩබිම අහිමි වීම වළක්වා ගත්තේ සුළු වශයෙනි. ඇතැම් විට අපට ගොඩබිම ඛාදනය වී නැති බව පෙනුණත් ඒ භූමිය හායනය වී නම් ප්‍රයෝජනයක් නැත. එවැනි භූමියක ලවණතාව අධික ය. පස නිසරු බැවින් වගා කළ නො හැකි ය. සුනාමිය මීට හොඳම උදාහරණයකි. සුනාමියෙන් ගොඩබිමට පැමිණි ජලයෙන් ගොඩබිමේ ලවණතාව වැඩිවූ අතර පස යථා තත්ත්වයට පත්වීමට වසර දෙක තුනක් පමණ ගතවිණි. පසක් හායනය වීම ගොඩබිම අහිමි වීමට ද වඩා ගැටලු ඇති කරයි.

කඩොලාන ශාක වගාව, ස්වාභාවික සම්පත් පරිහරණය අවම කිරීම, වන වගාව, වන විනාශය අවම කිරීම, පොළොවෙන් ගන්නා ඉන්ධන (පොසිල ඉන්ධන අවම කිරීම) සීමා කිරීම අපට මේ උපද්‍රවයෙන් අත්මිදීමට ගත හැකි පියවර කිහිපයකි. එලෙසම ජල විදුලි බලය, සූර්ය බලය, සුළං බලය කර්මාන්ත, ප්‍රවාහන කටයුතු ආදියට යොදා ගැනීම ද සාර්ථක විකල්පයකි.

● දේශගුණ බලපෑමෙන් වැඩිම හානි ශරීර සෞඛ්‍යයටයි

මිනිසා විසින් ඇති කරන දේශගුණ විපර්යාසවල අහිතකර ප්‍රතිඵල බූමරංගයක් මෙන් මිනිසා කරාම පැමිණෙමින් පවතියි. 2030 සහ 2050 අතර පමණක් දේශගුණ විපර්යාස හේතුවෙන් වසරකට ආසන්න වශයෙන් 250000ක් මය යනු ඇති බවට ඇස්තමේන්තුත කර තිබෙයි.

පරිසර විනාශයත් සමග වනයේ සතුන් මිනිස් වාස භූමිකරා පැමිණෙන්නට පටන් ගෙන ඇත. අලි මිනිස් ගැටුම ඊට එක් උදාහරණයකි. අලි පමණක් නොව වල් ඌරන්, වැලි මුවන් වැනි වන සතුන් නිතර නිතර දක්නට ලැබෙයි. මෙසේ වන සතුන් සමීප වීමෙන් සතුන්ගෙන් සෑදෙන රෝගවලට ගොදුරු වීමේ අවදානම ද වැඩි වෙයි. ඉබෝලා වැනි රෝග ආසාදනය වීම් පිළිබඳ අනාගතයේ වැඩි වැඩියෙන් වාර්තා වනු ඇත.

පිරිසුදු ජලය, වස විසෙන් තොර ආහාර හිඟ වන තරමට සෞඛ්‍ය ගැටලු ද උග්‍ර වෙයි. දැනටමත් ලංකාව මන්දපෝෂණ ගැටලුවට මුහුණ පා සිටින අතර මන්දපෝෂණය බොහෝ රෝගාබාධයන්ට ලක්වීමේ අවදානම වැඩිකරන ප්‍රබල සාධකයකි. පිරිසුදු ජලය හිඟය පාචනය වැනි තත්ත්වයන්ට බලපායි. කෙසඟ සිරුරු ඇති බුද්ධිය හීන, දියවැඩියාව වැනි රෝගාබාධයන්ට ගොදුරුවන පුරවැසියන් සිටින දේශයක් බවට අපේ රට පත් වීමේ අවදානමක් පවතියි.

● මැසි මදුරු උවදුර

දේශගුණ පෙරළියේ වැඩි වාසි අත්පත් කරගන්නේ කෘමීන් වැනි සත්ත්ව විශේෂ ය. මැසි, මදුරු ගහනය වැඩිවීම මදුරුවන්ගෙන් බෝවන බොහෝ ලෙඩ රෝග වසංගත මට්ටමින් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇත. මෑතකදී නේපාලයේ ඩෙංගි වසංගත මට්ටමින් වැඩිවී ඇති අතර එරට උණුසුම ඉහළ යෑම ඊට බලපා ඇත.

වැලි මැස්සාගෙන් බෝවන Leishmaniasis රෝගය ගැන දැන් වැඩි වැඩියෙන් වාර්තා වෙයි.

යුරෝපයේ සීත ඍතුව කෙටිවී තිබෙයි. ලොවම විවිධ අයුරින් දේශගුණ පෙරළිය අත්දකියි. ගෝලීයව අප බැඳී සිටිනවාක් මෙන්ම මේ පෙරළිය ද ලෝකයම විවිධාකරයෙන් අත්දකියි. එක දිගට පෑයීම, එක දිගට වර්ෂාව පතිත වීම මෙතරම් බරපතළ ලෙස මින් පෙර අප අත්දැක නැත.

නියඟයෙන් සිදුවන වගා හානි මන්දපෝෂණ ගැටලුව උග්‍ර කරනු ඇත. දැනටමත් අපට තේවලින් ලැබෙන ආදායම අඩුවී තිබෙයි. ආර්ථික අහේනිය ද මේ සියල්ල සමග හිස ඔසවද්දී ආහාර, ඖෂධ ගැනීමට මුදල් නො මැති කමින් තත්ත්වය බරපතළ වනු ඇත. දේශගුණයත් සමග හිස ඔසවන රෝග ගණනාවක්ම තිබෙන අතර ඇදුම ඊට එක් උදාහරණයකි. සීත කාලයට වැඩි වන ඇදුම රෝගය ඔසු මගින් පාලනය කළ හැකි රෝගයක් වුවත් කලට වේලාවට ප්‍රතිකාර නො ගැනීමෙන් ඇස්මා ඇටෑක් තත්ත්වයට පත්වී රෝගියා මරණයට පත්වීමට පුළුවන. ඇදුම වැනි අසාත්මික රෝග සීත කාලයට වැඩි වශයෙන් වාර්තා වෙයි.

රෝගයක් නැතිව කෙනකු මරණයට පත් කිරීමට ද දේශගුණ විපර්යාසය සමත් ය. අකුණු අනතුරු මරණ ඉදිරියේදී වැඩි වශයෙන් වාර්තා වනු ඇත.

මිනිසාට දරාගත හැකි උණුසුම ඉක්මයනු ඇත

මිනිස් සිරුරට සෙල්සියස් අංශක 35ට වැඩි උෂ්ණත්වයක් දරා ගැනීමට අසීරු ය. එහෙත් උතුරු මැද උෂ්ණත්වය සෙල්සියස් අංශක 35ට ඉහළ යන අවස්ථා තිබෙයි. ඒ සමග උෂ්ණත්වය සමග ඇතිවන රෝගාබාධ ඉහළ යයි. මාරාන්තික හීට් ස්ට්‍රෝක්ස් හෙවත් තාප ආඝාත තත්ත්වයන් ඉන්දියාවෙන් දැනටමත් වාර්ෂිකව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට ද ඉදිරියේදී එවැනි අත්දැකීම් දුලබ නොවනු ඇත.

දූපතක් නිසා ගැටලු වැඩියි

ඉදිරියේදී මරණ මිලියන 160න් පමණ වැඩි කිරීමට දේශගුණ විපර්යාස හේතුවනු ඇත. ලංකාවට මේ තත්ත්වය වඩාත් ගැටලුකාරී වන්නේ දූපතක් වීම හේතුවෙනි. සීමා සහිත ඉඩ කඩක ගැටලු ඇති වීමේ අවදානම වැඩි ය. මුහුදු මට්ටම ඉහළ යෑම, පහත් බිම් යට වීම, ජනගහනය අධික වීම, වනාන්තර හෙළි පෙහෙළි කිරීම වැනි සියලු කාරණා මැලේරියා වැනි රෝග යළි හිස එසවීමට බලපායි.

මේ සියල්ලෙන්ම පැහැදිළි වන්නේ ආපදා කළමනාකරණයට වාගේම ආපදා තත්ත්වයන්හිදී ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු සඳහා දැන් සිටම අපේ සෞඛ්‍ය පද්ධතිය සූදානම් විය යුතු බව ය. නො එසේ නම් ආර්ථික වශයෙන් අප රට කබලෙන් ලිපට වැටෙනු ඇත.

උපදෙස් – පේරාදෙණිය සරසවියේ භූගෝල විද්‍යා අංශයේ මහාචාර්ය තිලක් හේවාවසම්
උපදෙස් – පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් තෙන්නකෝන්

චම්පිකා දීපානි රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment