ඉන්දියානු සාගරයේ නාවික නිදහස වෙනුවෙන් උපාය මාර්ගික ස්ථාවරත්වයක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

28

බල එදිරිවාදිකම් නොමැති බව සහතික කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

නාවික නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව පැවසූ ජනාධිපතිවරයා සය දින යුද්ධය නිසා වසර දහයක් තිස්සේ සූවස් ඇළ වසා දැමීම, කොළඹ වරායට අහිතකර ලෙස බලපෑ ආකාරය ද සිහිපත් කළේය.

එබැවින් සීමාවලින් තොරව නාවික කටයුතු සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තුන්වන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා කොළඹ දී ආරම්භ විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් අප සැමට මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ප්‍රශ්නවලින් එකක් ආමන්ත්‍රණය කිරීම සඳහා පාත්ෆයින්ඩර් පදනම සමග මේ අවස්ථාවට එක් වීමට ලැබීම සතුටට කරුණක් බව කිව යුතුයි.

මෙම සැසිවාරය සංවිධානය කිරීම පිළිබඳවත්, මෙම කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන අඛණ්ඩ උනන්දුව පිළිබඳවත් මිලින්ද මොරගොඩ මහතාටද ප්‍රශංසා කළ යුතුයි.

කෙසේ වුවත් ඉන්දියන් සාගර කලාපය මේ වන විට නැඟී එන ආර්ථිකයක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ බල එදිරිවාදිකම්වලින් තොරව ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා උපායමාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ, ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලී චන්ග්, නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ ජපානයේ නියෝජ්‍ය සහකාර අමාත්‍ය හයාෂි මාකෝටෝ, පාත්ෆයින්ඩර් ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ සම සභාපතිවරුන් වන බර්නාඩ් ගුණතිලක, ෂිව්ශංකර් මෙනන් යන මහත්වරුන් සහ මහකොමසාරිස්වරු, තානාපතිවරු, අමාත්‍යාංශ නිලධාරීහු, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment