ඉන්දීය බෙහෙතෙන් සංකූලතා ඇතිවූ අක්‍ෂි රෝගීන් හමුවීමට කමිටුව නුවරඑළිය රෝහලට

80

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු භාවිත කළ ඉන්දීය ඖෂධයකින් සංකූලතා ඇති වූ බව කියන රෝගීන් පහළොස් දෙනකු සමග සාකච්ඡා කර ඔවුන් ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමට හා ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක් ලබා දිමට දස දෙනකුගෙන් යුතු විශේෂ කමිටුවක් ඊයේ (01දා) නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට පැමිණි බව එම කමිටු සාමාජික සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක මහතා මාධ්‍ය හමුවේ පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත පිහිටුවනු ලැබූ විශේෂ කමිටුව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් සංකූලතා ඇති වූ රෝගීන් සියලු දෙනා සමග සාකච්ඡා කර ඔවුන් ඉදිරි පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බව අතිරේක ලේකම්වරයා කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි ප්‍රතිකාර කළ 15 දෙනකු හා කොළඹ ජාතික රෝහලේ අක්ෂි ප්‍රතිකාර කළ 25 දෙනකු ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධයක් විෂවීමෙන් සංකූලතා මතු වී ඇස් පෙනීම දුර්වල වූ බව මාධ්‍ය හරහා අනාවරණය කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ වෛද්‍යවරුන් දහ දෙනකුගෙන් යුතු විශේෂ කමිටුවක් ස්ථාපනය කර ඇති බවයි.

රෝහල්වලට ගොස් සංකූලතා තත්ත්වයෙන් ඇස් පෙනීම දුර්වල වූ රෝගීන් හමු වී ඔවුන් සමග සාකච්ඡා කොට වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර, ඔවුන්ගේ ඇස්වල ඇති සංකූලතා මට්ටම් හඳුනාගෙන ඉදිරි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු මෙම කමිටුවෙන් සිදු කෙරේ.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment