ඉමිතියාස් සමග සටනින් නි. කථානායක අසුන යළි සියඹලාපිටියට

197

ඉමිතියාස්ට 65 යි සියඹලාපිටියට 148 යි

ජනමතයට එරෙහිව කටයුතු සිදුවෙනවා – ඉමිතියාස් ද්‍රෝහි ක්‍රියාව එලිවුණා – සජිත්
අවස්ථාවෙන්ඵලක් නොගැනීම කනගාටුවක් – නව නි. කථානායක රංජිත් සියඹලාපිටිය
එකතු වී වැඩකරමු – රනිල්
මේක නාඩගමක් – අනුර කුමාර

නව නියෝජ්‍ය කථානායක ලෙස එම ධුරයෙහි මීට පෙර කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතාම වැඩි ඡන්ද 83 කින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී තේරී පත් විය.

ඒ මහතා සමග තරග කළ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතාට ඡන්ද 65 ක් ලැබුණු අතර සියඹලාපිටිය මහතාට ඡන්ද 148 ක් ලැබිණි.

ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස නව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත්කර ගැනීමට සිදුවූවේ එම ධුරයේ කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සමග එක්වීමට ගත් තීරණය නිසාය.

ඒ අනුව නව නියෝජ්‍ය කථානායක ධුරයට සුදුස්සකු තෝරා පත්කර ගන්නා ලෙස කථානායක මහින්ද යාපා මහතා විසින් කරන ලද නියෝගය අනුව ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා කරනු ලැබීය. සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය.

එහිදී නැගී සිටි විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා රංජිත් සියඹලාපිටිය මහතාට ආණ්ඩු පක්‍ෂයේ ද පූර්ණ සහය හිමිවන බව පැවසීය.

ඉන් අනතුරුව සමගි ජනබලවේගය මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සියඹලාපිටිය මහතාට ආණ්ඩුවේ සහය හිමිවන බව පැවසූ බැවින් තමන් විපක්‍ෂයෙන් ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම යෝජනා කරන බව කියා සිටියේය.

ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් බාකීර් මාකාර් මහතාගේ නම ස්ථිර කළ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා වෙනත් නම් ඉදිරිපත් නොවූ බැවින් කථානායකවරයා ඡන්දයක් ප්‍රකාශයට පත් කර ඊට අදාළ ස්ථාවර නියෝග ප්‍රකාශයට පත් කළේය.

ඒ අතරතුර පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා සහ සභා ගැබෙහි නිලධාරීහු සභාව මැද රහස් ඡන්දයක් පැවැත්වීමට අදාළ පහසුකම් සැලසූහ. පිටතට නොපෙනෙන ලෙස වටකරන ලද ආවරණයක් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමට පෙට්ටියක් ද තබා තිබිණි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් තුෂානි රෝහණධීර මහත්මිය විසින් මන්ත්‍රීවරුන්ගේ නම් කියා සිටි අතර මන්ත්‍රීවරු එකිනෙකා සභාව මැදට පැමිණ ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්ද පෙට්ටිය හිස් බවට සියලු මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කරනු ලැබිණි. ඡන්දය ප්‍රකාශ කොට මන්ත්‍රීවරුන් අත්සන ද යෙදිය යුතු බවට කථානායකවරයා ස්ථාවර නියෝග යටතේ ප්‍රකාශ කළ ද එමගින් රහස්‍යභාවය අහිමි වන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කළේය. අනතුරුව විපක්‍ෂ නායකවරයා ස්ථාවර නියෝග අත්හිටුවා මන්ත්‍රී අත්සන නොදා ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සලසන ලෙස ඉල්ලා සිටියේය.

එසේ කළ නොහැකි නම් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඊයේම එම පත්‍රිකා විනාශ කරන්නැයි ඉරාන් වික්‍රමරත්න මහතා ඉල්ලීමක් කළ ද කථානායකවරයා එය ද ප්‍රතික්‍ෂේප කළේය.

ඡන්ද විමසීම පෙරවරු 10.45 ට ඇරඹුණු අතර ප්‍රථමයෙන් අගමැතිවරයා ඡන්දය ප්‍රකාශ කළේය. දහවල් 12.55 ට පමණ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් විය. එහිදී රංජිත් සියඹලාපිටිය මහතාට මන්ත්‍රී ඡන්ද 148 ක් ද, ඉමිතියාස් බාකීර් මාකාර් මහතාට මන්ත්‍රී ඡන්ද 65ක් ද ලැබී තිබුණු අතර නරක් වූ ඡන්ද 03ක් විය.

ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කථානායකවරයා විසිනි.

කථානායකවරයා හැර මන්ත්‍රීවරුන් 224 දෙනකු අතරින් මන්ත්‍රීවරුන් 216 ක් ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 08 දෙනකු සභාවට පැමිණ සිටියේ නැත.

උද්දික ප්‍රේමරත්න, මයන්ත දිසානායක, ඉම්රාන් මහරුෆ්, විමල් වීරවංශ, ආර්. සම්බන්ධන්, ජෝන් සෙනෙවිරත්න, සී. වී. විග්නේෂ්වරන්, එස්. විනෝ යන මන්ත්‍රීවරුන් පැමිණ සිටියේ නැත.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය ප්‍රකාශ කොට සියල්ලන්ටම පෙනෙන පරිදි එය ප්‍රදර්ශනය කළේය. කථානායකවරයා එය නරක පූර්වාදර්ශයක් බව කියමින් ඊට විරෝධය පළ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment