නයාට අඳුකොළ මෙන් දැන් ඊශ්‍රායලයට කොමඩුය. පලස්තීනයේ එසවීම තහනම් කෙරුණු පලස්තීන කොඩිය වෙනුවට කරළියට ආවේ කොමඩු ගෙඩියයි. මෙසේ එය රටක් ජාතියක් සංකේතවත් කරන පලතුරක් බවට පත්වූ හැටි දශක 50කටත් එහා ගිය අපූරු කතාවකි.

1967 වසරේ සිදුවූ ඊශ්‍රායල – අරාබි දින හයේ යුද්ධයේදී නැගෙනහිර ජෙරුසලම ඈඳා ගනිමින් පලස්තීනයේ බටහිර ඉවුරේ හා ගාසා තීරයේ පාලනය සියතට ගත් ඊශ්‍රායලය එහි පලස්තීන ධජය එසවීම තහනම් කළේය. ධජය හෝ ධජයේ වර්ණ ප්‍රදර්ශනය කළෝ හමුදා අත්අඩංගුවට පත්වූහ. වරින් වර ඇවිස්සෙන අළු යට ගිනි මැද්දේ ඔස්ලෝ සම්මුතිය අනුව අත්සන් කෙරුණු සාම ගිවිසුම්වලදී මේ තහනම ඉවත් කෙරුණෙ 1993දීය. එතෙක් රතු, කොළ, සුදු සහ කළු යන වර්ණ සහිත කොමඩු පෙති රැගෙන ගිය තරුණයන් ද අත්අඩංගුවට ගත් ඊශ්‍රායල භටයන් එවර පලස්තීන ධජ ලෙළවෙන පෙළපාලි හමුවේ අක්‍රීයව සිටි බව නිව්යෝක් ටයිම්ස්හි මාධ්‍යවේදියකු සඳහන් කර තිබුණි.

එතැන් සිට පලස්තීනයට පක්ෂපාතී සිත්තරුන් විවිධ අවස්ථාවල කොමඩු දැක්වෙන සිතුවම් නිමැවූ බව පෙනේ. ඒ අතරින් ඛලීඩ් හෞරානි විසින් 2007දී ‘Subjective Atlas of Palastine’ නම් ග්‍රන්ථය සඳහා අඳින ලද කොමඩු පෙත්ත වඩාත් ප්‍රසිද්ධියට පත් විය. එය ‘The Story of Watermelon’ නමින් ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණේ 2021 මැයි මස ඊශ්‍රායල – හමාස් ගැටුම්වලදී එය පෙරමුණේ තබා ගනිමිනි. කලාවට සාමාන්‍ය දේශපාලනයට වඩා දේශපාලනය කළ හැකි බව ඛලීඩ් පැවසුවේ යැයි වොෂිංටන් පෝස්ට් සඳහන් කර තිබුණි.

මේ වසරේ ජනවාරි මාසයේදී ඊශ්‍රායල පොලිසියට නියෝග ලැබුණේ පොදු ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන පලස්තීන ධජ රාජසන්තක කරන ලෙසයි. ජුනි මාසයේදී රාජ්‍ය ආයතනවල ධජය දැක්වීම තහනම් කෙරෙන පනතක් සම්මත කෙරිණි. ඒ සමගම සාසිම් (Zazim) නමැති අරාබි – ඊශ්‍රායල් සාම සංවිධානය ටෙල් අවිව්හි කුලී රථ ගණනාවක කොමඩු පෙති සංකේතය ප්‍රදර්ශනය කරමින් ඊට ප්‍රතිචාර දැක්වූවේය. පෝස්ටරවල එම සංකේතයට යටින් ‘මෙය පලස්තීනයේ කොඩිය නොවේ’ යන වැකිය ද සටහන්ව තිබුණි.

පලස්තීනයේ සරුවට වැවෙන කොමඩු එරට ජනප්‍රිය පලතුරකි. කපා ගත් විට එහි දිස්වන රතු, කොළ, කළු හා සුදු වර්ණ සංයෝගය පලස්තීන ජාතික කොඩියේ පාට හා මොනවට ගැළපේ. පසුගිය සති කිහිපයේම විරෝධතාකරුවන්ගේ අත්වල තිබුණේ කොමඩුය. ඇතැමුන්ගේ මුහුනේ කොමඩු පෙති ඇඳ තිබුණු අතර තවත් පිරිසක් කොමඩු කැබලි සෙස්සන්ට බෙදමින් සිටියහ.

මේ වන විට බොහෝ දෙනා ගාසා තීරයේ ගැටුම් ගැන අදහස් පළකිරීමේදී කොමඩු සංකේතය භාවිත කරති. එය ධජය නොවන බැවින් තම ගිණුම් තහනමට ලක් නොවී තබා ගැනීම එහි ප්‍රධාන අරමුණයි. සමාජ මාධ්‍ය බොහොමයක තහනම් කෙරුණු ධජ සංකේත අඩංගු පෝස්ටු අතරට කොමඩු පෙත්ත අල්ලා ගැනීමට තවමත් ඒවා මෙහෙයවනු ලබන මෘදුකාංගවලට හෝ කෘත්‍රිම බුද්ධියට හෝ හැකිව නැත. ඇතැම්මු ඊට හසු නොවනු පිණිස රහස් අක්ෂර හා කේත භාවිත කරති.

පසුගියදා එක්සත් ජනපදයෙන් ද කොමඩු ගැන සංවාදයක් ඇසිණි. ඒ බොහෝ කලක සිට එහි සුදු ජාතිකයන් වර්ගවාදී සංකේතයක් ලෙස කොමඩු යොදා ගන්නේ යැයි එල්ල වූ විවේචනයකි. එහෙත් පලස්තීනුවන් නම් කොමඩු යොදා ගන්නේ ප්‍රතිරෝධයේ හා නොපසුබස්නාභාවයේ සංකේතයක් ලෙස බව පෙනේ.

අධිෂ්ඨානය, සාමය හා නිදහස සංකේතවත් කරමින් පලස්තීනුවන් භාවිත කරන තවත් ජනප්‍රිය අංගයකි. අරාබි ලෝකයේ බොහෝ දෙනෙක් පළඳින සුදු හා කළු කොටු රටාවක් සහිත කෙෆියේහ් (keffiyeh) නමැති කපු රෙදිකඩ.

එහි දැක්වෙන ඔලිව් පත්‍ර රටාවෙන් නොපසුබට උත්සාහය, ශක්තිය හා ඔරොත්තු දීමේ හැකියාවත් මාළු දැල් රටාව පලස්තීන ධීවරයන් හා මධ්‍යධරණී මුහුදට ජනතාවගේ ඇති සම්බන්ධයත් නිරූපණය කෙරේ. රෙද්ද මැද ඇති තද පැහැ තීරයෙන් දැක්වෙන්නේ අසල්වැසි වෙළෙඳුන් සමග ගනුදෙනු කරන වෙළෙඳ මාර්ගයි.

1930 දශකයේ බි්‍රතාන්‍ය පාලනයට එරෙහි අරාබි කැරැල්ලේදී අරාබීන් දැඩි සූර්ය තාපයෙන් ආරක්ෂා වීමට මෙම හතරැස් රෙදි කැබැල්ල මුලින්ම භාවිත කර ඇති බව පෙනේ. එය හිටපු පලස්තීන නායක යසර් අරෆත්ගේ අනන්‍යතාවය දැක්වෙන්නක් ද විය. ඔහු එය ත්‍රිකෝණාකාරව නවා උරහිස් වටා එතුන හිස් ආවරණයක් සේ අපූරුවට පැළැන්දේය.

අද කෙෆියේව පලස්තීන පාක්ෂිකයන්ගේ ගෝලීය සංකේතයකි. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එකසේ භාවිත කරන එය හිස් ආවරණයක් පමණක් නොව ඉණ වටා ගැටගසා ගැනීමටත් ස්කාෆයක්, තලප්පාවක්, ගෙල සරසන ෂෝලයක් ආදී වශයෙනුත් යොදාගනු පෙනේ.

යුද්ධය නොවූවා නම් මේ කාලය පලස්තීනයේ අතමිට සරුවන කාලයයි. ඒ 80,000 – 100,000ක තරම් ගොවීන් පිරිසකගේ ඔලිව් වගාවේ අස්වනු නෙළන කාලය වීම නිසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මේ වසරේ මුල් මාස 5 තුළ එරට බටහිර ඉවුරේ ඔලිව් ගස් 5000කට වඩා යුද්ධයෙන් වැනසී ඇත.

1974 වසරේ එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් යසර් අරපත් තමන් එක් අතකින් ඔලිව් අත්තකුත් අනෙකෙන් නිදහස් සටන්කරුවන්ගේ තුවක්කුවත් රැගෙන පැමිණි බව පවසා ‘මගේ අතින් ඔලිව් අත්ත වැටෙන්න දෙන්න එපා. ආයෙ කියන්නෙ මගේ අතින් ඔලිව් අත්ත වැටෙන්න දෙන්න එපා කියලා’යි කියා ඇත.

පලස්තීනුවන් මහත් අභිමානයෙන් භාවිත කරන තවත් ජනප්‍රිය සංකේතයක් ඇත. ඒ ඔවුන්ගේ රටේ සිතියමයි. එය 1948 වසරේ ඊශ්‍රායල් රාජ්‍යය ස්ථාපිත කිරීමට පෙර ඔවුන්ගේ භූමි සිතියමයි. එම වසරේ සියොල් හමුදා එම භූමියෙන් 78%ක් අල්ලාගත්තේ එහි විසූ 750,000ක පමණ ජනතාවක් නිවාසවලින් පන්නා දමමිනි. ඉතිරි 22% බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ දැන් සටන් ඇවිල ඇති ප්‍රදේශයයි.

මේ වන විට පලස්තීනුවන් මිලියන 7ක් කඳවුරුවල හා අසල්වැසි රටවල සරණාගතයන් ලෙස ලියාපදිංචිවී සිටිති. ලෝකයේ නොවිසඳී දීර්ඝතම කාලයක් පවතින සරණාගත ප්‍රශ්නය වන්නේ එයයි.

ලොව පුරා වෙසෙන පලස්තීනුවන් බොහොමයක් තම රටේ ඓතිහාසික සිතියම මාල පෙත්තක් සේ සකසා ගෙලේ පළඳති. ඒ මත එරට නගර, මායිම් ආදී සංකීර්ණ විස්තර සටහන් ද ඇතුළත් කර තිබීම විශේෂයකි. ඔවුන්ගේ ටී ෂර්ට් හා විවිධ අයිතමවල මේ සිතියම දැකිය හැකිය.

මේ අයුරින් පලස්තීන ජාතිකයෝ සංකේතාත්මකව යතුරක් ද යොදා ගනිති. අතීතයේ රටින් පන්නා දමද්දී ආපසු ඒමේ බලාපොරොත්තුවෙන් රැගෙන ගිය නිවසේ යතුර ඉන් අදහස් කෙරේ. වසර 75කට පමණ පසු ද ඔවුහු එය එසේම භාවිත කරන්නේ තම නිවෙසට ආපසු ඒමේ අපේක්ෂාව සංකේතවත් කරමිනි.

ලෝකයේම අවධානය දිනූ යුද්ධය අතරතුර පලස්තීනුවන් තම අදහස් පළකිරීමට යොදා ගනු ලබන කාටූන් චරිතයක් ගැන ද කිව යුතුය. හන්දලා (Handala) නමින් හැඳින්වෙන එය නජි-අල්-අලි නමැති පලස්තීන කාටූන් ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද්දකි.

හන්දලා මුලින්ම එළිදකින්නේ 1969 වසරේ කුවෙයිටී නම් පුවත්පතිනි. එය පාඨකයාට මුහුණලා සිටින චරිතයක් වුවත් 1973 යුද්ධයෙන් පසු ඇඳ ඇත්තේ පිටුපස හරවාගෙන සිටින ආකාරයෙනි. ලෝකය පලස්තීනයට පිටුපා සිටින අයුරු එමගින් නිරූපණය වෙතැයි පැවසේ.

නජි-අල්-අලි කුඩා දරුවෙකුව සිටියදී සරණාගතයකු වීමෙන් ලත් අත්දැකීම් මත හන්දලා බිහිවූ බව පැවසේ. ඊශ්‍රායල හමුදාව අනාථයකු ලෙස ඔහු ගමෙන් පන්නා දමන විට ඔහුගේ වයස අවුරුදු 10කි. කාටූනයේ එන හන්දලාගේ දෙපයේ පාවහන් නොමැත. හැඳ සිටින්නේ වැරහැලි ඇඳුම්ය. මේ කාටුනයෙන් කියවෙන සංවේදී හැඟුම් බොහෝය.

හන්දාල් (Handhal) යනු පලස්තීනයේ ශුෂ්ක පෙදෙස්වල වැවෙන තිත්ත රසැති පල හටගන්නා ශාකයකි. එය ඉතා ගැඹුරට දුවන මුල් සහිතය. ගස මුලින් කපා දැමුවද යළි වර්ධනය වන බව පැවසේ. හරියටම ඊශ්‍රායලය පලස්තීනුවන් මර්දනයට කරන වෑයම මෙනි.

කාටුන් ශිල්පී නජ්-අල්-අලි 1987 වසරේ දිනෙක ලන්ඩනයේදී ඝාතනය කරනු ලැබ තිබුණි. ඒ ගැන කිසිවකු අත්අඩංගුවට ගෙන හෝ චෝදනා එල්ල කරනු ලැබ නොතිබුණ ද ඔහු විසින් නිර්මිත හන්දෙලා තවමත් පලස්තීනයේ ජීවමානය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ දේශපාලකයන්ට වඩා නිර්මාණකරුවන්ට දේශපාලනය කළ හැකි බව නොවේද?

දීපිකා ප්‍රියදර්ශනී

advertistmentadvertistment
advertistmentadvertistment