ඊ.ටී.අයි. මූල්‍ය වංචා සමයේ මහ බැංකු මූල්‍ය සාමාජිකයන් වගඋත්තරකරුවන් කර නොතීසි නිකුත් කරයි

248

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් ඊ.ටී.අයි. සමාගමේ මුදල් තැන්පත් කළ සමයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකවරුන් ලෙස කටයුතු කළ පිරිස ද වගඋත්තරකරුවන් ලෙස නම් කර නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20දා) නියෝග කළේය. එකී තැන්පත්කරුවන්ගේ මුදල් තැන්පත් භාරගැනීමට ඊ.ටී.අයි. සමාගමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීන්දු තීරණ හා අදාළ ලේඛන ඉදිරිපත් කරන ලෙසට ද මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ ලේකම්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඊ.ටී.අයි. සමාගම සහ එහි අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කළ ජීවක එදිරිසිංහ ඇතුළු වගඋත්තරකරුවන් පස්දෙනා සම්බන්ධයෙන් වූ එකී වාර්තා සටහන්, විමර්ශනවලට අදාළ සියලු ලේඛන සති හතරක කාලයක් ඇතුළත මෝසම් පත්‍රයක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද හතරවන වගඋත්තරකාර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

තම අධිකරණයේ එකී නියෝග නව වගඋත්තරකරුවන් ඇතුළු පිරිස වෙත යැවීම සඳහා සම්බන්ධීකරණය කරන ලෙසට ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ගේ විරෝධතා ලබන ජුනි 14 වන දින හෝ ඊට පෙර ගොනු කරන ලෙසට ද නියෝග කළේය. ප්‍රතිවිරෝධතා ලබන ජුලි 15 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට ද නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ලිඛිත දේශන ලබන අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසටත් නියෝග කොට පෙත්සම් විභාගය සැප්තැම්බර් 18 වැනිදා පැවැත්වීමටත් නියෝග කළේය.

එදින එම පෙත්සම නඩු ලේඛනයේ ප්‍රමුඛතාවයක් ලබාදී කැඳවීමට ද එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය. ඊ. ටී. අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංවිධානය වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් මත නීතිඥ සඳුන් සේනාධිපති මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment