උක් ගොවීහු සෙවණගල සීනි ආයතනය වටලති

70

උක් ටොන් 5000ක් ට්‍රැක්ටර්වල පටවා මහ පාරේ

සෙවණගල සීනි ආයතනයේ සේවකයන් ඇතුළු පාලනාධිකාරියට විරෝධය පළකරමින් සෙවණගල උක් ගොවීහු ඊයේ (08 දා) පෙරවරුවේ සෙවණගල සීනි ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවට එක්ව සිටි ගොවීහු පැවසුවේ සෑම වසරකම පාහේ උක් අස්වනු නෙළන කාලයට පාලනාධිකාරිය හා සේවකයන් එක්ව මෙලෙස ගොවීන්ගේ උක් අස්වනු කුණු කොල්ලයට මිලදී ගැනීම සඳහා කුමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරන බවයි.

සෙවණගල සීනි ආයතනයේ සේවකයන් 2023 වසරට අදාළ ලාභාංශ ලබා නොදීමට විරෝධය පළකරමින් පසුගිය 05 දා සිට උක් ඇඹරීමෙන් ඉවත්ව ඉන්නවා. මේ හේතුවෙන් ගොවීහු දැඩි අසීරුතාවකට පත්වෙලා ඉන්නෙ. මේ නිසා නෙළපු උක් අස්වැන්න දීගන්න බැහැ. මේ වනවිට උක් ටොන් 5000ක් විතර කපලා ට්‍රැක්ටර්වල පටවලා දවස් ගාණක් තිස්සේ මහ පාරවල් අයිනේ නවත්තලා දාලා තියෙනවා. මේ උක් මේ විදියට තියෙන්න තියෙන්න මේවා වේලිලා යනවා වගේම බරත් අඩුවෙලා යනවා. එහෙම වුණාම මෙහි තියෙන පැණි ප්‍රතිශතය අඩුවෙලා යනවා. අපි මේ උක් අස්වනු නෙළන්නේ කණකර උකස් කරලා. අද වෙනකොට අපි අන්ත අසරණ වෙලා ඉන්නවා යැයි විරෝධතාවට එක්ව සිටි ගොවීහු පැවසීය.

උක් ගොවීහු සෙවණගල සීනි ආයතනය වටලති

උක් ගොවීන් සෙවණගල සීනි ආයතනයේ ප්‍රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවයේ නිරත වීමත් සමග එම ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරී සනත් කුමාර මහතා තත්ත්වය පාලනය කර ගොවීහු කිහිප දෙනකුට පමණක් සීනි අයතනයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට පියවර ගැණුනි.

එහිදී සෙවණගල සීනි ආයතනයේ පාලනාධිකාරිය විසින් දැනට අස්වනු නෙලන ලද උක් ප්‍රමාණය අද සිට යළි ඇඹරීමටත්, එළැඹෙන 12 දා අමාත්‍යවරයා සමග සාකච්ජාවක් ලබාදීමටත් පොරොන්දු වීමෙන් පසු උක් ගොවීන් දහවල් 2.30ට පමණ විරෝධතාව අවසන් කෙරුණි.

මත්තල – දිලීප් එන්. ජයසේකර සහ සූරියවැව – රොෂාන් ගුණසේකර

advertistmentadvertistment
advertistmentadvertistment