උපත් – විවාහ –  මරණ සහතිකවලට පරම ආයුෂ දෙයි

286

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපත්, විවාහ, මරණ ලේඛනයන්හි පිටපත් කිසිදු කාලයකට සීමා නොකර පිළිගන්නා ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාල් පී. එස්. පී. අබේවර්ධන මහතා රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත.

මෙම සහතික නිකුත් කළ දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා පමණක් වලංගු බවට සහතික පිටපත්වල සඳහන් කර තිබෙන බවත් එය සැලකිල්ලට ගෙන මහජනතාව විශාල වශයෙන් පිටපත් ලබා ගැනීමට පෙලඹීම නිසා මෙම පියවර ගත් බවත් ඒ මහතා පැවසීය.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම පනත් හි ප්‍රතිපාදන අනුව රෙජිස්ට්‍රාර් ජෙනරාල් විසින් නිකුත් කරනු ලබන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර දිගටම පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ මේ වනවිට දැනුවත් කර ඇතැයිද ඒ හතා පවසයි.

එම නිසා මේ පිළිබඳව රාජ්‍ය ආයතනවල පිටපත් ලබා ගැනීමට හෝ ඉදිරිපත් කිරීමට පැමිණෙන සේවාලාභීන් දැනුවත් කිරීමට නිවේදනයක් මහජනතාවට හොඳින් දර්ශනය වන ආකාරයට කාර්යාලයේ ප්‍රදර්ශනය කරන ලෙසද ඒ මහතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර තිබේ.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment