එකී මෙකී නොකී කතා සමග හෙට නිමාවන ලෝක කුසලාන හොකී

250

වත්මන් ජගත් කෙළිබිම තුළ වේගවත්ම ක්‍රීඩා අතරේ හොකී ක්‍රීඩාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. අයිස් හොකී ක්‍රීඩාව මෙන්ම ක්ෂේත්‍ර හොකී ක්‍රීඩාව සහ ගෘහස්ථ හොකී ක්‍රීඩාව හා කාර්යාල හොකී ක්‍රීඩාව වැනි ශෛලීන්ගෙන් සමන්විත වන වත්මන් හොකී කෙළි බිම වර්ණවත් කරන ක්ෂේත්‍ර හොකී ක්‍රීඩාවේ නිරත රටවල් සංඛ්‍යාව එකසිය පනහකට වැඩිය.

ස්වාභාවික තණ නිල්ල තුළදී ඇරඹුම සටහන් කළ ක්ෂේත්‍ර හොකී ක්‍රීඩාව අද වන විට කෘතිම තණ පළසට මාරු වී ඇත්තේ ක්‍රීඩාවේ වේගවත් බව සහ ආකර්ශනීය බව මෙන්ම තාක්ෂණික ක්‍රම ශිල්ප ද වඩාත් වැඩිදියුණු කරමිනි. මීට වර්ෂ 4000 කට පමණ පෙර පුරාණ ග්‍රීක්වරු සහ පර්සියන්වරු හා රතු ඉන්දියානුවන් විසින් අවිධිමත් ලෙස සහ අසංවිධානාත්මක ලෙස නිරත වූ ශාරීරික ක්‍රියාකාරකම් කිහිපයක් එක් කරමින් පසු කාලීනව හොකී ක්‍රීඩාව නිර්මාණය වූ බව ඉතිහාසයේ සඳහන් වන්නේය. ග්‍රීසියේ ඇති ස්මාරක ලෙන් තුළ හොකි ක්‍රීඩාවේ “බුලි” කිරීමේ අවස්ථාවක් විදහා දැක්වෙන ශෛලමය කැටයම් කිහිපයක් ඇති බව ඉතිහාසඥයන් විසින් ලොවට කියා දී තිබේ.

පසුව බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් විධිමත් හා සංවිධානාත්මක ක්‍රීඩාවක් බවට පත් කරමින් හොකී ක්‍රීඩාව විදෙස් රටවල් අතරට ගෙන යමින් ජනතා හිතවාදී ක්‍රීඩාවක් බවට සහ ආකර්ශනීය ක්‍රීඩාවක් බවට පරිවර්තනය කරන්නට සමත්වූ බවද සඳහන් කළ යුතුමය. ඒ අනුව යමින් ආරම්භ කෙරුණු ජාත්‍යන්තර තරග මාලාවන් අතරේ ලෝක කුසලාන පිරිමි තරගාවලියට ඇත්තේ අතිශය ඉහළ පිළිගැනීමකි. එහි සමාරම්භක තරගාවලිය වර්ෂ 1971 ස්පාඤ්ඤයේ බාසීලෝනා හීදී ක්‍රියාත්මක කරන්නට ජාත්‍යන්තර හොකී සම්මේලනය පියවර ගත්තේ සියවස් ගණනක්

ඈතට රැගෙන යෑමට හැකි වන පරිදි ව්‍යවස්ථා කෙටුම්පත් කරමින් වීම ද කැපී පෙනේ. ඒ අනුව යමින් ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංගා කෘතිම ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් දැන් ක්‍රියාත්මක 15 වැනි ලෝක කුසලාන පිරිමි හොකී තරගාවලියේ තීරණාත්මක අවසාන මහා සටන හෙට (29 වෙනිදා) රාත්‍රී 07.00 ට ආරම්භ කෙරේ.

ඊට පෙරාතුව ලෝකඩ පදක්කම සඳහා වන තරගය ආරම්භ කිරීමට සංවිධායකයන් පියවර ගෙන ඇත්තේ සම්ප්‍රදායට අනුව යමින් “රන්”, “රිදී” සහ “ලෝකඩ” පදක්කම් පිරිනැමීමේ අරමුණ ඇතිවය. ඔස්ටේ්‍රලියාව, බෙල්ජියම, නෙදර්ලන්තය සහ ජර්මනිය යන රටවල් හතරෙන් තුනකට මෙවර පදක්කම් හිමි වීම අද රාත්‍රියේ දී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට සත්කාරකත්වය ලබා දෙන ඉන්දීය හොකී සංගමය හා එක්ව ජාත්‍යන්තර හොකී සම්මේලනය පියවර ගෙන තිබේ. 1982 සහ 2010 ආදර්ශයට ගනිමින් ඉකුත් 2018 වසරේ දී මෙන්ම මෙවරද ලෝක කුසලානයට සත්කාරකත්වය ලබා දීමේ ගෞරවය ඉන්දියාව සතු කර ගත් නමුත් එරටට හිමිවූ අවස්ථා 04 දීම පදක්කමක් කරා යෑමට නොහැකි වීම කැපී පෙනුණි.

සත්කාරක දේශය ලෙස නෙදර්ලන්තය 1973 සහ 1998 දීද ජර්මනිය 2006 දීද රන් පදක්කම ගෙල පැළඳ ගත්තේය.

වත්මන් ජගත් කෙළිබිම හොකී ක්‍රීඩාවේ පදක්කම් යුරෝපයට හෝ ඔස්ටේ්‍රලියානුවන්ට ඇදී යන වාතාවරණයක් මත ජාත්‍යන්තර හොකී සම්මේලනයේ මුල් පුටුව ආරක්ෂා කර ගැනීමට ආසියානුවන්ට හැකි වීම ඒ අතරේ කැපී පෙනේ. ලෝක කුසලාන පිරිමි හොකී

තරගාවලියේ 15 වැන්න ආර්ජන්ටිනාව සහ දකුණු අප්‍රිකාව අතර ඉකුත් 13 දින පස්වරු 1.00 ට පැවැත් වූ තරගයෙන් ආරම්භ කෙරුණි.

පැයක කාලයක් පුරා ක්‍රියාත්මක කෙරුණු මෙම
තරගයේ ජයග්‍රහණය ආරම්භයේ සිට අවසානය දක්වාම දෙපිළ වෙතම දෝලනය වූ නමුත් අවසානයේ ගෝල්

01 – 00 ක් ලෙස ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ආර්ජන්ටිනාවට හැකි විය. ඒ අනුව යමින් දින 17 ක් පුරාවට ක්‍රියාත්මක කෙරුණු මෙවර තරග මාලාවේ අතිශය සටන්කාමීත්වය දැක ගන්නට හැකියාව ලැබුණේ ආරම්භක දිනයේ පටන් වීම කැපී පෙනුණේය.

මෙවර තරගාවලියට එක්වූ රටවල් සංඛ්‍යාව 16 කි. වේල්සය සහ චිලී දේශය පිරිමි ලෝක කුසලාන හොකී පවුලට එක්වූ නවතම සාමාජිකයන් වීම ඒ අතරේ කැපී පෙනුණේය. ඒ අනුව ලෝක කුසලාන හොකී තරග පවුලට එක්වූ රටවල් සංඛ්‍යාවේ එකතුව 27 දක්වා ඉහළට ගියේය.

මෙවර තරගාවලියේ දී ආර්ජන්ටිනාව, ඔස්‌ට්‍රේලියාව, ප්‍රංශය සහ දකුණු අප්‍රිකාව “A” කාණ්ඩය යටතේ ද, බෙල්ජියම, ජර්මනිය, ජපානය සහ කොරියාව “B” කාණ්ඩය යටතේ ද චිලී, මැලේසියාව, නෙදර්ලන්තය සහ නවසීලන්තය “C‍” කාණ්ඩය යටතේ ද, එංගලන්තය ඉන්දියාව, ස්පාඤ්ඤය සහ වේල්සය “D” කාණ්ඩය යටතේ ද ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කරන ලද මූලික වටයට අවතීරණ විය.

ඉනික්බිතිව ක්‍රියාත්මක කළ මෙවර අර්ධ අවසාන පූර්ව වටයේ දී නවසීලන්තය ගෝල් 02 – 00 කින් පරදා බෙල්ජියම ද දකුණු කොරියාව ගෝල් 05 – 01 කින් පරදා නෙදර්ලන්තය ද එංගලන්තය ගෝල් 06 – 05 කින් පරදා ජර්මනිය ද ස්පාඤ්ඤය ගෝල් 04 – 03 කින් පරදා ඔස්‌ට්‍රේලියාව ද ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් විය. “D” කාණ්ඩයේ ශූරයන් වූ එංගලන්තය දඬුවම් පහර ආශ්‍රිතව (08 Seconds penalty Shoot Out) ස්පාඤ්ඤය පරාජය කළේය.

ඒ අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ රැඳී සිටින ඔස්‌ට්‍රේලියාව සමග අංක 04 හිමි ජර්මනිය ද ලෝක ශ්‍රේණිගත කිරීම අනුව අංක 02 ස්ථානය තහවුරු කරගෙන සිටින බෙල්ජියම සමග අංක 03 ස්ථානයේ රැඳී සිටින නෙදර්ලන්තය ද ඉකුත් සිකුරාදා (27) අවසන් පූර්ව වටය යටතේ සටන් වැදුනේය.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව විශාලතම ජයග්‍රහණය වාර්තා කර ගැනීමට නෙදර්ලන්තයට හැකියාව ලැබිණි. ඒ ප්‍රතිවාදී වේල්සයට එරෙහිව ගෝල් 14 – 00 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි. එම තරගයේදී ක්‍රීඩකයන් 08 දෙනකු ගෝල් රැස් කිරීම ද විශේෂත්වයකි. ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන මන්ෆීට් සිං මෙවර තරගාවලියට එක්ව සිටි ජ්‍යෙෂ්ඨතම හොකී ක්‍රීඩකයා වෙයි. ඔහු සහභාගි වී ඇති ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 314 කි.

මෙතෙක් පවත්වා ගෙන ආ තරග ඉතිහාසය තුළ (ජර්මනිය, නෙදර්ලන්තය සහ බෙල්ජියම) යුරෝපය 06 වතාවක් ද, (ඉන්දියාව සහ පකිස්තානය) ආසියා මහද්වීපය 05 වතාවක් ද ඔස්‌ට්‍රේලියානු මහද්වීපය 03 (ඔස්‌ට්‍රේලියාව) වතාවක් ද “ලෝක කුසලාන” දිනා ගෙන තිබීම විශේෂිතය. 1971, 1978, 1981, 1994 පකිස්තානය (04) ද 1973, 1990, 1998 නෙදර්ලන්තය (03) ද 1986, 2010, 2014 ඔස්‌ට්‍රේලියාව (03) ද 2002, 2006 ජර්මනිය (02) ද 1975 ඉන්දියාව (01) ද 2018 බෙල්ජියම (01) යන වසරවලදී ලෝක කුසලාන හොකී ශූරතාව දිනා ගත් රටවල් වෙති.

ලෝක කුසලාන හොකී ඉතිහාසය තුළ වැඩිම රන් පදක්කම් ලාභී පකිස්ථානය ට මෙවර තරගාවලියට එක්වීමට තරම් වාසනාව නොලැබීම ද විශේෂත්වයකි. ඒ අනුව ආසියාව නියෝජනය කරමින් ඉන්දියාව, ජපානය සහ මැලේසියාව මෙවර තරගාවලියට එක් විණි. මෙතෙක් පැවති අවස්ථා 14 න් 10 කදීම පදක්කම් දිනා ගනිමින් මුදුන් හිණිපෙත්තේ රැඳී සිටීමට ඔස්‌ට්‍රේලියානුවන්ට හැකි විය.

නෙදර්ලන්තය පදක්කම් 09 ක් ද ජර්මනිය පදක්කම් 08 ක්ද දිනා ගත්තේය.

මෙතෙක් පැවැති තරග ඉතිහාසයෙහි පදක්කම් ලාභී රටවල් සංඛ්‍යාවේ එකතුව 09 කි.

ඉකුත් 2018 වසරේ පවත්වන ලද ආසන්නම තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බෙල්ජියම සමත් වන අතර වාරයේ නෙදර්ලන්තයට රිදී පදක්කම හිමි විය. එවර ලෝකඩ පදක්කම ඔස්‌ට්‍රේලියාව සතු විය. බෙල්ජියම සහ නෙදර්ලන්තය අතර පැවති එවර අවසන් මහා තරගය ආරම්භයේ සිට අවසාන නිමේශය දක්වාම අතිශය තියුණු මුහුණුවරක් ඉසුලූ අතර එහි අවසන් ප්‍රතිඵලය දඬුවම් පහර (08 Seconds penalty Shoot Out) ආශ්‍රිතව වාර්තා වීම කැපී පෙනුණි. ලෝක කුසලාන අවසන් තරගයකට බෙල්ජියම ප්‍රවිෂ්ටවූ පළමු අවස්ථාව ද එය විය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment