ඔන්ලයින් පනතට සජිත්ගෙන් ප්‍රහාරයක්

100

ජනතාව මර්දනය කිරීමට උත්සාහ දරන සියලු පනත් කෙටුම්පත් ප්‍රතික්ෂේප කරනවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය විසින් සම්මත කිරීමට උත්සාහ දරන මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත පිළිබඳව සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු සංවිධාන රැසක් සමග සාකච්ඡාවකට විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18 දා) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කණ්ඩායම්, වෘත්තීය සමිති ආදී පාර්ශ්වකරුවන් රැසක් හා විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ගණනාවක් සමග සිදු කළ සාකච්ඡාවලදී තමන් මේ පිළිබඳව පැහැදිලි නිගමනයකට පැමිණි බවත් ඒ අනුව රජය ඉදිරිපත් කරන මාර්ගගත සුර්ක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කර ඒ සඳහා විරෝධතාව පළ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ දරුවන්ගේ, මව්වරුන්ගේ, සාමාන්‍ය ජනතාවගේ, අවදානමනට ලක්වූ කොට්ඨාසවල අයිතීන් සුරක්ෂා කරනවා යන නාමයෙන් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි අණපනත් ඉදිරිපත් කර රජය ඒකාධිපතීත්වයක් රට තුළ ස්ථාපිත කර භාෂණයේ, සාකච්ඡා කිරීමේ, විවාද කිරීමේ හා තොරතුරු දැන ගැනීමේ නිදහස ඇතුළු මානව අයිතීන් මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන දරදඬු ක්‍රියාදාමයකට ප්‍රවේශ වන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ජනාධිපතිවරයා රටටත් ලොවටත් පෙන්වා ඇත්තේ ඔහු ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයකු ලෙස වුවත් මෙම පනත ක්‍රියාත්මක කිරීම හරහා ඔහු මවාගත් ස්වරූපය බොරුවක් බවට ඔප්පු වන බවත් මේ පනත හරහා ඔහුටත් ඔහු පත් කරන කොමිසමේ සාමාජිකයන්ටත්, ඔහු පත් කරන ආරක්ෂක අංශවලටත් රිසිසේ මේ රටේ පොදුජනතාව අසහනයට, පීඩනයට ලක් කළ හැකි බවත් කතා කළොත් සිරගෙදර හිමිවන බවට බිය ගන්වා ජනතාවගේ කටවල් වහන වැඩපිළිවෙළකට ජනාධිපතිවරයා යොමුවී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී සඳහන් කළේය.

එසේම ජනාධිපතිවරයා සැබෑම ප්‍රජාතන්ත්‍රවාදියකු නම් මෙම පනත ඉල්ලා අස් කර ගෙන පාර්ශ්වකරුවන් සියලු දෙනා සමග ප්‍රබුද්ධ ප්‍රශස්ත සාකච්ඡාවකට යොමුවිය යුතු බවත් රටේ සමාජ මාධ්‍ය වැඩපිළිවෙළ අතුරුදන් කරන තත්ත්වයකට කටයුතු නොකරන ලෙසත් පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළකට ප්‍රවේශ වීම යෝග්‍ය බවත් ජනාධිපතිවරයාට මතක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමගි ජන බලවේගය ජනතා වරමින් බලයට පත්වූ විගසම අත්තනෝමතිකව සම්මත කර ගත් සියලුම ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත් සියල්ල අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බවත් එතෙක් මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස තානාපතිවරුන්ගෙන්ද ඉල්ලා සිටින බවත් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී අණපනත් පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment