ඕමානයේ සුරක්‍ෂා නිවසේ කැත වැඩ රැසක් විමර්ශනවලින් එළියට

188

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවස සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මිනිස් වෙළෙඳාම හා කාර්යංශ පනත උල්ලංඝනය කිරීම පිළිබඳව ගනුදෙනු රැසක් අනාවරණය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඕමානයේ
රැකියා සඳහා පිටත්ව ගොස් එරටදී සිදුවූ විවිධ කරදර හා වෙනත් හේතු මත රැකියාව සිදු කිරීමට නොහැකිව තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවස වෙත පැමිණ රැඳී සිටි කාන්තාවන්ගේ ගැටලු පිළිබඳව විමර්ශන කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 10 වැනිදා ඕමානය බලා පිටත් වූහ.

එහිදී කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන්ගෙන් ලබා ගන්නා ලද ප්‍රකාශ අනුව, කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නීති විරෝධීව විදේශ රැකියා සඳහා කාන්තාවන් යොමුකර ඇති අවස්ථා පිළිබඳව මෙතෙක් සිදු කරන ලද විමර්ශන අනුව තහවුරු වේ. මීට අමතරව, මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට නියමිතය.

විමර්ශනවලට අනුව කාර්යාංශ පනත උල්ලංඝනය කර ඇති පුද්ගලයන්ට හා මිනිස් වෙළෙඳාමට සම්බන්ධ පාර්ශ්වයන්ට විරුද්ධව ඉදිරියේදී නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ද කටයුතු කිරීමට නියමිතව ඇත.

කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඕමානයේ සුරක්ෂා නිවසේ රැඳී සිටි කාන්තාවන් 84 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඒ අතරින් කාර්යාංශ පනත උල්ලංඝනය කිරීම් හා මිනිස් වෙළෙඳාම සම්බන්ධ කරුණු අනාවරණය වී ඇත. ඊට අදාළ සැකකරුවන් ද බොහෝ දුරට මේ වන විට හඳුනාගෙන ඇත. එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒකාබද්ධව ක්‍රියා කිරීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment