කමල් හසන්ගෙන් ගත් රන් කිලෝව ප්‍රියමාලිට විකුණා දුන් සැකකරු 2 වැනිදා දක්වා රිමාන්ඩ්

277

තිකෝ සමූහ ව්‍යාපාරයේ තිළිණි ප්‍රියමාලි නමැත්තිය කමල් හසන් යන පුද්ගලයාගෙන් ලබා ගත් රුපියල් කෝටියක් පමණ වටිනා රන් කිලෝ එක විකිණීමට සෘජුව දායක වූ බව කියන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා ලබන නොවැම්බර් මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ (28 දා) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සමග අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම රන් කිලෝ එක මිලට ගත් බව කියන අධිකරණයට ඉදිරිපත් කළ ජාඇල දුම්රියපළ පාරේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසල හිමිකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇප, රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ඉදිරිපත් කරන ලෙසත් ඇපකරුවන් පදිංචි සහතික ඉදිරිපත් කළ යුතු බවටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම රන් කිලෝ එක මිලට ගත් ස්වර්ණාභරණ හිමිකරු සන්තකයේ තිබූ රන් පවුම් 40ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එමෙන්ම ඔහු විකුණූ බව කියන රන් පවුම් 20කට අදාළව රුපියල් ලක්ෂ 30ක මුදලක් සැකකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment