අමුතු ප්‍රජාතන්ත්‍රවාදය! – ඉම්තියාස් බාකීර් මාකාර්

56

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අපේ රටට විරුද්ධව ගෙනආ යෝජනාව සම්මත කරගෙන තිබෙනවා. යෝජනාව නම්කර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යනුවෙන්. එහෙත් ශ්‍රී ලංකාව එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතළ ඉන්ධන හිඟය, ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි යෝජනාවලියෙන් දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවද එහි දැක්වෙනවා.

සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගි වූවන් අත්අඩංගුවට ගැනීම ගැනත් එහි සඳහන් වෙලා තිබෙනවා.

ශ්‍රී ලංකාව ස්වාධීන රටක්. ඒ පිළිබඳ කිසිම තර්කයක් නැහැ. නමුත් ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලය සමග සම්බන්ධ රටක්. ජාත්‍යන්තරයට අත දිගු කරපු රටක්. හුදකලා බවින් මිදී ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්නට තීන්දු කළ රටක්. ඒ නිසා අපිට හුදකලා ගමනක් නැහැ. ඕනෑම රටක උද්දච්ඡ මානසිකත්වය තියෙන පාලනයක් විසින් ඒ රටට ඉතිරි කරන්නේ ඉතාම අවාසනාවන්ත ඛේදවාචකයක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර සබඳතා කියන කාරණය මානව හිමිකම් සමග එකට බද්ධ වෙලා තියෙනවා. ඒකාධිපති, වියරු පාලකයන්ට ජනතාව මෙල්ල කිරීමේ අයිතිය මේ වෙනකොට ලෝකය පුරාම වාගේ ඇහිරී ගොසින් තිබෙනවා. ඒ බව සියලු පාලකයන් තේරුම් ගැනීම ඉතාම වැදගත්. අපේ රට ධනවාදී පාලනයන්, මාක්ස්වාදී පාලනයන් පහුකරලා අලුත් යුගයකට ඇවිත් තියෙනවා. ඒවගෙන් පාඩම් ඉගෙන ගත්තු යුගයකට අපි ප්‍රවේශ වෙලා ඉන්නේ. අද ඉන්න පරම්පරාව ලෑස්ති නැහැ රාජාණ්ඩු කාලෙදී වගේ රජවරු ඉස්සරහ දණගහපු, ප්‍රශස්ති කියපු කාලෙට යන්න නූතන පරපුර සූදානම් නැහැ.

රටක් හැටියට අපි ඉතාමත් තීරණාත්මක අසීරු අඩියක සිටින මොහොතේ ලෝකයක් සමග ජාත්‍යන්තර වශයෙන් කළ යුතු ශිෂ්ට සම්පන්න ගනුදෙනුව අපේ රට අමතක කරලා දැමුවා. ඒ අමතක කිරීමේ ප්‍රතිඵලය අද අපි ඉතාම අවාසනාවන්ත විදිහට භුක්ති විඳිමින් සිටිනවා. ලෝකයේම දැන් අප වෙත දිගු කරගෙන ගොඩනැඟී යුතු වකවානුවක, අපි ලෝකය දිගු කරන සුහදත්වය දැන් දෑත් එකතු කරගන්නවා වෙනුවට තර්ජනාංගුලිය දෑත් අප වෙත යොමු කර ගැනීම දක්වාම අපේ ජාත්‍යන්තර සබඳතා පළුදු කර ගෙන තිබෙනවා.

රටක ආර්ථිකය සහමුලින්ම විනාශ කිරීම සම්බන්ධව මානව හිමිකම් කවුන්සිලය තුළ බරපතළ සාකච්ඡාවකට ලක් වෙනවා. මේ රටේ පුරවැසි අරගලයක් තුළින් ගෙදර යැවූ පාලනයක චූදිතයන්ව නැවත පාවඩ එලා ගෙන්වා ගැනීමේ සුහදශීලී මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මේවා පිළිබඳව ලෝකයා අවධානයෙන් ඉන්නවා.

එක පැත්තකින් මේ රටේ අරගලයට දායක වූ තරුණ පිරිස් මර්දනය කරමින්, ජනතා අරගලය විසින් ගෙදර යැවූ පිරිස් නැවත ගෙන්වා ගනිමින් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව ලෝකය ඇස් කන් පියාගෙන බලා සිටී ද?.

ආණ්ඩුව මේ සියලු තත්ත්වයන් මැද තවත් අදූරදර්ශී කටයුත්තකට මුල පුරලා තියෙනවා. ඒ පුනරුත්ථාපන කාර්යාංශය කියලා ආයතනයක් පිහිටුවීම.

ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ එකාව පුනරුත්ථාපනය කිරීමට ද?

ඖෂධවලට ඇබ්බැහි වූ තැනැත්තන් බවට පත්වූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම, නොමඟ ගිය සටන්කරුවන්, අන්තගාමීන් හෝ විනාශකාරී කඩාකප්පල් ක්‍රියාවල නිරත වන තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම වගෙයි යෝජනා එහි තිබෙනවා.

ඇත්ත වශයෙන්ම මේ සිදුවන්නේ ඉතිහාසය නැවත කැරකීමක්ද?. තීරණාත්මක වචනවලට මුවා වෙලා නැවත වතාවක් මර්දනයේ හස්තය රාජ්‍ය පාලනයට යොදා ගැනීමක් ද?

පුරවැසි අරගලයට දායක වුණු ප්‍රමුඛ පෙළේ තරුණයන් රැසක් තවමත් අත්අඩංගුවේ පසුවනවා. ශිෂ්‍ය ක්‍රියාකාරීන් රාශියක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට සීමා පැනවෙන බොහෝ ක්‍රියාමාර්ගයන් ආණ්ඩුව විවිධ අවස්ථාවල ගැනීමට උත්සාහ කරමින් තිබෙනවා. ඒ සියල්ල මැද පුනරුත්ථාපන කාර්යාල ගොඩනැඟීමට කටයුතු කරනවා.

සාමකාමී පුරවැසි අරගලයට එරෙහිව ප්‍රති අරගලයක් ආරම්භ කරපු එවක ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වර්තමානයේදී ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද?. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සමුගැනීමේ උද්ඝෝෂණයෙන් අනතුරුව ගෝල්ෆේස් පරිශ්‍රයට ප්‍රහාර එල්ල කළ නොනිල මැරයන්ට එරෙහිව ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මෙරට ආර්ථික වශයෙන් බංකොළොත් කළ කණ්ඩායම්වලට එරෙහිව ආණ්ඩුව අවම තරමේ නිදහසට කරුණු හෝ විමසා තිබෙනවා ද?

එවැනි තත්ත්වයක් තුළ තමන්ට ප්‍රති විරුද්ධ මත දරන පාර්ශ්ව ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව ගෙන යනු ලබන මර්දනයේ අරුථ කුමක්ද?.

අපේ රටේ පුනරුත්ථාපනය කරපු අවස්ථාවන් පිළිබඳ අතිශය ඛේදනීය ඉතිහාසයක් තිබෙනවා. ලෝකයේත් එවැනි අවස්ථා තියනවා. 71 කැරැල්ලේදී අධිකරණ විභාගයකදී ලොකු වරදවල් කරපු උදවිය සිර දඬුවම් දුන්නා. සුළු වැරදි කරපු උදවිය පුනරුත්ථාපනයට ගියා. 89 යුගයේදී වගේම යුද්ධයේදීත් ඒක සිද්ධ කළා අධිකරණ විභාගවලින් පස්සේ දැන් පුනරුත්ථාපනය කරන්න සුදුසුයි කියලා තීන්දු කරන්න යන්නේ කවුද? ආරක්ෂක ලේකම් තුමාද? නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශය භාර ජනාධිපතිතුමාද?.

අද ආණ්ඩුව ලිබරල්වාදය පිළිබඳව අපූරු චිත්‍රයක් පෙන්වමින් තිබෙනවා. හැබැයි ඒ චිත්‍රයට යටින් තිබෙන සැබෑ ලිබරල්වාදය ෆැසිස්ට්වාදයකටත් වඩා බියකරුයි.

සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය මොනතරම් මනරම්ද?. එහෙත් මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය මොන තරම් බියකරුද?

පනස් ගණන්වල හර්තාලය හේතුකොටගෙන පීඩාව දරාගන්නට බැරිව එළියට බට මිනිස්සුන්ව පුනරුත්ථාපනය කරන්න ඩඩ්ලි සේනානායක මහත්තයා කටයුතු කළේ නෑ. 75දී සරසවියේ වීරසූරියව ඝාතනය කළ වෙලාවේ අපි පාරට බැස විරෝධතා දැක්වූවා. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව අපිව නඩු විභාගවලින් තොරව පුනරුත්ථාපනය කරන්න කටයුතු කළේ නැහැ. පාරවල්වල පෙලපාළි ගියා සටන් පාඨ කීව ඉතිහාසය අපිට මතක් වෙනවා. 75 ඉඳන් 77 දක්වා ආණ්ඩුව ජනමත විචාරණයකින් තොරව පාලනය දිග් කර ගත්ත වෙලාවේ දළුගම ඉඳන් පෑලියගොඩ දක්වා පාරවල්වල සටන් පාඨ ලියපු හැටි අපිට මතක් වෙනවා. ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී කියල ලේබලයට මුවා වෙලා අපිව පුනරුත්ථාපන කමිටුවලට යැව්වේ නැහැ.

“ඔබ කාගෙන් හෝ ණයක් ගෙන තිබෙනවා නම් ඒ ණය වෙනුවෙන් ඔබ වන්දි ගෙවිය යුතුයි” යනුවෙන් ප්‍රකාශයක් තිබෙනවා.

මේ රටේ අශිෂ්ට පාලනයක් පෙරළා දැමීමට කටයුතු කළේ තරුණ පරම්පරාව. නමුත් ඒ අශිෂ්ට පාලකයන්ගෙ පරාජයෙන් පසුව, බලය ලබා දෙන ඇත්තේ ඔවුන්ගේ ආශිර්වාදය හිමි අයකු නම් ඔහු ඒ ආශිර්වාදයේ වන්දිය ඔවුන්ට ගෙවිය යුතුයි. මේ සිදුවෙමින් පවතින්නේ එය ද යන්න කල්පනාකාරීව විමසා බැලීම වැදගත්.

වෙස් මුහුණු පැළඳගෙන වෙනත් වේශයකින් එන ට්‍රෝජන් අශ්වයන්ව හඳුනාගැනීම තීරණාත්මක අවශ්‍යතාවයක්.

advertistmentadvertistment
advertistmentadvertistment