ක්‍රීඩා සම්මේලනවල කෙරුවාව අරගලයටත් වඩා භයානකයි

205

හැමතැනම මාෆියාවක් වසා ගෙන තිබෙනවා – පාපන්දු සම්මේලන සභාපති ජේ. ශ්‍රී රංගා

මෙරට ක්‍රීඩා සංගම් හා සම්මේලන යනු දේශපාලනයටත් වඩා මාෆියාවක් ක්‍රියාත්මක වන ස්ථානයක් බවත් මෙතරම් මාෆියාවක් පාපන්දු සම්මේලනය වටා ක්‍රියාත්මක වන බව දන්නේ නම් තමන් පාපන්දු සභාපති ධුරයට තරඟ කරන්නේ නැති බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නව සභාපති ජේ ශ්‍රී රංගා මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය දේශපාලනයට හා පසුගිය අරගලයටත් වඩා භයානක තත්ත්වයක් බවත් සභාපති ධුරයට පත් වීම නිසා තමාට දැන් ජීවිත තර්ජන පවා තිබෙන බවත් ජේ. ශ්‍රී රංගා මහතා ප්‍රකාශ කළේය.

තමන් සභාපති ධුරයට පත්වූවද තමා ඇතුළු විධායක කමිටුවට හිටපු සභාපතිවරයා සම්මේලනයේ ඊමේල් රහස් අංකයවත් ලබා දී නැති බවද තමන් කාගෙවත් රූකඩයක් වෙන්න නොපැමිණි බවද රංගා මහතා සඳහන් කළේය.

ජේ.ශ්‍රී රංගා මහතා පසුගිය 14 වැනිදා පැවැති පාපන්දු සම්මේලන නිලවරණයේදී වැඩි ඡන්ද තුනක් ලබාගෙන සභාපති ධුරයට පත්වූ අතර ඒ මහතා ඊට පෙර වසර පහක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර තිබුණි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මගින් ශ්‍රී ලංකා පාපන්දු තහනම් කිරීම පිළිබඳව පෙරේදා (23 වැනිදා) පාපන්දු සම්මේලනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී ජේ. ශ්‍රී රංගා මහතා එම අදහස් දැක්වීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රංගා මහතා එසේ ද සඳහන් කළේය.

“මේ මගේ පළමු මාධ්‍ය හමුව. අපි ඔබව මුලින්ම හමුවෙන්න බලාපොරොත්තු වුණේ මේ වගේ දෙයක් කියන්න නෙවෙයි. ඒත් අද වන විට අපේ පාපන්දුව තහනම් කරලා තිබෙනවා. ඒත් අද වන තෙක් අපට ඒ වෙනුවෙන් කිසිවක් කරන්න ලැබුණේ නැහැ. මොකද මම සභාපති බවට පත් වුණා කියලා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට දැනුම් දීලා තිබුණේ නැහැ. මම පත්වුණේ 14වැනිදා. ඒත් එතුමා මාගේ පත්වීම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට දැනුම් දී තිබුණේ පසුගිය 23 වැනිදායි.

මොකක්ද මේ වැඩවල තේරුම? ඇයි අපට මෙහෙම කරන්නේ? හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ගැන කතා කරන්නවත් මම කැමති නැහැ. මම පාපන්දු සම්මේලනයට අභ්‍යන්තර ගිණුම් පරීක්ෂකවරයකු පත් කරන්න තීරණය කළා. දූෂණය නතර නොකර රටේ ක්‍රීඩාව දියුණු කරන්න බැහැ. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවෙන් සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සම්මේලනයේ පසුගිය මුදල් පිළිබඳව සොයා බලයි. මේවා හංගන්න පුළුවන් දේවල් නෙමෙයි.

අපට පාපන්දුව පුළුවන්. ඒත් මේ විදිහට කුළල් කා ගන්න සටන් කරන්න බැහැ. අපට සහායට ඉන්නේ මාධ්‍ය විතරයි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment