කැනඩා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ සමූලඝාතන යෝජනාව

1128

කොටි පරාජය කර වසර 13 ක් ගතවන අවස්ථාවේ කැනඩා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට එරෙහිව දෙමළ ජන සංහාර ගැන යෝජනාවක් ගෙනවුත් එය ඒකච්ඡන්දයෙන් සම්මත කරනු ලැබීය. මේ යෝජනාව ඉදිරිපත් කළේ කොටි හිතවාදී ගැරි ආනන්දසංගරී නමැති මන්ත්‍රීවරයායි. මේ යෝජනාවට එරෙහිව කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ඒ හර්ෂ කුමාර නවරත්න නමැත්තා කැනඩා රජයට විරෝධය දැක්වූයේ නැත. කොටි සංවිධානය බලවත්ව සිටි සමයේ හර්ෂ කුමාර නවරත්න කොටි ක්‍රියාකාරිකයකු වූ රේවතන්ව තම රාජ්‍ය නොවන සංවිධානයේ නියෝජ්‍ය සභාපති ලෙස පත්කර ගනු ලැබීය. 2009 මැයි 18 දා කොටි පරාජය වීමෙන් පසු කැනඩාව විසින් ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකළ බව දන්වමින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට කළ උත්සාහය අසාර්ථක විය. එහෙත් ගැරි ආනන්දසංගරිගේ යෝජනාව සාර්ථක විය. මෙයට පෙර කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය දෙමළ ජන සංහාර යෝජනාව ගෙනවුත් ඒකච්ඡන්දයෙන් සම්මත කර ගනු ලැබීය. එවකට මෙරට විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකෙන්සි හමුවී එකී යෝජනාවට විරෝධය පෑවත් මහ කොමසාරිස්වරයා ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. මෑතකදී මා කැනඩා මහ කොමසාරිස් හමුවී කැනඩා සෙබළුන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වී ඇති බව පැවසූ විට ඔහු පැවසුවේ ඒවා චෝදනා බවයි. මේ පසුබිම මැද කැනඩාවේ අතීතය අද අපි හෙළි කරන්නෙමු.

1. කැනඩා පොලිසියේ බුද්ධි සේවාව කොටි 8000 ක් ටොරොන්ටෝ නුවර සිටින බව හෙළි කිරීම

2. කැනඩාවේ වර්ල්ඩ් ටැමිල් කොන්ග්‍රස් මූලස්ථානය පරීක්‍ෂා කිරීමේදී ප්‍රභාකරන් අවි ආයුධ මිලයට ගන්නා ලෙස කළ ඉල්ලීම ඇතුළත් ලියවිල්ල හමු විය.

3. කොටි ආයුධ ප්‍රවාහන සහ නෞකා ජාලයේ ප්‍රධානි සංගිලිට කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදීම

4. කොළඹ, කටුනායක සහ වව්නියාවට බෝම්බ හෙළුවේ කැනඩාවේ පුහුණුව ලත් කොටි නියමුවන් දෙදෙනකු බව හෙළි විය.

5. කොටින්ට විශාල ලෙස අරමුදල් එකතු වූයේ කැනඩාවෙන් යැයි ස්ටුවට් ඩෙල් නමැති ගත්කතුවරයා හෙළිදරව් කිරීම.

6. නෝර්වේහි ඔස්ලෝ නුවරදී ඔහු අපට හමුවූ අවස්ථාවේ කොටි ආයුධ ජාලයේ ප්‍රධාන මූලස්ථානය කැනඩාව බව අනාවරණය කිරීම

7. ස්විස් නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය ස්විස් කොටි ආයුධ ජාලය පිළිබඳව කළ විමර්ශනයේදී කැනඩා සබඳතා හෙළි කිරීම

8. කැනඩා දේශපාලකයන් සහ කොටි අතර සබඳතා අනාවරණය විය.

කැනඩාව තුළ කොටි සංවිධානය තහනම් වූවත් එය නමට පමණක් ක්‍රියාත්මක වෙයි. පසුගිය යහපාලන රජය සමයේ ගැරි ආනන්දසංගරීට යාපනයට ඒමට රජය ඉඩ දුන්නේය. ගැරි යාපනයට ගොස් ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බව පළ කළේය. එහෙත් රජය ඔහුව මෙරටින් පිට කළේ නැත. උතුරේ හිටපු මහ ඇමැති විග්නේශ්වරන් ද කැනඩාවේ සංචාරයක යෙදුණි එහිදී ඔහුට ඩොලර් අරමුදල් ලැබුණි. මේ පසුබිම මැද කැනඩා රජය ශ්‍රී ලංකාවට එරෙහි දෙමළ ජන සංහාර යෝජනාවක් සම්මත කරද්දී ජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ විදේශ ඇමැති ජී. එල්. පීරිස් බලා සිටියේය. ඊට ප්‍රතිචාර ලෙස කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකෙන්සිව මෙරටින් පිටුවහල් කළේ නැත. මාස ගණනකට පෙර ශ්‍රී ලංකා රජය කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස හිටපු ගුවන් හමුදාපති සුමංගල ඩයස් පත් කළ විට කැනඩා රජය ඔහුව ප්‍රතික්‍ෂේප කළේය.

ඉන්පසු හර්ෂ කුමාර නවරත්න පත්කළ විට ඊට එකඟ විය. එහෙත් අද සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාව කැනඩාවට නිවට වීමයි. කැනඩා සෙබළුන්ට එරෙහිව යුධ අපරාධ චෝදනා එල්ල වී තිබියදී කැනඩාව ඒ ගැන පරීක්‍ෂණ පැවැත්වූයේ නැත. එහෙත් ගැරි ආනන්දසංගරී නමැති කොටි හිතවාදියා ප්‍රමුඛ කැනඩා ජාලය එරට අගමැති ජස්ටින් ටෘඩෝ සිය ග්‍රහණයට ගෙන තිබේ. කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතියා ද කැනඩා සෙබළුන්ගේ යුද අපරාධ ගැන කැනඩා රජයට අභියෝග නොකරයි. මෙය ඛේදනීය තත්ත්වයකි.

මෙරට කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකේන්සි ඉවක් බවක් නැතිව අද මෙරට කටයුතුවලට මැදිහත් වේ.

ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයේ සහය ලබාගැනීමට ඔහු බංග්ලාදේශ තානාපති ද හමුවිය. එහෙත් වියානා සම්මුතිය උල්ලංඝනය කළ කැනඩා තානාපතිට එරෙහිව රජය පියවර ගත්තේ නැත. මේ පසුබිම මැද යුද අපරාධ සිදු කළ කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ හංවඩුව ගසා ඇත. ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා අරමුදල් එකතු කිරීමට ඉඩදුන් හිටු අගමැති හාපර් ගේ රජය ද වරදකරු වේ. එසේම ත්‍රස්තවාදීන්ට රැකවරණ ද සපයා ඇත. ටොරොන්ටෝ නුවර කොටි ත්‍රස්තයන් විශාල සංඛ්‍යාවකට දේශපාලන රැකවරණ ලබා දී තිබේ. ඔවුන් අතර කොටි හමුදා නායකයන් රැසක් ද වේ.

මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ද කැනඩාව යුද අපරාධ කළ බවට යෝජනාවක් සම්මත කළ හැකිය. ඒ සඳහා හොඳම නිදසුන මෙයයි. හිටපු කැනඩා ආරක්‍ෂක ඇමැතිවරයා යුද අපරාධ චෝදනා එල්ල වූ විශේෂ බළකා රෙජිමේන්තුව විසුරුවා හැරීම

ඩේවිඩ් කොලෙන්ගේට් 1993 දී පැවසූවේ සෝමාලියාවේදී 16 හැවිරිදි දරුවකු මරා දැමීම ගැන එරට කැනඩා ගුවන්ගත රෙජිමේන්තුව විසුරුවා හැරීමට තමා ක්‍රියා කළ බවය.

එසේම කැනඩාවේ තවත් හිටපු මන්ත්‍රීවරයෙක් පැවසුවේ කැනඩාවේ යුද අපරාධකරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවයි. එහෙත් කැනඩා රජය යුද අපරාධ කළ සෙබළුන්ට එරෙහිව කිසිදු පියවරක් ගත්තේ නැත.

මේ හැර ගෝත්‍රික කාන්තාවන් විශාල පිරිසක් ඝාතනය විය. සාක්කිකරුවන් 2300කට අධික පිරිසක් සාක්ෂි දුන්හ. මෙය ගෝත්‍රික ජන සංහාරයකි. එහෙත් වත්මන් අගමැති ටෘඩෝ ද මෙකී ජන සංහාරය වසන් කරනු ලැබීය. කැනඩාවේ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් අතිවිශාල සංඛ්‍යාවක් සිටිති. මොවුන් සෑම ක්‍ෂේත්‍රයටම රිංගාගෙන සිටිති.

ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් නිසා කැනඩාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට හිමිකමක් නැත. එහෙත් එරට සිටින ද්‍රවිඩ ජන සමුහයේ බලපෑම්වලට අගමැති ටෘඩෝ ගොදුරු වී සිටී.

කැනඩාව නිසා ශ්‍රී ලංකාවේ සිටි ද්‍රවිඩයන් ඇතුළු විශාල ජන සමූහයක් කොටි හිතවාදී මෙහෙයුම්වලට සහභාගි වී ඇත. එසේම කැනඩා පාර්ලිමේන්තු බලය ද කොටි ජාලය අත්පත් කරගෙන සිටී. ඊට මූලික හේතුව ගැරි ආනන්දසංගරී කැනඩා අගමැතිව නැටවීමයි.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී ආනන්දසංගරීගේ පුත්‍රයකු වූ ගැරි ආනන්දසංගරී පසුගිය කාලය මුළුල්ලේම ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත කොටි ක්‍රියාකාරීහු රැගෙන පැමිණියේය.

මොවුන් මානව හිමිකම් සමුළුව අමතා පැවසුවේ ඔවුන් වන්නි මෙහෙයුම දුටුවාක් මෙනි. මේ තරුණ කොටි හිතවාදීන් වන්නිය ඇති ස්ථානය දන්නේ නැත. මඩකලපුව ඇත්තේ නැඟෙනහිර ද උතුරේ ද යැයි නොදනී. එහෙත් මානව හිමිකම් සමුළුව අමතා සාක්‍ෂි කියති. මෙවන් පසුබිමක් මැද කැනඩා රජයේ පිළිවෙත කොටි හිතවාදී පිළිවෙතකි. අගමැති ජස්ටින් ටෘඩෝ ශ්‍රී ලංකාවේ සිටින සමස්ත හමුදාව යුද අපරාධකරුවන් යැයි සිතයි.

එහෙත් කැනඩා හමුදාව යුධ අපරාධ කර නැද්දැයි ටෘඩෝගෙන් ඇසීමට මෙරට කිසිම දේශපාලකයෙක් ඉදිරිපත් නොවුණි. මේ අතර ශ්‍රී ලංකා රජය කැනඩා යෝජනාව ප්‍රතික්‍ෂේප කර ඇත. එහෙත් රජය ගත යුතු ක්‍රියාමාර්ගය වුයේ මෙරට කැනඩා මහ කොමසාරිස් මැකෙන්සි මෙරටින් පිටුවහල් කර තානාපති සබඳතා නතර කර එරට සිටින ශ්‍රී ලංකා තානාපතිව මෙරටට කැඳවීමයි. එහෙත් රජයේ නායකත්වයට එවැනි පියවරක් ගැනීමට කොන්දක් නැත.

මේ පසුබිම මැද කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් සහ ළමුන් දස දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනය වීම ගැන එරට පාර්ලිමේන්තුවට ජන සංහාර යෝජනාවක් මේ දක්වාම ඉදිරිපත් වී නැත.

මෙම තත්ත්වය මැද කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කර ඇත්තේ කොටි ත්‍රස්තවාදීන් සැමරීම නීත්‍යානුකූල කිරීමකි.

මේ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ බවට සඳහන් වන දමිළ ජන සංහාරය සම්බන්ධයෙන් කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත කිරීම සහ මැයි 18 දමිළ ජන සංහාර සැමරුම් දිනය ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය කනගාටුව පළ කර සිටියි. කැනේඩියානු රජයේ නිල ස්ථාවරය වන “ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූ බවට කිසිවක් අනාවරණය වී නොමැත.” යන්නට පටහැනිව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජන සංහාරය පිළිබඳව එම පාර්ලිමේන්තු යෝජනාව තුළ අඩංගු කරන ලද සාවi චෝදනාව ශ්‍රී ලංකා රජය තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා අතරතුර ගැටුම් පැවැති කලාපවල විසූ තම ජනතාව මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම ඇතුළු ගැටුමේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ පැවැති සැබෑ තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් කැනේඩියානු රජය ඉහළම මට්ටමින් දැනුවත් කරන ලද බව මෙහිදී සිහිපත් කළ යුතුය. වර්තමානය වන විට යුද ගැටුම අවසන්ව වසර 13 ක් ගතවී ඇති අතර, ශ්‍රී ලංකාව තම ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් ද ලබා ඇත. එමෙන්ම එය අඛන්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ පිළිබඳව කැනේඩියානු රජය නිරන්තරයෙන් දැනුවත් කොට ඇත. ජන සංහාරය යන යෙදුම සඳහා නිශ්චිත වූ නෛතික අර්ථ ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එහි කිසිදු අන්තර් රාජ්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවේ ගැටුම සම්බන්ධයෙන් එම යෙදුම කිසි විටෙක භාවිතා නොකළ බවත් ශ්‍රී ලංකා රජය යළිදු අවධාරණය කර සිටියි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment