කැලෑ කොළේට පණ දෙමින් රටේ ආර්ථිකයට පණ දෙන පාතහේවාහැට අපූරු මිනිස්සු

503

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක බොහෝමයක විශාල වශයෙන් ව්‍යාප්තව පවතින ආක්‍රමණික ශාකයක් වන අලිමානා නොහොත් ගිනි තණ ශාකය (Gunia Grass) උපයෝගි කර ගනිමින් දේශීය ආර්ථිකයට ශක්තියක් ලබාදෙමින් ජන ජීවිතය ශක්තිමත් කිරීම සඳහා දේශීය කඩදාසි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප්‍රදේශයෙන් මේ වන විට ආරම්භ කර ඇත.

අලිමානා හෙවත් ගිනි ග්‍රාස් ශාකය විදේශීය රටවලින් ගෙන්වා (මෙහි නිජබිම පැපුවා නිව්ගිනියාව බව කියනු ලබන අතර, ගිනි ග්‍රාස් ලෙස හඳුන්වනු ලබන්නේ මේ නිසාය.) මෙරටට හඳුන්වා දී ඇති තෘණ විශේෂයක් වන අතර එම ශාකය සත්ව ආහාර සඳහා ගොවිපළවල වගා කිරීම ද දක්නට ලැබේ. එනමුදු අද වන විට මෙම ශාකය විශාල භූමි ප්‍රමාණයක් ආක්‍රමණය කරමින් මර්දනය කිරීමට නොහැකි ලෙස ශ්‍රී ලංකාවේ සියලුම දේශගුණික කලාප ආක්‍රමණය කරමින් පැතිර යනු දක්නට ලැබෙන ප්‍රධාන හා අතුරු මංමාවත් දෙපස සීග්‍ර ලෙස දැකිය හැකි පරිසර පද්ධතියට දැඩි තර්ජනයක් එල්ල කරන ශාකයක් වේ.

සීග්‍රයෙන් බෝ වන අලිමානා තෘණ විශේෂ අද වන විට ගොවි ජනතාවට ද මහත් කරදරයක් බවට ද පත්ව ඇති අතර මෙම තෘණ විශේෂය යොදා ගනිමින් දේශීය ආර්ථිකයට පණ පොවන, ග්‍රාමීය ජන ජීවිතයට ආදායම් ලබාගත හැකි මාර්ගයක් බවට පත්කරන දේශීය කඩදාසි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය අද වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආශ්‍රිතව ශ්‍රියාගම, ලෑටියගොල්ල හා මොරගොල්ල යන ග්‍රාම නිලධාරි වසම්තුන මුල්කර ගනිමින් ආරම්භ කර ඇත.

කැලෑ කොළේට පණ දෙමින් රටේ ආර්ථිකයට පණ දෙන පාතහේවාහැට අපූරු මිනිස්සු

මෙම ව්‍යාපෘතිය පිළිබඳව පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

සෞභාග්‍යයා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ ව්‍යාපෘති හතරක් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළා. ඒ අතරින් සාර්ථකම ව්‍යාපෘතිය ලෙස අලි මානා තෘණ ශාකය යොදාගෙන කඩදාසි නිෂ්පාදනය කරන ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්. මෙම ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් තුනක් තුළ මුලින්ම ප්‍රතිලාභීන් 60 දෙනකු සම්බන්ධ කරගනිමින් ආරම්භ කළත් අද වන විට මෙම කර්මාන්තය සඳහා විශාල පිරිසක් එක් වී සිටිනවා.

මුලින්ම තෝරා ගත් ව්‍යවසායකයන් සඳහා විධිමත් පුහුණුවක් ලබා දුන්නා. තාක්ෂණික හා ආකල්පමය සංවර්ධනය අපි ඇති කළා. මේ වන විට මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සාර්ථකව සිදුවෙනවා. ඒ සඳහා හොඳ වෙළෙඳ පොළක් අද වන විට නිර්මාණය වී තිබෙනවා. අපේ අරමුණ දේශීය හා විදේශීය වෙළෙඳපොළ ජය ගනිමින් මෙම නිෂ්පාදනය පුළුල් කිරීමයි. කර්මාන්තය සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍යවලට මූලික පිරිවැයක් අවශ්‍ය වෙන්නේ නෑ. අලි මානා ශාකය ප්‍රදේශය පුරා විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. ඉතින් බල ප්‍රදේශයේ පවතින ග්‍රාම නිලධාරී වසම් 73 ම යොදා ගනිමින් මෙම කර්මාන්තය ශක්තිමත් කිරීමයි අපේ අපේක්ෂාව.

කැලෑ කොළේට පණ දෙමින් රටේ ආර්ථිකයට පණ දෙන පාතහේවාහැට අපූරු මිනිස්සු

මුලින්ම මේ කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේදී එක් පුද්ගලයකු වෙනුවෙන් රුපියල් අසූ දාහක මුදලක් (80000.00) වැය කරලා උපකරණ ලබාදීමට කටයුතු කළා. මෙහිදී සියයට පනහේ දායකත්වය අපි ලබා දුන්නා. ඒ නිසා අවම පිරිවැයක් ව්‍යවසායකයින් හට දරන්න වුණේ. ඒවගේම ගැටලුවක් ඇති නොවන ලෙස බල ප්‍රදේශයේ ස්වාභාවික වැවෙන සම්පතක් අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගන්න හැකියාව පවතින නිසා කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමට පහසු වී තිබෙනවා. මේ දේශීය නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ දක්වා ගෙන යමින් දේශීය ආර්ථික ශක්තියක් ලබාදීම අපේ ප්‍රධාන අරමුණයි.

මෙම නිෂ්පාදන සඳහා දැනට විශාල වෙළඳපොළක් නිර්මාණය වෙමින් පවතිනවා. එමගින් විරැකියාවට පිළියමක්, විදේශ විනිමය අර්බුදයට යම් දායකත්වයක් ලබාදීම හා ආනයන සීමා කිරීමේ ක්‍රියාවලියට ධනාත්මක ප්‍රවේශයක් හා දායකත්වයක් ලබා දීමත්, විශේෂයෙන් ග්‍රාමීය රැකියා වියුක්තිය අවම කිරීම වෙනුවෙන් නව රැකියා අවස්ථාවන් ඇති කිරීම, අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් මාර්ග වැඩි කර ගැනීමට හැකියාව උදා කිරීමත්, ග්‍රාමීය ජන ජීවිතයේ පවතින ආර්ථික යැපුම් මානසිකත්වයෙන් බැහැරවී ස්වශක්තියෙන් නැගී සිටීමට අවස්ථා උදා කිරීමත් මෙම දේශීය නව කර්මාන්ත ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරනවා.

මේ වන විට ශ්‍රී ලංකාව පුරාම අලෙවිය සඳහා වෙළෙඳපොළ නිර්මාණය වී පවතින බවත් දිනකට එක් පුද්ගලයෙකුට කොළ පනස් එකක (51) සාමාන්‍යය නිෂ්පාදනයක් කිරීමේ හැකියාව පවතින බව ද ඒ සඳහා අවශ්‍ය පුහුණුව, උපකරණ හා වෙළෙඳපොළ නිර්මාණය කරදීම නිරන්තරයෙන් සිදු කරන බවත්, ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි මහත්මිය වැඩිදුරටත් පැවසීය.

මෙම අලිමානා වලින් නිෂ්පාදිත කඩදාසි මගින් නිෂ්පාදන විවිධාංගීකරණ කටයුතු සඳහා මේ වන විට ජනතාව යොමු කර ඇති අතර නවතම නිෂ්පාදන ලෙස වෙසක් සහ පොසොන් කාලවකවානුව වෙනුවෙන් වෙසක් කූඩු නිර්මාණය කිරීමට කටයුතු යොදා බවත්, එමගින් ජනතාවට හොඳ ආදායමක් මෙන්ම පරිසර හිතකාමී වටපිටාවක් සමාජය තුළ ඇති කිරීමට මෙමගින් බලාපොරොත්තු වන බවද නිෂ්පාදක කණ්ඩායම පැවසීය.

මෙම කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් සුපිරි වෙළඳ සංකීර්ණ සමූහයේ සභාපති තුසිත විජේසිංහ මහතා සිය ප්‍රසාදය පළ කරමින් දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය වෙනුවෙන් අලිමානා ශාකයෙන් නිෂ්පාදිත කඩදාසි යොදාගෙන නිර්මාණය කරන ලද වෙසක් කූඩු පන්සියයක ට අධික ප්‍රමානයක් මිලදී ගෙන සිය වෙළෙඳ සංකීර්ණය තුළ ප්‍රදර්ශනය කරමින් කර්මාන්තයේ ප්‍රවර්ධනයට දායකත්වය දැක්වීම විශේෂයෙන් අගය කරන බව ප්‍රාදේශීය ලේකම්වරිය පැවසීය.

කැලෑ කොළේට පණ දෙමින් රටේ ආර්ථිකයට පණ දෙන පාතහේවාහැට අපූරු මිනිස්සු

රොෂාන් රත්නායක – ලෑටියගොල්ල ග්‍රාම නිලධාරී වසම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් කඩදාසි නිෂ්පාදනය කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව දැනගන්නට ලැබුණා. පසුව මමත් ඒ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න කැමැතියි කියලා දැන්වූවා. මම හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙන්නේ. නමුත් මම ස්වයං රැකියාවක් විදියට මේ කඩදාසි නිෂ්පාදනය ව්‍යාපෘතියට එක් වුණේ. මුලින් මේ පිළිබඳව කිසිම දැනුමක් තිබ්බෙ නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අපට නිවැරදි දැනුම ලබා දුන්නා. පරිසරයට විශාල තර්ජනයක් වෙලා තියෙන අලිමානා ශාකය යොදාගෙන කඩදාසි නිෂ්පාදනය කිරීම කාලීනව වැඩි වටිනාකමක් දෙන ව්‍යාපෘතියක්. අමුද්‍රව්‍ය හොයාගන්න අපිට කිසිම ගැටලුවක් නැහැ. අඩු වියදමක් දරමින් මෙම කාර්ය කරගන්න පහසුයි. ඒ වගේම හොඳ ලාභයක් ගන්නත් පුළුවන්. දේශීය කර්මාන්තයක් ලෙස මෙය වැඩි දියුණු කර ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ස්වයං රැකියාවක් විදිහට අපේ බල ප්‍රදේශයේ විශාල පවුල් සංඛ්‍යාවක් මේ කර්මාන්තයේ නිරත වෙනවා. අද රට තුළ මෙන්ම ලෝකයෙම පවතින කඩදාසි හිඟයට පිළියමක් ලෙස අලිමානා ශාකයෙන් නිෂ්පාදනය කරන කඩදාසිවලට විශාල වටිනාකමක් මෙන්ම ඉල්ලුමක් පවතිනවා. දේශීයත්වය නගා සිටුවීමට නව ආදර්ශයක් දෙන ව්‍යාපෘතියක් බවට මෙය පත් කළ හැකි යි. අවශ්‍ය පහසුකම් සහ වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර දීම මේ කර්මාන්තයේ ඉදිරි ගමනට පිටිවහලක්. නිෂ්පාදන විවිධාංගීකරණය යටතේ අපි විවිධ වූ නිෂ්පාදන මේ වනවිට සිදු කරනවා. Wedding cake පෙට්ටි, විවිධ සැරසිලි, සුබපැතුම්පත්, විසිතුරු බෑග් වර්ග, වගේම අපගේ අලුත්ම නිෂ්පාදනය විදිහට වෙසක් කූඩු නිර්මාණය කිරීමද සිදුකරනු ලබනවා. පරිසර හිතකාමී නිෂ්පාදන නිසා හොඳ වෙළඳ පොළක් මේවට තිබෙනවා.

අනූෂා හීන්කෙන්ද. තලාතුඔය.

කැලෑ කොළේට පණ දෙමින් රටේ ආර්ථිකයට පණ දෙන පාතහේවාහැට අපූරු මිනිස්සු

මම ස්වයං රැකියාවක නිරත වන කෙනෙක්. පවතින ආර්ථික තත්ත්වය මත එම ස්වයං රැකියාව දියුණු කරගන්න ඕන කියලා විශ්වාසයෙන් කටයුතු කළේ. මම ස්වයං රැකියාව ලෙස ඇඳුම් මැසීම, අත්කම් නිර්මාණ සිදු කිරීම, කේක් පෙට්ටි නිෂ්පාදනය කිරීම කරගෙන ගියේ. ඒ අතර ම දැනගන්න ලැබුණා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නව ව්‍යාපෘතියක් අලි මානා ශාකය යොදාගෙන කඩදාසි නිෂ්පාදනය කිරීමට සැලසුම් කරලා තියෙනවා කියලා. මේ පිළිබඳව සොයලා බලලා මාගේ නිර්මාණවලටත් මෙය සම්බන්ධ කරගන්න හැකිවේ යැයි විශ්වාසයෙන් මේ ව්‍යාපෘතිය ට එක් වුණා.

ඇත්තටම ඉතාම සාර්ථකයි මේ ව්‍යාපෘතිය. මගේ නිර්මාණවලට ලොකු වටිනාකමක් ලබාදීමට මේ අලි මානා ශාකයෙන් ලබාගන්නා කඩදාසි මගින් හැකියාවක් ඇති වුණා. ලංකාවටම මෙය අලුත් දෙයක්. දේශීයත්වයට මුල් තැන දෙමින් සිදු කළ හැකි ව්‍යාපෘතියක් නිසා හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය කරගන්න හැකි වේ යැයි අපි විශ්වාස කරනවා. දැනටමත් ලොකු ඉල්ලුමක් අපේ නිෂ්පාදනවලට පවතිනවා. අපේ ජීවිතවලට නව ශක්තියක් මේ ව්‍යාපෘතිය. ඒ වගේම අපේ ගම්මානයේ විශාල පිරිසකට මේ ව්‍යාපෘතියෙන් රැකියා වල නිරත වෙන්න අවස්ථාව ලැබුණා. නිතරම අපගේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් ගම්මානෙට එනවා. කාටවත් බරක් නැතිව ජීවත් වෙන්න හැකි පරිසරයක් උදා කර දීම වෙනුවෙන් අපි ප්‍රාදේශීය ලේකම්තුමියට ස්තුතිය පුද කරනවා.” යැයි පැවසීය.

ජානක සම්පත් බණ්ඩාර
ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment