කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ලත් නවතියි

98

කිරිදෙන මව්වරුන්ට සහ නිර්දේශිත ළදරුවන් සඳහා මෙතෙක් නොමිලේ ලබාදුන් ත්‍රිපෝෂ මින් ඉදිරියට ලබාදිය නොහැකි බවත් ධාන්‍ය එක්කොට ඒ හා සමාන ආහාරයක් නිවසේදී සකසාගන්නා ලෙසත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් විසින් බේරුවල ප්‍රදේශයේ මාතෘ හා ළදරු සායනයන්හිදී මව්වරුන් දැනුම්වත් කර තිබේ. පවතින ආර්ථික අර්බුදය සහ ධාන්‍ය සපයා ගැනීමේ නොහැකියාවත් නිසා මෙතෙක් ලබාදුන් ත්‍රිපෝෂ ඉදිරියේදී ලබාදීම ගැටලුවක් වී ඇති බව එම නිලධාරිනියන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. එමෙන්ම මීට විකල්පයක් ලෙස මුංඇට, කඩල, කවුපි, සෝයා වැනි ධාන්‍යමය ආහාර එක්කොට ත්‍රිපෝෂ හා සමාන ආහාරයක් පිළියෙල කරගන්නා ආකාරය පිළිබඳව මව්වරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද සායනවලට සමගාමීව ක්‍රියාත්මක කර තිබේ.

කිරිදෙන මව්වරුන් සඳහා මාසිකව නිකුත් කර තිබෙන රුපියල් දෙදහසක් වටිනා වවුචර්පත සඳහා සතොස අලෙවිසල් මගින් නිර්දේශිත ආහාර වර්ග පමණක් මිලදී ගැනීමේ හැකියාව පැවතිය ද දැනට මාස පහකට පෙර සිටම එම වවුචර්පත සඳහා ආහාර නිකුත් නොකිරීමට කළුතර දිස්ත්‍රික්කයේ සතොස අලෙවිසල් කටයුතු කරමින් සිටියි. ඇතැම් සතොස අලෙවිසල්වල මේ බව ප්‍රදර්ශනය කර තිබුණද බොහෝ අලෙවිසල්වල එවැනි දැනුවත් කිරීමක් නොමැත. මේ නිසා ආහාර මිලදීගෙන වවුචර්පත ඉදිරිපත් කරන තුරුම බොහෝ මව්වරු මේ බව නොදනී.

බේරුවල – චමින්ද ප්‍රසාද්
 

advertistmentadvertistment
advertistmentadvertistment