කෝටි 521ක් ගිල්ලත් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හබක් – රාජ්‍ය අමාත්‍යාංශයත් අහෝසියි

101

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සඳහා ඉකුත් වසර තුන ඇතුළත (2020, 2021, 2022) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් පන්සිය විසිඑක්කෝටි, අනූදෙලක්ෂ, අනූහත්දහස්, තුන්සිය අනූවක (5,219,297,390) වියදමක් දරා තිබුණ ද සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අපොහොසත් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉකුත් වසර තුන තුළදී රාජ්‍ය අමාත්‍යාංශය විසින් දැරූ මෙම මුදල හා ජාතික අධ්‍යාපන ආයතනය විසින් දරනු ලැබු රුපියල් තිස්පන් කෝටි, පන්ලක්ෂ, පනස්දෙදහස්, තුන්සිය අනූතුනක වියදම (350,552,393) නිශ්කාර්ය වියදමක් වීමේ අවදානමක් ද ඇතැයි විගණනය මගින් අනාවරණය කොට ඇත. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර හා ලෝක බැංකු ණය ආධාර මගින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුදල් යොදවා තිබුණි. මෙම ප්‍රතිසංස්කරණයන් නිසි පරිදි ක්‍රියාත්මක නොකළහොත් වර්තමානයේ රට පත්ව ඇති ආර්ථික දුෂ්කරතා හමුවේ බැඳීම් ගාස්තු, ණය පොලී ගෙවීම මත විශාල මූල්‍යමය පාඩුවක් විය හැකි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එමෙන්ම ණය ගිවිසුම අවලංගු වීමේ අවදානමක් ද පවතින බව විගණන වාර්තාවේ සඳහන් වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධ්‍යාපන, ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා තිබුණි. කෙසේ වුවද මෙම රාජ්‍ය අමාත්‍යාංශය 2022 ජුලි 22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අහෝසි කොට තිබුණි. විෂය පථයට අයත්ව තිබූ කාර්යයන් හා කර්තව්‍යයන් එදින සිට අධ්‍යාපන අමාත්‍යාංශය යටතට නතුකොට තිබුණි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් හඳුනාගෙන තිබුණි. සියලුම කාර්යයන්ට අදාළ මූලික ක්‍රියාකාරකම් පස් අවුරුදු ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම අනුව 2021 ජනවාරි, පෙබරවාරි, මාර්තු යන මාසවල ක්‍රියාත්මක කිරීමට සැලසුම්කොට තිබුණි. එහෙත් මෙම කටයුතු සැලසුම් කළ කාලසීමාවේ ඉටුකිරීමට රාජ්‍ය අමාත්‍යාංශයට හැකිවී නැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. විෂයමාලා හා ඇගයීම් ප්‍රතිසංස්කරණ සඳහා පමණක් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණ ද ඉතිරි ප්‍රතිසංස්කරණ 05 සඳහා කැබිනට් අනුමැතිය ලැබී නැත.

මෙම තොරතුරු සඳහන් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2022 වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේය.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment