ගම්පහ ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියක තිබූ කැමරාව ගැන උසාවිය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රශ්න හයකට උත්තර ඉල්ලයි

318

ගම්පහ නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියක තිබියදී සොයාගත් කැමරාවක් යැයි සැකකරන උපකරණය උපයෝගී කරගනිමින් ඡුායාරූප ලබා ගැනීමක් හෝ වීඩියෝගත කිරීමක් කළ හැකි නම් එහි පටිගත වන දර්ශන බාහිර උපකරණයක් මගින් හැසිරවිය හැකිද යන්නත්, එසේත් නොමැති නම් ගබඩා කළ හැකිද යන්නත් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (21 වෙනිදා) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියම කළේය.

ගම්පහ පොලිසිය මගින් ගම්පහ නගරයේ පිහිටි ‘‘සිතුසර” නමැති පුද්ගලික අධ්‍යාපන ආයතනයේ කාන්තා වැසිකිළිය මත තිබූ රතු පාට එල්.ඊ.ඞී. බල්බයක් සහිත රවුම් සී.සී.ටී.වී කැමරාව, අඟල් එකහමාරක් දිග කේබල් එකක් සහ පවර් බෑන්ක් එකක් නඩු භාණ්ඩ ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් එකී උපකරණ රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙසට ඉල්ලා සිටියේය.

නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති එම උපකරණය කුමක්ද? එයින් සිදුකළ හැකි කාර්යයන් කුමක්ද? මෙම උපකරණය මෙරට නිෂ්පාදිතද? විදේශීය රටක නිෂ්පාදිත එකක්ද? යන්න ඇතුළු ප‍්‍රශ්නාර්ථ 06 කට අදාළ වාර්තාව කඩිනමින්

ගම්පහ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියම කෙරුණි.

එම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කාන්තා වැසිකිළිය තුළ සී.සී.ටී.වී. කැමරාව සවි කළේ කවුද යන්න අනාවරණය වී ඇත්දැයි අධිකරණය පොලිසියෙන් විමසා සිටියේය.

කැමරාවක් සවි කළේ කවුද යන්න අනාවරණය වී නොමැති බව පොලිසිය අධිකරණය හමුවේ කීය. සිද්ධියට පාදක වී ඇති වැසිකිළිය එම පුද්ගලික අධ්‍යාපන ආයතනයේ පරිශ‍්‍රය තුළ පිහිටා ඇත්නම් පාලනාධිකාරියට වගකීමෙන් කිසිසේත් බැහැර විය නොහැකි බව පැවසූ අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් හරියාකාරව පරීක්ෂණ සිදුකර වගකිවයුත්තන් සිටින්නේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියම කළේය.

ගම්පහ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ කා.පො.ප. ප‍්‍රියදර්ශණී සේනාරත්න මහත්මිය පැමිණිල්ල මෙහෙය වූවාය. සිද්ධියට අදාළ නඩුව මාර්තු 28 වෙනිදාට නැවත කැඳවීමට නියම කෙරුණි.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment