ගම්මන්පිල නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිවලට පෙනී සිටින්නැයි ඔස්ටේ‍්‍රලියානුවන් තිදෙනකුට සිතාසි

229

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා ලබන සැප්තැම්බර් 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඔස්ටේ‍්‍රලියානු ජාතිකයන් තිදෙනෙකුට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිතාසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28දා) නියෝග කළේය.

ව්‍යාජ ඇටෝර්නි බලපත‍්‍රයක් උපයෝගි කරගනිමින් ඔස්ටේ‍්‍රලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කිරීමේ චෝදනා යටතේ උදය ගම්මන්පිල මහතාට නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ යුවාන් අබේවික‍්‍රම මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

පැමිණිල්ලේ එකී සාක්ෂිකරුවන් අතරින් එක් අයකු එකී ඔස්ටේ‍්‍රලියානු ජාතිකයාට අයත් සමාගමේ සේවය කළ අයකු බවත්, ඇගේ සාක්ෂිය නඩුවට බලපාන ඉතා සුවිශේෂී සාක්ෂියක් වන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් අධිකරණයට පෙන්වා දුන්නේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ විනිසුරුවරයා නඩුවේ සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් 30 දක්වා කල් තබමින් එම නියෝගය කළේය.

නීතිඥ හේමන්ත කොඩිතුවක්කු, තුෂාර දිසානායක,

ගාමිණී ඉලංගසිංහ හා ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සමඟ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විත්තිය නියෝජනය කළේය. 

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment