පෙරදා නතරවී ජය පේන මානේ ශ්‍රී ලංකාව යයි සටනට අද පූනේ

351

වන්කඩේ පරාජයේ වගකීම පිතිකරුවන් ගත යුතුයි – සහාය පුහුණුකරු නවාස් කියයි

මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සමග පෙරේදා (03 වැනිදා ) පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය අසලට ගොස් ලකුණු 02ක තියුණු පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (05 වැනිදා) පූනේ හිදී තරගාවලියේ දෙවන තරගයට පිවිසීමට නියමිතය.

තරග තුනකින් යුත් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට අපරාජිතව සිටීමට නම් අද තරගය අනිවාර්යෙන් ජයගත යුතු වන අතර නොඑසේ නම් එක් තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියාවට 2-0ක ජයග්‍රහණයක් හිමි වේ.

පෙරදා නතරවී ජය පේන මානේ ශ්‍රී ලංකාව යයි සටනට අද පූනේ
සහාය පුහුණුකරු නවාස්

ඉන්දීය කණ්ඩායම පෙරේදා පැවති තරගයේ දී ලබා දුන් ලකුණු 163 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනා තරගයේ අවසන් පන්දුවේදී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 160 ක් ලෙස දිස්විය.

කෙසේ වෙතත් පෙරේදා තරගයේදී මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබුණේ නම් තරගය පහසුවෙන් ජය ගැනීමට හැකියාව තිබූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටියි. අවසන් පන්දුවාරය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13 ක් ලබා ගැනීමට තිබූ නමුත් කඩුල්ලේ රැඳී සිටි චාමික කරුණාරත්න ඇතුළු සෙසු පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වන අතරතුර පළමු කඩුලු 5 ම ලකුණු 65 ක් ඇතුළත බිඳ වැටී තිබියදී 6 වැනි කඩුල්ලට එක් වුණු දසුන් ශානක සහ වනිදු හසරංග පන්දු 23 කදී ලකුණු 40 ක සම්බන්ධතාවක් පවත්වමින් තරගයට තියුණු මුහුණුවරක් එක් කළහ. කෙසේ වෙතත් පන්දු 27 කදී ලකුණු 45 ක් ලබා ගත් දසුන් ශානකත්, පන්දු 10 කදී ලකුණු 21 ක් රැස් කළ වනිඳු හසරංගත් ජයග්‍රහණයට ලකුණු 34 ක් තිබියදී දැවී යෑම ශ්‍රී ලංකාවට අතිශය පාඩුවක් ගෙන දෙන්නක් විය. පසු පෙළ පිතිකරුවන් සමඟ එක් වුණ චාමික පන්දු 16කදී නොදැවී ලකුණු 23ක් ලබා තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් අවසන් පන්දුවේදී රැස් කරගත යුතු ලකුණු 4 අභියෝගය ජය ගැනීමට ඔහුට නොහැකි විය.

“මං හිතනවා අපි පිතිකරණයෙන් වැරදි කළා කියලා” යැයි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී නවාස් සඳහන් කර සිටියේය. “විශේෂයෙන් කිව්වොත් මුල් පෙළ පිතිකරුවන්ගෙන් මීට වඩා සහායක් ලැබෙන්න තිබ්බා කියලා මම විශ්වාස කරනවා. නමුත් පසු පෙළ පිතිකරුවන් හොඳ සහයෝගයක් දීලා හොඳ තරගයකට ගෙනාවා. නමුත් අවාසනාවකට අපිට ඒක ඉවර කර ගන්න බැරි වුණා” යැයි නවාස් සඳහන් කර සිටියේය.

“පූනේ තරගයේදී අපි මේ තරගයේ කරපු වැරදි ටික කතා කරගෙන මීට වඩා හොඳ තරගයක් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. පෙරේදා තණතීරුව ගත්තහම ජයග්‍රාහී ඉලක්කය ලකුණු 180ක් වගේ වෙනවා. නමුත් අපේ පන්දු යවන්නන් ඉතා හොඳින් පන්දු යැව්වා. ඒ නිසා අපිට ඔවුන්ව ලකුණු 162 කට වගේ අඩු ගාණකට නවතාලීමට හැකියාව ලැබුණා. එය ඇත්තටම හොඳ දක්ෂතාවයක්. මම හිතන විදියට ඒක අපිට පහසුවෙන්ම හඹා යෑමට තිබූ ඉලක්කයක්. එහි වගකීම පිතිකරුවන් ගත යුතුයි” යැයිද සහාය පුහුණුකරුට අමතරව පිතිකරණ පුහුණුකරුවා ලෙසින් ද කටයුතු කරන නවාස් සඳහන් කර සිටියේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment